2023 ජුනි 17 වන සෙනසුරාදා

ටෙලිකොම් විකිණීමට පාර්ලිමේන්තු කමිටුවෙන් වැටුණු පොල්ල

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

පසුගිය සතියේ අප ඇසූ දුටු ටෙලිකොම් පෞද්ගලීකකරණය සම්බන්ධ සිදුවීම් පෙළ නාටකීය ස්වරූපයක් ඉසිලුවේය. ටෙලිකොම් පෞද්ගලීකකරණය පිළිබඳ කතිකාව තවත් දේශපාලන කෝලමක් වී ඇත්දැයි අප සැකයක් උපන්නේ එබැවිනි. එමනිසාම ටෙලිකොම් පෞද්ගලීකරණය පිළිබඳ මෑතකාලීන සිදුවීම් මුල මැද අග සහිතව ලියා තැබීමට අපි තීරණය කළෙමු.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීම පිළිබඳ කතාව අද ඊයෙක කරළියට පැමිණි මාතෘකාවක් නොවේ. කෙසේ වෙතත් මෑතකාලීනව මෙම සංවාදය ඇරඹෙන්නේ මීට මාස හතකට පමණ පෙරය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයා ඉල්ලා පළමුව සටනට අවතීර්ණ විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු රත්තරන් බිජු දමන කිකිළියක් බවත් එය වසර පහකට වරක් පත්වන සෑම රජයකටම ලබාදෙන දෑවැද්ද බවත් පවසමිනි වෘත්තීය සමිති සටනට ඇරඹුවේ. පසුව ගැටලු සම්බන්ධ ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවා ගොනු කළේය. මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව තිබෙන රජයේ කොටස් ජූනි මස 15 වැනිදා තෙක් විකිණීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් පවා ලබා දුන්නේය.

කෙසේ වෙතත් පෙත්සම නැවත කැඳවීමට පෙර නැවතත් ටෙලිකොම් ආරවුල කරළියට පැමිණියේය. ඊට හේතුව වූයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවකි. පසුගිය ජූනි 9 වැනිදා එම වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය. එයින් කියැවුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවකි.

ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා එම වාර්තාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවසීය. මේ හා සම්බන්ධ නිර්දේශ තුනක්ද ඔහු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

''ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැනටමත් අර්ධ වශයෙන් පෞද්ගලීකකරණය කර ඇති අතර, ජාත්‍යන්තර සමාගම සතුව කොටස්වලින් 44.67%ක් ද රජයට කොටස් 49.5%ක් ද ඇත. තවදුරටත් පෞද්ගලීකකරණය කිරීම මගින් රටේ තීරණාත්මක සන්නිවේදන යටිතල පහසුකම්, සංවේදී තොරතුරු ලාභය ඉලක්ක කරගත් අභිලාෂයන් සහිත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලික ආයතන වෙත නිරාවරණය වනු ඇත. එබැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය ආයතනය නිර්දේශ නොකරයි.''

මෙම සිදුවීම සහ ප්‍රකාශයත් සමග ටෙලිකොම් පෞද්ගලිකකරණය කිරීමේ පිඹුරුපතට සැලකිය යුතු පරිමාවක බලපෑමක් එල්ල විය. එමනිසාම ආණ්ඩුවට හිතෛෂී පාර්ශ්ව මෙම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ පෙරළා ප්‍රශ්න කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව පැවසුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීවය. ඔහුගේ කතාවට විශාල අවධානයක්ද ලැබුණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන ඇතැයි කියා තිබුණි.

''වර්තමානය ගැන නොදැනුවත්කමත්, අතීතය ගැන නොදැනුවත්කමක් තමයි මෙයට මූලික හේතුව. 90 දශකයේදී අපි විවිධ සමාගම්වලට එන්න කිව්වා. එදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකථන ජාලයක් තිබුණේ නැහැ. මොබිටෙල්හි කොටසක් තිබුණත්, කළමනාකරීත්වයේ අයිතිය තිබුණේ ඔස්ට්‍රේලියානු සමාගමකටයි. ආණ්ඩුවේ සාම්ප්‍රදායක් තිබුණා මොබිටෙල් සමාගමෙන් සේවාවන් ලබාගන්න. ඒ කොටසක් ටෙලිකොම් සමාගමට අයිති නිසා. නමුත් ‍මොබිටෙල් සමාගම ටෙල්ස්ටා ආයතයනය විසින් තමයි එහි කළමනාකාරීත්වය සිදුකළේ. ටෙලිකොම් කළමනාකාරීත්වය තිබු‍ණේ ජපන් සමාගමකටයි. ටෙලිකොම්හි සභාපති විදිහට ලංකාවේ කෙනෙක් හිටියත් මූලික තීන්දු තීරණ ගත්තේ ජපන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින්.
යුද්ධයක් තිබූ කාලයේදීත් ජංගම දුරකථන සමාගම් හතරක් සහ ස්ථාවර දුරකථන සමාගම් තුනක් රටේ තිබුණා. ඩයලොග් සමාගමේ පමණයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට හිටියේ. ඒකත් සියයට සියයක් මැලේසියාවට අයිති වෙලා තිබුණේ. ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව මන්තරයක් වගේ කියව කියවා යනවා. සමහරු සටන් පාඨයක් කරගෙන.''

කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මෙම ප්‍රකාශ සිදුකළේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ නම් වැඩසටහනට එක්වෙමිනි.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ජූනි 13 වැනිදා තවත් නිවේදනයක් නිකුත් කළේය. ටෙලිකොම් පෞද්ගලීකකරණය කිරීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රසිද්ධියට පත්කළ වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිදු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බවට අනාවරණය වී ඇතැයි පවසමිනි. ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක කවුන්සිලය හමුවේ මේ බව අනාවරණය වී ඇතැයි ඇතැයිද ඒ අනුව කියැවුණි.

මෙලෙස මෙම සංවාදයෙන් දික්ඇදෙන අතරේ ටෙලිකොම් වෘත්තීය සමිතිද සටන අවතීර්ණ විය. ඔවුහු මාධ්‍ය හමු කිහිපයක්ම පසුගිය සතිය තුළ සංවිධානය කළහ. විවිධ දේශපාලන කඳවුරු සහ කණ්ඩායම්වලට අයත් වෘත්තිය සමිති පොදුවේ මේ පිළිබඳ විරෝධය පෑහ.

ඒ අනුව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පැවසුවේ ටෙලිකොම් ආයතනය විකිණීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීම පමණක් නොව රජයට ලැබුණු විශාල ආදායමක්ද අහිමිවීමක් බවයි.

''ඇත්තටම මේක දිගින් දිගටම වෘත්තීය සමිති විදිහට අපි කියපු කාරණයක්. නමුත් ඒ කිසිවක් අහන්නේ නැතුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව ටෙලිකොම් ආයතනය, රක්ෂණ ආයතනය විකිණීමට කටයුතු කරමින් හිටියා. දැන් රජයේ පාර්ශ්වය පවා පිළිඅරගෙන තියෙනවා ටෙලිකොම් ආයතනය විකිණීම කියන එක රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයෝ නැවත කියනවා මේ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කරලා තියෙන වාර්තාව පිළිගන්න බෑ කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඒකාධිපතිත්වය මෙතන පැහැදිලිව පේනවා.''

මේ අතර ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පවා ජනපතිගේ තීරණයට විරෝධය පෑවේය. එහි සහාපති අනිල් හේමන්ත, ජනපතිගේ තීරණයට සහාය නොදක්වන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

''සයිබර් අවකාශ තොරතුරු තාක්ෂණය අතැති කෙනා පමණ ලංකාවේ සියලු දේවල් පාලනය කරන්නෙ. බැංකු පද්ධතිය, සන්නිවේදනය ඇතුළු සර්ව දේවල් එක මොහොතකින් නතර කරලා දාන්න පුළුවන්. අපේ සයිබර් ජාලය ජාතික ආරක්ෂාව කියන දේ රඳා පවතින්න ඉතාම වැදගත්. මෙතන තියෙන වත්කම් තවම හරියට ගණනය කරලාත් නෑ.''

ආණ්ඩුව පාර්ශ්වයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව නිසි අධ්‍යනයකින් තොරව ඉදිරිපත් කරනු ලැබු බවට එල්ල වූ චෝදනාව ක්‍රමයෙන් පතළ වන්නට විය. ඊට හොඳ ප්‍රචාරයද ලැබුණි. ඒ අනුව ආණ්ඩුවේ ජනපති පාර්ශ්වයේ මෙහෙයවීම යටතේ මෙම මතය ස්ථාවර කිරීම සඳහා බොහෝ දෙනා පෙනී සිටියහ. අවසානයේදී ඒ පිළිබඳ පිළිතුරු බැඳීමට නැවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා ඉදිරිපත් විය.

''අපි ඉදිරිපත් කරපු වාර්තාව සම්බන්ධයෙන් සමහරු විවේචනය කරනවා, සමහරු ප්‍රශංසා කරනවා. සමහරු කියනවා මෙතන කිසිම විද්‍යානුකූල පදනමක් නෑ ඒ නිසා පිළිගන්නේ නැහැයි කියලා. මම ඉතා පැහැදිලිව කියනවා මේක තර්කානුකූලව, විද්‍යානුකූලව ඉතා කෙටියෙන් ඉදිරිපත් කළ වාර්තාවක්. අපේ රටේ උපායමාර්ගික සම්පත් තියෙනවා නම් පැහැදිලිවම ඒවා රජයේ පාලනය යටතේ තිබිය යුතුයි.''

ඔහු පෙන්වා දෙන ආකාරයට තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය යනු රටක උපායමාර්ගික සම්පත්තිය. එම නිසා එම සම්පත් රජයේ පාලනයට යටත්ව තිබිය යුතුය. කෙසේ වෙතත් මෙම සියලු සිදුවීම් නාටකීය ස්වරූපයක් ඉසිලීය. මෙම සටන පිටුපස දේශපාලන වුවමනා එපාකම් රුසක් සැඟව පවතින බවද පෙනී ගියේය.

අවසානයේ  ජුනි 15 වන දිනය උදා විය. ටෙලිකොම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක සලකා බැලීම  මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සිදුවිය. ටෙලිකොම් කතාවේ අලුත් පරිච්ඡේදයක් ලියා තබමින්, ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

දැන් මුළු රටම ටෙලිකොම් කතාවේ ඊළඟ ජවනිකාව කුමක්දැයි බලා සිටිති. නොවැරදීම හෙට අනිද්දාට එම ජවනිකාව වේදිකාගත වන ඇත. අපි බලා සිටිමු.

I චමිඳු නිසල් ද සිල්වා