2023 ජුනි 17 වන සෙනසුරාදා

ඇමසන් වනාන්තරයේදී මරුවා සමග සටනක් දුන් දරුවෝ

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 97

පසුගිය සතියේ ලෝකයේම දැඩි කතාබහකට මුල්වූ, ඇමසන් වනාන්තරයේ අතරමංව සිටියදී යළි හමු වූ නිර්භීත දරුවන් හතර දෙනා මේ වනවිට පුළුන් පිරවූ සුරතල් සෙල්ලම්  සතුන්ගෙන් වට වී ඔවුන්ගේ රෝහල් ඇඳන් මත සුවය ලබමින් සිටිති. ඔවුන්ගේ ජීවිත බේරාගන්නට ඔවුන් සොයා පැමිණි කණ්ඩායමට මඟපෙන්වමින් උදව් කළ විල්සන් නමැති බෙල්ජියම් එඬේ බල්ලා දැන් අතුරුදන්ව ගොසිනි. ඔවුන් සිය ගැලවුම්කාර   හිතවතා ගැන සිත් ඇදගන්නා සුළු චිත්‍ර නිර්මාණය කරමින් සිය ආදරය ලොවටම පෙන්වා ඇත.

දැන් මාධ්‍ය තුළ දක්නට ලැබෙන්නේ කොලොම්බියාවේ බොගෝටා හි පිහිටි හමුදා රෝහලක ඔවුන්ගේ රෝහල් ඇඳන් මත ආරක්ෂිතව සිටින ළමුන් සිව්දෙනා වන ලෙස්ලි (13), සොලෙයිනි (09), ටියන් නොරියෙල් (04) සහ බිළිඳු ක්‍රිස්ටින්ගේ විශේෂ ඡායාරූපයන්ය.

වැඩිමහල් සහෝදර සහෝදරියන් වන ලෙස්ලි සහ සොලෙයිනි මුකුටුයි, ඇමසන් වනයේදී ඔවුන් සොයා ගැනීමට උදව් කළ හය හැවිරිදි සුනඛ විල්සන්ගේ වර්ණ චිත්‍ර නිමවා තිබේ. 

විල්සන් වනාන්තරයේ ගස් අසල, ගඟක් අසල, මල් සහ දීප්තිමත් කහ හිරු සමඟ මේ  චිත්‍රවල නිරූපණය කර තිබේ.

මාසයකට වඩා වැඩි කලක් ඔවුන් දරුණු වනාන්තරයේ අතරමං කළ මැයි 1 වැනි දින සිදුවූ ගුවන් යානා අනතුරෙන් දරුවන්ගේ මව, ගුවන් නියමුවා සහ ආදිවාසී නායකයා මියගිය අතර වැඩිමල් දියණිය ලෙස්ලිගේ සූර නිර්භීත දක්ෂතාව හේතුවෙන් පසුව ඔවුන් සොයාගන්නා තුරු විස්මිත ලෙස දිවි රැකගෙන තිබුණි. ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමේ   ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර, වන බිමේදීම අතුරුදන්ව ගිය සුමිතුරු සුනඛයා සොයා දැන් දියත්ව ඇති අඛණ්ඩ මෙහෙයුම සඳහා ඔවුන්ගේ දායකත්වය ලෙස මෙම සහෝදර සහෝදරියන් මේ අපූරු චිත්‍ර නිර්මාණය කර ඇත.

ගලවා ගැනීමේ පුහුණුව ලත් සුනඛ විල්සන් මුලින් ඔහුගේ හසුරුවන්නන්ගෙන් පලා ගිය අතර අතුරුදන් වූ බවට උපකල්පනය කරන ලදී, නමුත් ගලවා ගැනීමේ කණ්ඩායම් ඔහුගේ පා සලකුණු ළමයින්ගේ අසලින් සොයාගෙන ඇත. ඉන්පසු ඔහු නැවත අතුරුදන්ව තිබේ. විශ්වාසවන්ත සුනඛයා නැවත වරක් අහිමි වීමට පෙර දින කිහිපයක් දරුවන් සමඟ රැදී සිට ඇත. සිවිල් ආරක්ෂක සුනඛ මාර්ගෝපදේශකයකු වන කාලෝස් ඇන්ඩ්‍රෙස් විලෙගාස් හෙළි කළේ විල්සන් අවසන් වරට දුටුවේ ජූනි 8 වැනි දින ඔහු ගණ වනාන්තරයේ අතුරුදන් වීමට පෙර බවය.

දරුවන් රැගත් සෙස්නා යානය කඩා වැටුණු කැලෑ ප්‍රදේශයේ ආදිවාසී ප්‍රජාව දැන් විල්සන් නම් කර ඇත්තේ ‘මිලිටරි රණශූරයා’ ලෙසිනි.

මහා ඇමසනය තුළ තනිවූ දරුවන්ගේ විස්මිත දිවි ගලවා ගැනීම පිළිබඳ අපූරු නව තොරතුරු සමුදායක් දැන් ඔවුන්ගේ සීයා වන නාර්සිසෝ මුකුටුයි විසින් හෙළි කර තිබේ.

ඒ අනුව දරුවන්ගේ මව මැග්ඩලේනා අනතුරෙන් ටික වේලාවකට පසු මිය යන්නට ඇති බවට විශ්වාස කෙරේ. මුලින්ම සිහිය ලබා ඇත්තේ ලෙස්ලි නමැති වැඩිමහලු දැරියටය. ඇය ඒ මවගේ මුල් කසාදයේ දැරියයි. තම මව ඒ වන විටත් මියගොස් ඇති බව ඇය (ලෙස්ලි) දැනගත් අතර, වැඩිහිටි මළසිරුරු තුන අතර සිරවී ඇති ඇගේ ලාබාල ඥාති සහෝදරියගේ කුඩා පාද ඇය දුටුවාය.

