2023 ජුනි 17 වන සෙනසුරාදා

උපතින්ම ගොළු බිහිරි රොහාන්ගේ ඒක පුද්ගල චිත්‍ර දැක්ම

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 116

‍රොහාන් විදානපතිරණ දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. පින්සල් පහරින් පාට වුණු කැන්වස් රෙද්දේ හරි අපූරු චිත්‍රයක් අවසානයේදී මැව්වද ඔහු හඬ උපතින්ම නිහඬය. රොහාන් විදානපතිරණ උත්පත්තියෙන්ම ගොළුය. බිහිරිය. නමුත් කුඩා කල පටන්ම රොහාන් චිත්‍ර අඳින්නට ආසා කළේය. ඒ පවුලේ වටපිටාවත් සමඟය. රොහාන් චිත්‍ර කලාවට හපන්කම් දැක්වූ පිරිසක් සමඟ ජීවත් වුණු අයෙකි. ඔහුගේ සහෝදරියකට හා සහෝදරයකුටද ඔහු මෙන්ම උපතින්ම කතා කරන්නට නොහැකි වුවද රොහාන්ට පවුලේ සැමගේ ආදරය නොමසුරුව කුඩා කල සිටම ලැබුණේය.

''ඉස්සර පොඩි කාලේ ඉඳන්ම මම චිත්‍ර අඳින්න ආසයි. මගේ අයියටත් චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසා මම පොඩි කාලේ එයා චිත්‍ර අඳින දිහා බලාගෙන හිටියා. එයාට කතා කරන්න පුළුවන්. ඒ කාලේ සේන අයියා චිත්‍ර අඳිද්දි මමත් පැන්සලක් කොළයක් එයා ළඟින් තියාගෙන එයාට පේන්න ඇන්දා. ටිකෙන් ටික එයා මගේ චිත්‍ර හරියට අගය කළා. මටත් චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසා අඳින එක දිගටම කරන්න කියලා එයා මාව දිරිමත් කළා.''

රොහාන් සංඥා භාෂාවෙන් ඒ අතීතය සිහිගන්වද්දී ඔහුගේ ඒ සංඥා භාෂාව ගැන අපිට කියා දුන්නේ ඔහුගේ ඥාති සොහොයුරියක වූ ගීතා සෙනෙවිරත්න මහත්මියයි. ඇයද පරම්පරා හුරුවටමදෝ චිත්‍ර කලාව හරි අපූරුවට පිහිටා ඇති තැනැත්තියකි. ඇයද මින් පෙර ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක් පවත්වා ඇත.

රොහාන් පාසල් අධ්‍යාපනය ලැබුවේ රත්මලාන අඳ ගොළු බිහිරි පාසලෙනි. ඔහු එකල ඉතා දක්ෂ ශිෂ්‍යයෙකි. පසුකාලීනව පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ පවා තනතුරු හෙබවූ ආදි ශිෂ්‍යයෙකි. පාසලේදී රොහාන්ට හරි අපූරු මිතුරියක මුණගැසුණි. ඇය නමින් සුනීතාය. ඇය පදිංචි වී සිටියේ රාජගිරියේය. කලක් පැවැති මිතුරුකම ආදරයට පෙරළුණේ හරි අපූරු ලෙසය. ඔවුන්ගේ සංඥා භාෂා එක්වරම අපට තේරුම් ගැනීමට නොහැකි වුවද රොහාන් හා සුනීතා කිසිදු අපහසුතාවයකින් තොරව සංඥා භාෂාවෙන් තම අදහස් හුවමාරු කර ගත්හ. අදටත් රොහාන්ගේ ලොකුම හයිය හා සෙවණැල්ල ඇයයි. සුනීතාගේ ලොකුම සෙවණැල්ල වන්නේද ඔහුය. ඒ ආදරය වචනවලට නොපෙරළුවත් හදවත්වලින් ප්‍රබලය. 

රත්මලාන අඳ ගොළු පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ රොහාන්ගේ චිත්‍ර කලාව තවත් ඔප දැමුණේ හේවුඩ් පාසලෙනි. ඔහු එම පාසලේ වසර පහක් සෑම චිත්‍ර ශෛලියකින්ම අධ්‍යාපනය ලැබුවේය. හේවුඩ් පාසලෙන් රොහාන් පිටවූයේ බොහෝ දැනුම් සම්භාරයක් සමඟ ශක්තිමත් කලාකරුවකු ලෙසිනි. උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව රොහාන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතන කිහිපයකටම තම සේවය ලබා දුන්නේය. ඔහු මෙරට පිහිටි ඉතා දැවැන්ත වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතන කිහිපයකම සේවය කළේය. ඔහුගේ සේවාව ඒ ආයතන කිහිපයම අගය කළේය. ඔහු චිත්‍ර ශිල්පියෙක් මෙන්ම හොඳ කාටූන් ශිල්පියෙකි. වසර තිස් හයක් ඔහු විවිධ ප්‍රචාරණ ආයතනවලට තම සේවය ලබා දී තිබේ. ඒ සඳහා ඔහුට ඉතා හොඳ වැටුපක්ද ලැබුණි. එමෙන්ම විවිධ සම්මානවලින්ද රොහාන් පිදුම් ලැබුවේය. ඒ අතරතුර 2000, 2003 සහ 2010 වසරවලදී තවත් චිත්‍ර ශිල්පීන් කිහිප දෙනකු සමඟ එක්ව රොහාන් චිත්‍ර ප්‍රදර්ශන තුනක්ද පැවැත්වීය. නමුත් ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ මේ මස 30 වැනිදා සිට ජූලි මස 2 වැනිදා දක්වාය.

