2023 ජුනි 17 වන සෙනසුරාදා

කුරුන්දි විහාර අවුලෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල් ගෙදර!

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 346

මේ දිනවල ෆේස්බුකියේ පඬිවරු ආණ්ඩුවට නොනවත්වා ගල් ගසමින් සිටින්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වීමට සිදුවූ කුරුන්දි විහාරයේ ඉඩම් නිදහස් කිරීමේ අර්බුදය මුල්කර ගෙනය. මේ ගැන පුරාවිද්‍යා නිලධාරියකු පළ කළ ෆේස්බුක් පෝස්ටුවක් මගේ නෙත ගැටුණි.

''පුරාවස්තු ආඥා පනත අනුව පුරාවිද්‍යා නටබුන් සහිත භූමියක් වෙනත් කිසිදු කාර්යයක් සඳහා නිදහස් කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ටවත් කිසිදු හැකියාවක් නෑ. කුරුන්දි ඉඩම් නිදහස් කරන ලෙස කළ නියෝගය නීතියට පටහැනියි.* එහි සඳහන්ව තිබුණි. 

මෙය අප නම් දකින්නේ කුරුන්දි විහාර ඉඩම් පමණක් නොවේ. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා රක්ෂිතවලට අයත් ඉඩම් විවිධ හේතු දක්වමින් අත්පත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ව ඇති බවයි. තිරියාය පුරාවිද්‍යා රක්ෂිතවලට අයත් ඉඩම් ගැන ද දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පවසනු අසන්නට ලැබුණි.

අනුරාධපුරයේ මුල් යුගයට අයත් මුලතිව් කුරුන්දි මහා විහාරයට අයත් පුරාවිද්‍යාත්මක නටබුන් සහිත අක්කර දෙසීයකට අධික භූමියක් විද්‍යාත්මක ගවේෂණයකින් හඳුනා ගැනීමෙන් අනතුරුව එම භූමිය මැන දෙන මෙන් මිනුම්පතිවරයාට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉල්ලීමක් කර ඇති අතර හඳුනාගත් ප්‍රදේශයේ වගා කළ බව සඳහන් කරන අක්කර 05කට වැඩි ප්‍රමාණයක් ද තිබී ඇත. පුරාවිද්‍යා නිලධාරීන් නම් කියන්නේ එහි වනය විනාශ කර තිබුණත් කළ වගාවක් නම් නැති බවයි. කුරුන්දි වනාන්තර ප්‍රදේශයේ මුලින් වෙන්කර ඇති අක්කර 78ක ප්‍රමාණය සහ අලුතින් හඳුනාගත් පෙදෙසද ඇතුළුව  නටබුන් හමුවුණු ප්‍රදේශයේ යෝජිත පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස මායිම් ගල් දමා වෙන්කර තිබේ. ඒ සම්පූර්ණ පෙදෙසේ පුරාවිද්‍යා කැණීම් සිදුකර අවසන් නැත. ඉඩම් ගැන තීරණය කිරීමට නම් පුරාවිද්‍යා ගවේෂණය සහ කැණීම් අවසන් කළ යුතුවේ. මේ වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය. 

පසුගිය 8දා සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රුස්වීමකි. ඒ සඳහා ටී.එන්.ඒ. මන්ත්‍රීවරුද පැමිණ සිටියහ. මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ ජනතාව පරිහරණය කරන ඉඩම් ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් එය ඉටුව නැති බවයි. එම කුඹුරු ඉඩම් කොටස ජනතාවට නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර එවිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග කරුණු දක්වා පැවසූවේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ප්‍රකාරව එය සිදුකිරීමේ ගැටලුවක් ඇති බවය.

