ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධුරය අත්හැරීමත් සමඟ අසරණ වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට එකම පිහිට සහ සරණ වූයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. පොහොට්ටු අපේක්ෂකයකුට වඩා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුව විසින්ම තෝරාගත්තේම ඒ වනවිටත් ජනතා අරගලයේ බලපෑම පොහොට්ටු නායකයන් වෙත එල්ල වී තිබීම නිසාය. මේ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාවත් ඒ වනවිට මෙල්ල කළ නොහැකි ලෙස උඩට එමින් තිබූ අරගලයත් මර්දනය කළ හැකි එකම පුද්ගලයා ලෙස පාර්ලිමේන්තුවේ තනි අසුනක් පමණක් හිමිවූ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ තේරීම විය.
කොන්දේසි කිහිපයක් මත එකඟව ජනාධිපතිවරයා බවට පත්කළ රනිල් වික්‍රමසිංහ මහතා පළමු පොරොන්දුව වූ ගෝල්ෆේස් අරගලය මර්දනය කර දැමුවේ එක රුයින්ය. ඒ හරහා නැවතත් ආරක්ෂව දැඩිකොට පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට එළියට බැස දේශපාලනය කිරීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රමයෙන් සකසා දුන්නේය. එය අප පමණක් නොව පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවා එළිපිට කියන දෙයකි.
කෙසේ වෙතත් මෙම රජ කරවීමේ මූලික ගිවිසුම් ගතවීමේදී පොහොට්ටුව විසින් ගෙන ආ යෝජනාවක් වුණේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් හට ඇමැතිකම් ලබාදිය යුතු බවටය. එයට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ අතර බලය ලැබුණු සැනින් එය කරන බව කීවේය.
එහෙත් පොහොට්ටුවේ තෝරාගත් ජෙස්ෂ්ඨයන් කීප දෙනෙකුට හැර පොහොට්ටුව වෙනුවෙන් කටින් හරඹ කළ ජ්‍යෙෂ්ඨයන් හට තනතුරු ලැබුණේ නැත. ඒ මොහොත මග හැරී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලැබුණු ආරංචිය වූයේ සර්වපාක්ෂික ආණ්ඩුව සැකසූ පසුව එම පිරිසටද ඇමැතිකම් ලබාදෙන බව කියාය.
එහෙත් සර්වපාක්ෂික ආණ්ඩුව බාලගිරි දෝෂයට හසුවිය. අද නෙමෙයි හෙට න්‍යාය නිසා දිනෙන් දින වැඩේ කල් යන්නට විය. කෙසේ වෙතත් නැවතත් මැති ඇමැතිකම් සන්තෝෂම උඩ එන්න ගත්තේ සජබයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට ගිය ප්‍රචාරයත් සමඟය. එම පිරිස සමඟ මැති ඇමතිකම් ලබාදෙන බවට නැවතත් කතාවක් ප්‍රචාරය විය. එහෙත් සජබයේ පිරිස් එන බව කිව්වත් එය හරි ගියේ නැත.
මේ අතර ඇමැතිකම් දෙන කතාව තවත් ඉස්මතු වූ තැනක් වුයේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමත් සමඟය. එලෙස අයවැය ජයග්‍රහණයෙන් පසුව නැවතත් පොහොට්ටුවේ පිරිස් අපේක්ෂාවෙන් හිටියේ ඇමැතිකම් ලැබෙතැයි අරමුණෙනි. එහෙත් ඉන්පසුවද කියු පරිදි ලැබුණේ නැත.
මෙම තත්ත්වය හමුවේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පොහොට්ටුවේ ප්‍රධානීන් හමුවී තම දුක් අඳෝනා කීවේ ජනාධිපතිවරයා පොරොන්දුව ඉටුනොකිරීම ගැනය. පසුව එක් අවස්ථාවක බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කතාකළ අතර එහිදී ජනාධිපතිවරයා ඉක්මනින් ඇමතිකම් ලබාදෙන බවට දැනුම් දී තිබුණේය.
ඇමතිකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි කණ්ඩායමේ එස්.බී. දිසානායක, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණි ලොකුගේ වැනි පිරිසක් උඩින්ම සිටියහ. ඊට හේතු වූයේ ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් වැඩි ඡන්ද ලබාගත් පිරිස වූ නිසාය. එහෙත් ඔවුන් අපේක්ෂා කළ මැති ඇමතිකම් නොලැබූ කළ ඔවුහු ජනාධිපතිවරයා සමඟ නෝක්කාඩු වන තැනට පත්වූහ. ඇතැම් අවස්ථාවල ඔවුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට පවා උත්සාහ ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඇතැම් පනත් සම්මත කිරීම මග හැරීමට උත්සහ ගත් බව දැනගන්නට විය. කෙසේ වෙතත් එන්න එන්නටම තත්ත්වය උග්‍ර අතට හැරීයාම පසුගියදා සිට ආරම්භ විය.
ඒ එළිපිට මේ තනතුරු ගැටුම කරළියට ඒමත් සමඟ. එජාපයේ ජෙස්ෂ්ඨයන් පොහොට්ටුවට මුල මතක් කරදීමට පටන් ගත්තේ මේ අතරය. එනම් රනිල් වික්‍රමසිංහ මහතා නැතිනම් පොහොට්ටුවක් හෝ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඉන්න හිටින්න තැනක් නැති බව පෙන්වා දෙමිනි. මේ අතර සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කීවේ පොහොට්ටුවට සලකන්නේ නැත්නම් ඕන වෙලාවක පොහොට්ටුව ආණ්ඩුවෙන් එළියට බැස යන බවය. මෙය බරපතළ ප්‍රකාශයක් වූ අතර ආණ්ඩුවේ ගැටුම උඩට ආ අවස්ථාවක් විය.
කෙසේ වෙතත් මෙලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දැඩි විරෝධය පළකර තිබුණේය. එනම් මේ ආකාරයේ සිදුවීම් හරහා ආණ්ඩුවේ ගැටුම් රටට යන බව කියාය. ඒ නිසා විශේෂයෙන් පොහොට්ටුවේ අය ඉවසිය යුතු බව ඔවුන්ගේ මතය විය. මෙම මැති ඇමතිකම් ලබාදීමේ සිදුවීම ගැන තව තවත් සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ආණ්ඩුවේ තනතුරු දරන ඇතැම් ෙජස්ෂ්ඨයන් එම ඇමැතිකම් ලබාදීමට විරුද්ධව ඇති බවයි. එයට හේතුව ඇත්තේ ඇතැම් අයට ඇමැතිකම් ලබාදීම හරහා විශාල ජනතා විරෝධයක් ඇතිවෙතැයි යන සැකයෙන් බව දැනගන්නට ඇත. මේ නිසා ඔවුන්ද ඇමැතිකම් ලබා දීමට එකඟ නොවූ බව දැනගන්නට ඇත.
අවසානයේ ප්‍රශ්නය පසුගියදා අවසන් විය. ඒ ඇමැතිකම් අපේක්ෂාවෙන් සිටි පිරිස කැඳවා අදාළ ඇමතිකම් ලබාදිය නොහැකි බව දැන්වීමත් සමඟය. තත්ත්වය පහදා දීමත් සමඟ ඇමැති සිහිනය බොඳවී ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් එය පිළිගත්තත් ඒ පිරිස ඊට තවම එකඟ නැති බව දැනගන්නට ඇත. තවම අළු යට ගින්දර ඇති බව ඇතැම් අවස්ථාවල දෙපාර්ශ්වයේ සිදුවන අදහස් හුවමාරු අතර පෙනේ. එහෙත් නැවත ඇමැතිකම් ලබාදීමක් ළඟදී සිදුවන බවක් පෙනෙන්නට නැත.
මේ අතර පසුගියදා පොහොට්ටුවේ පිරිස ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එකඟ වී ඇති බව දැනගන්නට ඇත. එහෙත් එම සහාය මැතිවරණයටද, ආණ්ඩුවේ වැඩපිළිවෙළටද යන්න තවම පැහැදිලි නැත. කෙසේ වෙතත් තමන්ගේ පිරිසට ඇමැති පට්ටම් නොමැතිව ජනාධිපතිවරයාට සහය ලබාදෙයිද යන්න සැකයක් ඇත. ඒ නිසා හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට සිදුවිය හැක.
I ගයාන් ගාල්ලගේ