''ඇය ළමයා එළියට ඇදලා ගත්තා. ඒ සමඟම ඇය වහාම අනෙක් අයත් තුවාල වී සිටිනු දුටුවා. පසුව ඇය මවගේ බෑගය විවෘත කර ඇඳුම් කිහිපයක් එළියට ගෙන ඒවා ඉරා දමා වෙළුම් පටි තනා සිය බාලයන්ගේ තුවාල බැඳීමට පටන් ගත්තා.'' 

ඔවුන් සමඟ ගිය වැඩිමහලු පිරිමියා පිටි රාත්තල් තුනක්ද රැගෙන ගොස් තිබුණි. කවුරුන් හෝ තමන් සොයා ඒවි යැයි බලාපොරොත්තුවෙන් මේ පිටි කැලෑ ඵල සමඟ ආහාරයට  ගනිමින් ඔවුහු දින හතරක් ගුවන් යානය වටා රැදී සිටියහ.

නමුත් දින හතරකට පසු තමන්ම මඟ සොයා යාමට ඔවුන් මඟට බැස තිබේ. නමුත් ලෙස්ලි පැවසුවේ තමන් කුමන මාර්ගයෙන් යා යුතුද යන්න නොදැන සිටි බවයි. පසුව   ඔවුහු තමන් යන එන සහ නිදාගන්නා සෑම තැනකම සලකුණු තබා යාමට පටන් ගත්හ. ඒ යමකු ඔවුන්ව සොයා එනවා නම්, ඒවා ඔවුන්ව සොයා ගැනීමට උපකාරී වනු ඇතැයි සිතාය. සැබැවින්ම ලෙස්ලිගේ මේ නුවණක්කාර තීන්දුව නිසාම ඇය ඇතුළු දරුවන් පිරිස සොයා ගැනීමට මහඟු පිටිවහලක් ලැබී තිබුණි. විල්සන් ප්‍රමුඛ සුනඛයන්  ඈ මෙලෙස අතහැර දමා ගිය කොණ්ඩා කටුවක්, කතුරක් සහ පීත්ත පටියක් මගින් ඉව අල්ලාගෙන තිබුණි.

නමුත් හෙලිකොප්ටර හඬට බිය වූ මේ දරුවෝ එයින් ඈත්ව සැඟව සිටියහ. මිනිසුන් කල්ලි ගැසී රංචු පිටින් හඹාගෙන එද්දී ඔවුන් පඳුරු තුළ සැඟවී පොඩි දරුවාගේ කටද වසාගෙන සිටියේ භීතියෙන් ගුලි වීගෙනය. අන්තිමේදී සිය ආච්චි අම්මාගේ හඬ ඔවුන්ට ගුවනින් එන යානයෙන් අසන්නට ලැබුණි. එයින් කීවේ ඔවුන් බේරාගන්නා අය එනතුරු එළිමහන් තැනකට වී සිටින හැටියටය. විල්සන් ප්‍රධාන සුනඛ මිතුරන් කැලෑව බිඳගෙන ඔවුන් වෙත දිව ආවේ මෙලෙස සිටියදීය. දිවි බේරාගන්නා විට ඔවුන් විජලනයට ලක්ව හාමතින් සහ මැසි මදුරු කෘමි ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත්ව වුවද නිරෝගී මට්ටමක සිටියහ.

ඔවුන් ගමන් කළ සෙස්නා 206 යානය Araracuara නම් ගැඹුරු Amazon වන මැද ප්‍රදේශයෙන්  අරඹා සැතපුම් 217 ක් දුරින් වූ San Jose del Guaviare නගරයට යන ගමනේදී ගුවන්ගත වී  මිනිත්තු කිහිපයකින් එන්ජිමේ දෝෂයක් ඇති බව නියමුවා වාර්තා කර තිබුණි.

පසුව ගුවන් නියමුවාගේ, දරුවන්ගේ මවගේ සහ තවත් වැඩිහිටියකුගේ සිරුරු සියල්ල යානය කඩා වැටුණු ස්ථානයේ තිබී හමුවූ අතර, යානය ගස්වල සිරස් අතට රැදී තිබුණි.

නමුත් සති කිහිපයක විපරමකින් පසු මේ යානයේ සුන්බුන් සොයාගන්නා විට, වැඩිහිටියන් සමඟ සිටි කුඩා දරුවන්ගේ සිරුරු දක්නට නොතිබීම පමණක් නොව, ඔවුන් සියල්ලන්ම දිවි ගලවාගත් බවට සාධාරණ සැකයක් මතු කළ අඩක් අනුභව කරන ලද පළතුරු ඒ අසල දකුණට ලැබී තිබුණි.

එතැන් සිට දියත් වූයේ ලෝකයේ විශාලතම, භයානකම සහ අති පුරාණ මහා ගණ වනාන්තරය විනිවිද සැතපුම් ගණනක් විහිද ගිය තියුණු ලුහුබැඳ යාමකි. 

''මහා වනාන්තරය ඔවුන්ව බේරාගෙන තිබුණා. දැන් ඔවුන් මේ කැලේ ළමයි. අපේ  කොලොම්බියාවේ ළමයි.'' ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මේ විස්මිත දිවි ගලවා ගැනීම ගැන කියා තිබුණි.

 I සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02