2023 ජුනි 17 වන සෙනසුරාදා

ආණ්ඩුව පොරොන්දු කැඩුවොත් වෙන දේ GMOA කියයි

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 108

වෘත්තියවේදීන්ගේ බදු සටන නැවත කරළියට එන ලකුණු පෙනෙන්නට තිබේ. ආණ්ඩුව සමඟ සිදු කළ සාකච්ඡා අනුව ජූනි මස මුලදී යම් සහනයක් ලැබෙතැයි අපේක්ෂාවෙන් වෘත්තියවේදීහු පසුවූහ. එහෙත් එවන් විසඳුමක සේයාවක්වත් ඉකුත් සති දෙක තුළදී දක්නට නොලැබුණි. එම නිසාම වෘත්තියවේදීහු සිය සටන් පාඨ නැවත කරළියට රැගෙන එමින් සිටිති. 

අප මේ පිළිබඳ තොරතුරු විමසා බැලුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගෙනි. "බදු සටනේ" වර්තමාන තත්ත්වය පිළිබඳ අපි පළමුව ඔහුගෙන් විමසා සිටියෙමු.

“රජයේ නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ අපි වෘත්තියවේදීන් විදිහට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නිර්මාණය කරගෙන ලොකු ගමනක් ආවා. තවදුරටත් අපි ඉදිරියට යමින් සිටිනවා. මාර්තු මාසේ අඛණ්ඩ වැඩවර්ජන මාලාවේදී ආණ්ඩුව අඩියක් පස්සට අරගෙන අපිට විසඳුමක් ලබා දුන්නා. යම් කාල රාමුවක් ඇතුළත අපේ යෝජනා ක්‍රියාත්මක කරනවා කියල කිව්වා."

වෛද්‍ය විජේසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට වෘත්තියවේදීන්ද අඩියක් පසුපසට ගෙන ආණ්ඩුවට අවකාශය ලබා දුන්නේ මෙම විසඳුම පිළිබඳ අපේක්ෂා පෙරදැරිවය.

“විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සමඟ සසඳා බලල අපේ දේවල් ක්‍රියාත්මක කරනවා කියල පොරොන්දු වුණා. ජූනි මාසේ මුල වෙනකොට අපේ යෝජනා එක්ක සංශෝධන මොනවාද කියල ඉදිරිපත් කරන බව අපිව දැනුවත් කරලා තිබුණා."

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමාලෝචන ආරම්භ කරන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් සන්නිවේදනය වී ඇති බවකි. එම සමාලෝචනය තුළ වෘත්තියවේදීන්ගේ යෝජනා පිළිබඳ සාකච්ඡා වනු ඇත. ඒ අනුව වෘත්තියවේදීන් අපේක්ෂා පළ කරන්නේ රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්වද සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා සිදු කොට අවසන් විසඳුමක් කරා එළඹෙනු ඇති බවකි.

කෙසේවෙතත් වෘත්තීය සටන පැවැති වකවානුවේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට වෘත්තියවේදීන්ට අවකාශ සැලසුණි. එම සාකච්ඡා පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා මතු කරන්නේ මෙවන් අදහසකි.

“අයිඑම්.එෆ් එක පැහැදිලිව කිව්ව රටේ සමස්ත බදු ආදායම පිළිබඳ ඒ අය ඉලක්ක ලබා දීලා තියෙනවා කියලා. නමුත් ඒ ඉලක්ක ඇතුළේ ව්‍යුහාත්මකව අදාළ වෙනස්කම් සිදු කිරීමේ අයිතිය අදාළ රටේ රජයට ඒ අය සම්පූර්ණයෙන්ම ලබා දීලා තියෙනවා. ඒ අය කියලා නෑ වෛද්‍යවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, ඉංජිනේරුවන්ට බදු ගහන්න ඕන විදිහ. ඒක රජයේ තීරණයක්. උපයන විට ගෙවීමේ බද්ද කියන කාරණයට මේ තරම් බරක් ආණ්ඩුව යොමු කළේ ඒක හරි ලේසි නිසා. විශේෂයෙන් හොයන්න ඕනෙ නෑ. ෆයිල් අරින්න ඕනෙ නෑ. වැටුපෙන් කැපුවා ආවා."

