2023 ජුනි 10 වන සෙනසුරාදා

කොළඹ තට්ටු නිවාස කඩා වැටීමේ අවදානමේ

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 215

රජයේ ආයතන මගින් පාලනය වන මහල් නිවාස ගොඩනැගිලි කිහිපයක කඩා වැටීමේ අවදානමක් පවතින බවට පුවතක් අසන්නට ලැබුණි. මහල් ගොඩනැගිලි යනු කොළඹ ජීවිත රැසක් දරා සිටින ගොඩනැගිලි වන නිසාම අපි මේ පිළිබඳ සොයා බැලුවෙමු. ඒ අනුව කොළඹ මහල් නිවාස පිළිබඳ පවතින අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳ සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව යම් පමණක තොරතුරු අනාවරණය කරගැනීමට අපට හැකි විය.

පසුගියදා වාර්තා වූයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඒකක 420ක්, තිඹිරිගස්යායේ නිවාස ඒකක 120ක්, කොළොන්නාවේ නිවාස ඒකක 60ක්, රත්මලානේ නිවාස ඒකක 01ක් සහ මොරටුවේ නිවාස ඒකක 307ක් අවදානම් තත්ත්වයක පවතින බවකි. කොළඹ දිස්ත්‍රික්කයේ මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 908ක් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කළ සමීක්ෂණයකදී හෙළිදරව් වූ බවද කියැවුණි.

රජය සතු මෙම මහල් නිවාසවල පරිපාලන කටයුතු සිදුවන්නේ එක් රාජ්‍ය ආයතනයක් යටතේ නොවේ. මෙම ගැටලුව සංකීර්ණ එකක් බවට පත් වී ඇත්තේ එබැවිනි. නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වැනි ආයතන මෙම ගොඩනැගිලිවල භාරකාරීත්වය දරයි.

මෙම ගොඩනැගිලිවල තත්ත්වය සොයා බලා වාර්තා කළ හැකි ආයතනය වන්නේ ''ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයි'' මේ වනවිටත් ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවස සහ තට්ටු ගොඩනැගිලි රුසක් පිළිබඳ වාර්තා අදාළ අංශ වෙත සපයා තිබේ. තවදුරටත් ඉල්ලීම් ලැබෙන පරිදි සිය පරීක්ෂණ කටයුතු සිදුකරන බවද ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කියා සිටී.

මේ පිළිබඳ තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂිකා ධම්මිකා කහහේන්ගොඩ සම්බන්ධ කරගතිමු.

''ඇත්තටම දනට කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩක්ම පැරණි ගොඩනැගිලි තියෙනවා. ඒ අතර සාමාන්‍ය පිළිසකර කිරීමේ හැකියාව ඇති ගොඩනැගිලි තියනවා. ඒ වගේම කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු ගොඩනැගිලිත් තියෙනවා.''

ඇය පවසන පරිදි පිළිසකර කළ හැකි මට්ටමේ ගොඩනැගිලි සේම, පිළිසකර කිරීමට යන වියදම සැලකූ විට කඩා ඉවත් කළ යුතු ගොඩනැගිලිද කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබේ. කෙසේ වෙතත් මෙය හා සම්බන්ධ තොරතුරු විශ්ලේෂණය කොට සමස්ත පිළිබඳ වාර්තාවක් අප සැපයීමට එකවර සිදුකළ නොහැකි බව අධ්‍යක්ෂකවරිය පැවසීය.

''අපි කරන්නේ අපිට ඉල්ලීමක් ලැබුණම, අදාළ ස්ථානයට අපේ කණ්ඩායමක් ගිහිල්ල බලලා ගොඩනැගිල්ල පිළිබඳ පූර්ණ අධ්‍යනයක් කරලා වාර්තාවක් ලබාදීම. ඒ සඳහා අපිට තාක්ෂණය 

තිබෙනවා. අපි අපේ වාර්තාව ලබාදෙන්නේ ගොඩනැගිල්ලේ අයිතිකරුවාට හෝ අපිට ඉල්ලීම් ඉදිරිපත් කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, නාගරික සංවර්ධන අධිකාරය වගේ ආයතනවලට. නමුත් මෙය හා සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේ අධිකාරිය බලය අපේ ආයතනයට නෑ. අදාළ ආයතන තමා එම කටයුත්ත සිද්ධ කරන්නේ.''