රොහාන් විදානපතිරණ ආදරණීය සැමියෙකි. දෙබස්වලින් අදහස් හුවමාරු කර නොගත්තද ඔහු තම බිරිඳ සමඟ ඔවුන්ටම වෙන්වුණු සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කර ගනියි. වයස අවුරුදු 72 ක් වන රොහාන් රුකියාවෙන් විශ්‍රාම යාමත් සමඟ විනෝදාංශයක් ලෙසින් චිත්‍ර ඇන්දේය. රොහාන්ගේ දවසේ වැඩි කාලයක් ගතවන්නේ හුදෙකලාවය. රෙද්දක්, පැන්සලක්, වර්ණයක් සමඟය. ඔහුට නිදහසේ ඔහුගේ සිතුවිලි කැන්වසයේ සනිටුහන් කරන්නට ඒ නිදහස සුනීතා නොමඳව ලබා දෙන්නීය. ඉඳහිට රොහාන් සංඥා භාෂාවෙන් ඇගෙන් චිත්‍රයේ අඩුපාඩු අසයි. තවත් විටෙක සුනීතා ළඟට ගෙන එන තේ කෝප්පය රස කරමින් චිත්‍රයක් අඳියි. අදටත් රොහාන්ට කුසගිනි දැනෙන තුරු සුනීතා තමන් පිසූ දෑ ආහාරයට ගන්නේ නැත. දෙදෙනාම ආහාර ගන්නේ කෑම මේසයේ වාඩි වී එකටය. සුනීතාට හරි රසට කෑම පිසීමේ හැකියාව ඇත. රොහාන් ඒ හැම මොහොතකම ඇගේ අත් ගුණය අගය කරයි. කතාබහ කරමින් සිටින අතර සුනීතා අපව තවත් තැනකට රුගෙන ගියාය. මේසයක් පුරාවට රොහාන් ඇඳි කාටූන් චිත්‍ර එහි පිළිවෙළට අතුරා තිබුණි. ඒ හිත් දෙක මෙන්ම ඒ නිවෙසද පිළිවෙළය. ගෙදර දොර සියලු වැඩ සුනීතා කරද්දී රොහාන්ද ඇයට උදව් කරයි. නමුත් මේ දිනවල රොහාන් ඔහුගේ පළමු ඒකපුද්ගල ප්‍රසංගයට සූදානම් වන්නේය.

ගෙදරට අවශ්‍ය දෑ මෙන්ම චිත්‍ර කටයුතු සඳහා අවශ්‍ය සෑම දෙයක්ම මිලදී ගැනීමට ඔවුහු වෙළෙඳපොළට යති. පළමුව අවශ්‍ය දෑ කොළයක ලියාගන්නා දෙදෙනා ඒවා මිලදී ගැනීමට යන්නේද එක්වය. සුනීතා ලස්සනට හැඩ වෙනවා දකින්නට රොහාන් අදද කැමැතිය. ඒ ආදරය ඒ තරමටම සුන්දරය.

ඔවුන්ගේ නිවෙස කලාගාරයකි. තැනින් තැන ඇඳි හරි අපූරු චිත්‍ර ඒ නිහඬ සිත්තරාගේ හිත හරි අපූරුවට පාට කළේය. ජූනි මස 30 වැනිදා සිට ජූලි මස 2 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී මේ අපූරු නිහඬ සිත්තරාගේ චිත්‍ර දැකබලා ගන්නට ඔබටද අවස්ථාව හිමි වේ. ජූනි මස 30 වැනිදා සවස 5.30 ට මෙම චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ වනු ඇත. ඝෝෂාකාරී පරිසරයෙන් මිදෙන්න. මඳකට නිහඬව අලුත් හුස්මක් ගෙන එදිනට හෝ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට එන්න. ඒ මේ සොඳුරු නිහඬ සිත්තරා ඔබට කරන ආරාධනාවයි.

විශේෂ ස්තූතිය
ගීතා සෙනෙවිරත්න

♦  දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූ - සුමුදු හේවාපතිරණ