ඇමති මණ්ඩල තීන්දු පමණක් ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. ඒ සඳහා පුරාවිද්‍යා ආඥා පනත බලපැවැත්වේ. එයට පිටින් කටයුතු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා නොහැකි තරම් ඒ නීතිය බලවත්ය. පසුගිය යහපාලන කාලයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකට ඉවත්වීමට සිදුවුණේද දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් ව්‍යාපාරික කටයුත්තකට දේශපාලන අනුහසින් ඉල්ලීම නිසාය. දේශපාලනඥයන් පුරාවිද්‍යා රක්ෂිතවල භුමි ප්‍රමාණය තීරණය කිරීමේ හැකියාවක් ලොව කොහේවත් ක්‍රියාත්මක නොවේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික වගකීම පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීමය. යම් ස්ථානයක අක්කර කීයක් පුරාවිද්‍යාත්මකව වැදගත්ද යනුවෙන් තීරණය කරන්නේ පුරාවිද්‍යා සාක්ෂි මත   පුරාවිද්‍යාඥයන් විසිනි. අම්පාර රජගල පුරාවිද්‍යා භුමියට අක්කර 1025ක් තිබෙන අතර අනුරාධපුර මහා විහාරයේ භූමි ප්‍රමාණය දළ වශයෙන් අක්කර 260කි. මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයටත් විශාල ඉඩම් ප්‍රමාණයක් අයත්ය. 

කුරුඳුමලේ හෙවත් කුරුන්දි විහාරයේ නටබුන් වනයේ විශාල පෙදෙසක විසිරී ඇති අතර මෙතෙක් සංරක්ෂණය කර ඇත්තේ දාගැබ සහ පිළිම ගෙය පමණි. මෙහි සංරක්ෂණයට එරෙහිවත් නඩුවක් පවරා තිබේ. විහාරය පිහිටා ඇත්තේ  නාගචෝලේ වන රක්ෂිතය තුළය. මෙම වනයේ ටී.එන්.ඒ. ආධාරකරුවකු අක්කර 100ක් කපා වගා භුමියක් බවට පත්කර ඇති බවටත් පසුගිය කාලයේ වාර්තා විය.

පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල්ගේ 1905 වාර්තාවට අනුව දෙමළ ජනයා කුරුන්දියට පැමිණ ඇත්තේ ඒ ආසන්න සමයේය. ඒ වනවිටත් මෙය නටබුන් බෞද්ධ විහාරයක්ව පැවති ආකාරයත්, අවට කෝවිල්වලට මෙම විහාරයේ කළුගල් කොටස් ගඩොල් ඇතුළු දේ රුගෙන ගිය බවටද බෙල් සඳහන් කරයි. මෙම භූමිය අදින් අවුරුදු 90කට පෙර 1933.05.12 දිනැති අංක 7981 දරන ගැසට් නිවේදනයෙන් 62ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කම නිසාය.  පසුගියදා නව ගවේෂණවලින් ලත් සාධක පදනම් කරගෙන එම භුමි ප්‍රමාණය ඉහළ නැංවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කටයුතු සූදානම් කර තිබුණි. නමුත් තවම එය ගැසට් කිරීමට ඉඩ ලැබී නැත.

පසුගිය කාලයේ කළ ගවේෂණ කටයුතුවලදී ලත් ප්‍රතිඵල අනුව චන්ද්‍රිකා තාක්ෂණයේ උපකාරයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ සිතියම් අධ්‍යයන අනුව මුලින් ගැසට් කර ඇති අක්කර 78ට අමතරව අලුතින් අක්කර 229ක බිමක නටබුන් පැතිර තිබෙන බව හෙළිවිය. ඒ තුළ වනය විනාශ කළ අක්කර 5ක් තිබෙන බවද හඳුනාගෙන තිබේ. අලුතෙන් හඳුනාගත් අක්කර 229ක ඉඩම් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නිදහස් කිරීමේ ඉල්ලීම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි අතර ඒ අවසරය ලැබීමෙන් පසුව එම භුමිය යෝජිත රක්ෂිතයක් ලෙස මායිම්ගල් දමා වෙන් කෙරුණි. එම භුමිය මැන සැලසුම් සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබේ.

