2023 ජුනි 10 වන සෙනසුරාදා

ඩ්‍රෝන තාක්ෂණයෙන් ගොවිතැන් කරන හමුදාවේ ගොවිපොළ

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 98

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ගොඩ මඩ දෙකෙහිම ගොවිතැන් සාර්ථකව සිදු කරයි. වී, එළවළු මෙන්ම පළතුරු වගාවද ඒ අතර වෙයි. සමස්ත වගා කටයුතු අක්කර 1500 කට අධික වපසරියක පවත්වාගෙන යන හමුදාව නවීන හා විද්‍යාත්මක ක්‍රමවේද භාවිතයට නිරතුරුවම උත්සාහයක යෙදෙයි.

ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් වී වගාවේ කෘමිනාශක හා වල්නාශක ඉසීමේ නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය කටයුතු කර ඇත. මේ සඳහා ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 8.5 ක් පුරා සිදු කළ වී වගාව සහිත කුඹුරුයාය තෝරාගෙන තිබුණි. ඒ අනුව ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන එම අත්හදා බැලීම සිදු කර තිබුණේ ඉකුත් ජූනි 2 වැනිදා බව යුද හමුදාව පවසයි.

ඩ්‍රෝන තාක්ෂණයේ පළමු නියමු ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සමඟ 'Sri Pola Pvt Ltd' ආයතනය හා ඊට අනුබද්ධ 'Aerogeni Pvt Ltd' ආයතනය සම්බන්ධ වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. එම අවස්ථාව කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රාජපක්ෂ සහ කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ආරම්භ කර ඇත්තේ මීට වසර හතරකට පමණ ඉහත 2019 වසර අගදීය. මෙම බලකාය ආරම්භයත් සමඟ 2030 වසර වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය යුද හමුදාව තුළින්ම නිෂ්පාදනය කර ගැනීම අරමුණකි. ඒ හරහා යුද හමුදාව වෙනුවෙන් බැර කරන රජයේ වියදම් අවම කිරීමට අපේක්ෂිතය.

කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මෙහෙයවීම තුළ එළවළු හා වී වගාව ප්‍රධාන වශයෙන් සිදු කරන අතර ඇතැම් පළතුරු වර්ගද ඒ අතර වෙයි. උඩරට හා පහතරට එළවළු වශයෙන් වර්ග කර සිදු කරන වගාවට උඩරට එළවළු වැවීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රමාණවත් භූමි වපසරියක් පවතී. ඊට අමතරව සෙසු එළවළු වගාව සඳහා කන්දකාඩු, මැණික්ෆාම්, යාපනය, කිළිනොච්චිය හා වවුනියාව ප්‍රදේශවල ගොවිපොළ පවත්වාගෙන යයි. එමෙන්ම වී වගාව සඳහා කොළඹ ජයවර්ධනපුර, පනාගොඩ හා කන්තලේ ප්‍රදේශවල කුඹුරු ඉඩම් යොදාගෙන තිබේ.

ඉදිරියේදී මෙම වගා සඳහා කෘමිනාශක හා වල්නාශක ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට යුද හමුදාව අපේක්ෂා කරයි. මේ අනුව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසන්නේ සිදු කළ නියමු ව්‍යාපෘතියේදී අක්කර 8.5 ක භූමියට කෘමිනාශක ඉසීම සඳහා ගත වූ කාලය විනාඩි 45ත් පැයත් අතර කාලයක් බවය.

යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් දැනට සාර්ථක ලෙස පොල් පැළ වගාවක් ආරම්භ කර තිබේ. මෙහිදී නිරෝගිමත් බීජ පොල් පැළ ලබාගැනීම සිදු කෙරේ. සියලු වගා කටයුතු සඳහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්ද යුද හමුදාව විසින් පවත්වාගෙන යයි. ඒ හරහාද සාරවත් වගාවක් හරහා ගුණාත්මක ඵලදාවක් ලබාගැනීමට හැකිව ඇතැයි පැවසේ.

යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් යොදාගත් ඩ්‍රෝන තාක්ෂණය හරහා අඩු පිරිවැයකින් හා අවම මිනිස් ශ්‍රමයකින් එම කර්තව්‍ය ඉටුකර ගැනීමට හැකිව තිබේ. ඩ්‍රෝන තාක්ෂණය ඉදිරියේදී සෙසු වගා සඳහා යොදා ගැනීමට නියමිත බවත් ඒ සඳහා වැඩිදියුණු කළ තාක්ෂණය යොදා ගැනීමට සූදානම් බවත් එම පහසුකම් රජයේ හා පෞද්ගලික අංශ වෙත ලබා දීමට පියවර ගන්නා බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා කීය.

කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය තුළ බිත්තර, කල්කිරි, යෝගට් හා මීකිරි නිෂ්පාදනය සිදු කෙරේ. එහි 60% ක් යුද හමුදාවේ අවශ්‍යතාවය සඳහා යොදා ගනී. මීට අමතරව යුද හමුදාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය කැලෑ සලාක හෙවත් සකස් කරන ලද ආහාර මළු (Meal ready to eat (MRF) ration pack) නිෂ්පාදන ව්‍යාපෘතියක්ද ආරම්භ කළේය. ඉකුත් 2022 වසරේ ආරම්භ කළ ව්‍යාපෘතිය යුද හමුදාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පර් යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අංශයේ පූර්ණ සහයෝගිතාව හා වැලිකන්ද කන්දකාඩු යුද හමුදා ගොවිපොළ සහයෝගිතාව ඇතිව වැලිකන්ද කන්දකාඩු යුද හමුදා ගොවිපොළ පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. මෙතෙක් කල් යුද හමුදාව සඳහා එම ආහාර මලු මැලේසියාව වෙතින් ආනයනය කොට තිබුණු අතර ඒ සඳහා වැය වූ මුදලින් 60% ක් ව්‍යාපෘතිය නිසා රජයට ඉතිරි වී තිබෙන බව යුද හමුදාව පවසයි. මෙම ආහාර යුද්ධ හමුදා පාමුර සංචාර, වනබද සටන් පුහුණුව ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරි හා දෛනික ආහාර සැපයීමට මෙන්ම ජාතික ආපදා අවස්ථාවකදී වුවද සැපයීමට අවශ්‍ය පරිදි නිෂ්පාදනය කෙරේ.

ඩ්‍රෝන තාක්ෂණය යුද හමුදා ගොවිපොළ සඳහා යොදාගැනීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් අබේසේකර මහතාගේ සංකල්පයක් මත සිදු කෙරිණි. එහි පළමු අදියර යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රාජපක්ෂ සහ 2 වැනි (සෙවි) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් වික්‍රමසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණය මත Aerogeni Pvt Ltd ආයතනයේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

(යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතාට ස්තූතිය හිමි වේ.)

I සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - යුද හමුදා මාධ්‍ය ඒකකය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02