ලද ඉල්ලීම් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මෙවන් ගොඩනැගිලි පිළිබඳ අදාළ ආයතන වෙත ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය වාර්තා සපයා තිබේ. තවදුරටත් ඉල්ලීම් ලැබේ නම් ඔවුන් අදාළ ගොඩනැගිලි පරීක්ෂණය කොට වාර්තා සැපයීම සිදුකරනු ඇත. එහෙත් ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ගොඩනැගිලි භාරකාර ආයතන සතුය.

කෙසේ වෙතත් පසුගියදා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හෙළිකර තිබූ ලයිස්තුවට අදාළව, අවදානම් ගොඩනැගිලි පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කටයුතු කරමින් සිටින බව කියැවේ. අප අදාළ ලැයිස්තුවල නාමලේඛනයක් සපයා ගැනීමට උත්සාහ කළ මුත් එය සාර්ථක නොවුණි.

අපි මෙම අවදානම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාගෙන් විමසා සිටියෙමු. මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත්, ජනතාව එකවර කලබලයට පත් කිරීම නුසුදුසු බවත් උඳුගොඩ මහතා අප සමග පැවසීය.

''ප්‍රාදේශීය ලේකම්තුමා අපිට ලේඛනයක් ඉදිරිපත් කළා. මේ කියන මහල් නිවාස පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ තියෙනවයි කියලා තමයි තමා එතුමාලා කිව්වේ. ඒත් ප්‍රාදේශීය ලේකම්තුමාට හැකියාවක් නෑ මේ ගොඩනැගිලිවල තත්ත්වය පිළිබඳ වාර්තාවක් දෙන්න. ඒකට තියෙන එකම ආයතනය ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය. මේ වෙනකොට අපි ඒ ආයතනයෙන් වාර්තා කැඳවලා තියෙනවා. මේ ගොඩනැගිලිවල ජනතාව ජීවත්වීමට සුදුසුද නැද්ද කියන කාරණාව සම්බන්ධව.''
අදාළ වාර්තා ලැබුණු පසු ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා කීය. කෙසේ වෙතත් මෙම ගොඩනැගිලි භාරකාර ආයතන සතුව එම ගොඩනැගිලි පිළිසකර කිරීම සඳහා ප්‍රතිපාදන නොමැති වීමද ගැටලුවක් බව ඒ මහතා සඳහන් කළේය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ලෙස ඒ සඳහා මැදිහත් වන බවද ඔහු පැවසීය.

''කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ වාර්තාවක් එක්ක තමා අපිට ඉස්සරහට වැඩ කරන්න වෙන්නෙ. මේ සඳහා මුදල් ප්‍රතිපාදන නැත්නම් මහා භාණ්ඩාගාරයෙන් හරි ඉල්ලලා කරන්න වෙනවා. මේ වැඩේට සම්බන්ධ ආයතන රුසක් තියෙනවා. වාර්තාව ලැබුණු පසු මෙය ආයතන සියල්ලම එකතුවෙලා සාකච්ඡා කරලා තීන්දු ගත යුතුයි.''

කෙසේ වෙතත් මෙම ගොඩනැගිලි පිළිබඳව දැනට නිකුත් වී ඇති අනතුරු හැඟවීම් සුළු කොට තැකිය නොහැක. කඩාවැටීමක් අද හෙට සිදුවේයැයි අප සඳහන් නොකරමු. එවන් ප්‍රබල අනතුරක් පවතී නම් බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම් වාර්තා අනුව ගොඩනැගිලි කිහිපයක සැලකිය යුතු මට්ටමේ අවදානමක් පවතින බව පැහැදිලිය. ගත යුතු ක්‍රියාමාර්ගය කවරක් වුවත් එය සාමූහිකව කඩිනමින් ලබාගත යුතු තීරණයකි.

I චමිඳු නිසල් ද සිල්වා