කුරුඳුමලේ හෙවත් කුරුන්දන්මලේ යනු අනුරාධපුර යුගයේ පැවති විශාල පබ්බත විහාර සංකීර්ණයකි. ඛල්ලාටනාග රජු (100-103) කුරුන්දාවශෝක නම් විහාරය කරවා ඇති අතර 1 වැනි අග්බෝ රජු (571-604) කුරුන්ද නම් විහාරයක් කරවා කුරුන්දවාපි නම් වැවක් ද කරවූ බව මූලාශ්‍ර සඳහන් කරයි. 1 වැනි විජයබාහු (1055-1110) රජු කුරුඳු විහාරය ප්‍රතිසංස්කරණය කරවා තිබේ. 2 වැනි පරාක්‍රමබාහු (1236 -1270) විසින් විනාශ කරන ලද කාලිංග මාඝගේ කඳවුරක්ද කුරුන්දියෙහි පිහිටි බව මූලාශ්‍රවල දැක්වේ. 

කුරින්දි විහාරයේ කැණීම් ආරම්භ කළදා පටන් එයට ලැබුණේ විවිධ බාධා කිරීම්ය. වර්ෂ 2018 දී ගවේෂණ කටයුත්තක් සඳහා පුරාවිද්‍යා නිලධාරීන් කුරුන්ද විහාරයට ගියද, ඔවුන්ට අතරමඟදී හැරී ඒමට සිදුවූයේ ටී.එන්.ඒ. පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය නිසාය.

2021 ජනවාරි 18දා කුරුන්දිමලෙයි විහාර බිමේ කැණීම් කටයුතු ආරම්භ කළ අතර එම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සමඟ ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායකද පැමිණියහ. කැණීම් කටයුතු ආරම්භ වන බව දැනගත් දෙමළ ජාතික සන්ධානයේ සහ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් අදාළ ස්ථානයට ගොස් තම විරුද්ධත්වය පළකර, පසුව මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ. පසුව එහි කැණීම් සිදුකළේ යුද හමුදාවේ   ආරක්ෂාව මධ්‍යයේය. මෙහි කැණිම්වලට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් 2021දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක්ද ගොනු කළේය.

මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා රක්ෂිත ස්මාරක ලෙස ගැසට් කර ඇත්තේ කුරුඳුමලේ සහ නයාරු ගුරුකන්ද විහාරය පමණි. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට මෙහි ගවේෂණ කර තහවුරු කරගත් පුරාවිද්‍යා ස්ථාන 63ක් පවතින අතර, තවත් ස්ථාන 50කට අධිකව ගවේෂණ කළ යුතුව තිබේ.

කුරුඳුමලේ කැණීමේ මුල පටන්ම මූලිකත්වය ගෙන කටයුතු කළ මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වීමෙන් පසු තමා මුලින් සේවය කළ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරේ කටයුතු කරන බවද අප විසින් කරන ලද විමසීමකදී සඳහන් කළේය. ඔහු ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතු මත බව මාධ්‍යවලට පැවසුවේය.

ඉල්ලා අස්වුණු මහාචාර්ය අනුර මනතුංග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩ භාර ගත්තේ 2021 ජනවාරි 1දා සිටය. ඒ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් බැවිනි. ඔහු පසුගිය දශක කිහිපයක සිට ක්‍රියාත්මක නොවුණු උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණවලට ලොකු උනන්දුවක් දැක්වූ අතර කුරුන්දි විහාර සංරක්ෂණයට මූලිකත්වය ගෙන කටයුතු කළේය.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අප රටේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට මහාචාර්ය මනතුංග විසින් සිදුකරන ලද සේවය ඉමහත්ය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ   ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ ඔහු විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයාද විය. ශාස්ත්‍රීය ලිපි රාශියක් පළකර ඇති ඔහු කෘති රාශියක කතුවරයා වේ.

I කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02