වෙනත් බදු පැනවීම සහ එකතු කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් උපයන විට ගෙවීමේ බද්දට ආණ්ඩුවේ බර තැබූ බව ඔහු පෙන්වා දෙයි. මෙය ආණ්ඩුව විසින්ම අවධාරණය කරනු ලැබූ කරුණක් බව වෛද්‍ය විජේසිංහ මහතා කියා සිටියි. බදු ආදායම වැඩි කර ගැනීමේ ඉලක්ක සපුරා ගන්න මෙය ඉතා පහසු දෙයක් වූ බව ආණ්ඩුව පැත්තෙන්ම කියැවුණු බවද ඒ මහතා පෙන්වා දෙයි.

“මේ මාසය ආරම්භයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නා. අපි බදු ගෙවන්න බැහැ කියලා කියන්නේ නෑ. අපි ඉල්ලන්නේ සාධාරණ විසඳුමක්. පසුගිය නොවැම්බර්වල ඉඳලා අපි මේ සටන පටන් ගනිද්දි, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණේ නෑසූ කන්ව සිටීම. අන්තිමට මුළු රටම අඩපණ වෙනකොට තමා ආණ්ඩුවට සිද්ධ වුණේ නම්‍යශීලී වෙන්න."

වෘත්තියවේදීන් යහපත් අපේක්ෂාවලින් පසුවෙන නමුත් සිය ඉල්ලීම් පසක හෙලුවහොත් නැවත වෘත්තීය සටන් කරා අවතීර්ණ වන බව ඔවුහු කියා සිටිති. කෙසේවෙතත් රටේ පවතින අර්බුදය පිළිබඳ දැනුම්වත් බැවින් වෘත්තීයවේදීන් මස් රාත්තලම ඉල්ලා නොසිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා අවධාරණය කරයි.

“ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තබල අපි යම් ඉඩක් ලබා දීලා තියෙනවා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම ඒ විශ්වාසය කඩ කරනවා නම් අපිට නැවත යම් යම් ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව කියන විදිහට දැන් රට තිබුණු අවිනිශ්චිතභාවයෙන් පොඩ්ඩක් මිදිලා ස්ථාවරත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව රටේ වෘත්තීයවේදීන්, ජනතාව නැවතත් වර්ජන වගේ ක්‍රියාමාර්ගවලට යොමු කරනවා නම් ඒ ස්ථාවරත්වය නැති වෙනවා. කොහොම වුණත් වැඩවර්ජන කියලා කියන්නේ මෙහි අවසාන කෙළවරයි."

එකවර වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ සූදානමක් වෘත්තීයවේදීන් තුළ නොවූ බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙයි. වෘත්තීයවේදීන් වෘත්තීය අරගලයක් දක්වා රැගෙන ගියේ ආණ්ඩුව බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.  
මේ වනවිට නැවත අපේක්ෂා පෙරදැරිව සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් වෘත්තීයවේදීහු කටයුතු කරති. සිය අපේක්ෂා මෙවර ආණ්ඩුව විසින් කඩ නොකරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. කෙසේවෙතත් මෙම පැහැදිලි කිරීම අනුව පෙනී යන්නේ ජූනි මාසය "බදු සටන" සම්බන්ධයෙන් තීරණාත්මක මාසයක් වනු ඇති බවයි. අයි.එම්.එෆ් සමාලෝචනය නුදුරේදීම ඇරුඹෙනු ඇත. එහිදී මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කොට එකඟතාවකට එළඹීමේ වගකීම ආණ්ඩුවේ බලධාරීන් සතුය. 

I  චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02