2023 ජුනි 17 වන සෙනසුරාදා

ඇයි මෙහෙම කාන්තාවන්ම මරන්නේ?

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 270

පෙම් පළහිලව් අඹු සැමි ආරවුල්, අනියම් සබඳතා අතවර හෝ සොරා ගැනීම්වලට පසුව තරුණියන් හා කාන්තාවන් රැසකගේ ඝාතන පසුගිය දිනවල වාර්තා වී තිබේ. එවැනි ඝාතන සිද්ධීන් බහුතරය අතිශය සංවේදීය. දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් අසන්නට ලැබුණු එම කාන්තා ඝාතනවල වැඩිවීමක් දකින්නට තිබේ.

නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීම්, කපා කොටා ඝාතනය කිරීම් වැනි ම්ලේච්ඡ මරණයන් තරමට මෙකී කාන්තාවන් මරාදැමීම දකින්නට හැකි ය. ඝාතනයට ලක්වූ ඇතැමුන් හිරිමල් වියේ පසුවන තරුණියන් ය. සමහරු යොවුන් වියේ රූමතියන් වූ අතර තවත් පිරිසක් දරුවන් සිටිනා මවුවරුන් ය. ඒ අතර තියුණු ආයුධවලින් පහරදී කාන්තාවන් දෙදෙනකු එකම දිනකදී ඝාතනය කිරීම වාර්තා වූයේ පසුගිය 14 වැනිදා පස්වරුවේ ය. ඒ ඌරුබොක්ක සහ වෙන්නප්පුව පොලිස් වසම ආශ්‍රිතවය.
මාතර ඌරුබොක්ක දොළමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කළ තරුණිය දම්පහළ මහා විද්‍යාලයේ අනධ්‍යයන කාර්යාල සේවිකාවක බව පොලීසිය පවසයි. 29 හැවිරිදි වියේ පසුවූ ඇය සිතාරි මධුමාලි නැමැත්තියකි. මැයගේ ඝාතකයා ඇගේ පෙම්වතා බවට හඳුනාගන ඇති බව ඌරුබොක්ක පොලීසිය වාර්තා කරයි.

ගොවිතැන ජීවිකාව කොටගත් පවුලක බාලදැරිය වූ සිතාරි මධුමාලිට වැඩිමහල් සහෝදරියක හා සහෝදරයෙක් වෙති. ඔවුන් දෙදෙනා විවාහ වී වෙනම ජීවත්වන අතර සිතාරි මව හා පියා සමග වාසය කළාය. ඉගෙනීමට උපන් හපන් ඇය උපාධිය දිනාගත් පසුව රාජ්‍ය සේවයේ රැකියාවකට එක්වූවාය. ඒ සංවර්ධන නිලධාරිනියක වශයෙනි. මීට වසරකට පමණ ඉහතදී උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ එම අවස්ථාව ලබාගත් ඇය දම්පහළ මහා විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කටයුතු කළාය.
සිතාරි මධුමාලි කාලයක පටන් සිය ගමේම අසල්වැසි තරුණයකු හා ප්‍රේම සබඳතාවක් පවත්වාගන ගියාය. ඥාතීන් හා හිතවතුන් පවසන්නේ එම සබඳතාවයට අවුරුදු දහයක් පමණ ගතවන්නට ඇති බවකි. එහෙත් පැවති නොගැලපීම් නිසා දෙදෙනා අතර ආරවුල් පැවති බව කියැවේ. ඒ නිසා සිතාරි පෙම්වතා මගහැරීමට උත්සාහ ගත්තාය. මේ සම්බන්ධයෙන් කෝපයෙන් පසුවී තිබෙන පෙම්වතා සිතාරිට පාඩමක් උගැන්වීමට තීරණය කොට තිබිණ. ඒ සඳහා සැලසුම් කරමින් සිටි පෙම්වතා සිතාරිගේ ආගිය තොරතුරු රාජකාරි විස්තර සියල්ල දැන සිටියේය.

ඌරුබොක්ක දොළමුල්ල ගැමි පරිසරයක ජීවත් වූ සිතාරි රැකියාවට ගියේ බස් රථයෙනි. රාජකාරිය නිමවා යළි නිවෙස වෙත පැමිණෙන වෙලාව පැහැදිලිවම දැන සිටි සිතාරිගේ පෙම්වතා සිය නිවෙසේ මත්පැන් තොලගාමින් සිටියේය. ඒ තවත් හිතවතකු සමඟය. හිතවතාටත් නොකියාම එතැනින් පිට වූ ඔහු සිතාරි වැඩ ඇරී නිවසට එන මග පසෙක සැඟවී සිටියේය. මේ අතරතුර වැඩ ඇරී එන සිතාරි බසයෙන් බැස නිවසට යන මාර්ගයේ පා ගමනින් ගමන් කළාය. ඇගේ නිවෙස පෙනෙන නොපෙනෙන මානයේ වූ හිස් බිම්කඩ තරමක පාළු ස්වභාවයකි. 

එතෙක් වේලා මග රුකගෙන උන් සිතාරිගේ පෙම්වතා උල්පිහියක් අතට ගෙන මාරාවේෂයෙන් සිතාරිගේ ඉදිරියට පැන්නේය. නිදහසේ වචනයක් කතා කිරීමට ඉඩක් නොතබාම කෝපයෙන් පසුවූ පෙම්වතා පිහිය ගෙන සිතාරිගේ ගෙල කපා දැමුවේය. මර ලතෝනි නැගූ සිතාරිගේ හඬ රැව් දෙද්දී ඒ දෙසට ඈත සිට කිහිප දෙනකු දුවගෙන ඇවිත් තිබුණි. ඒ අතර පෙම්වතා ඇගේ පපුව පෙදෙසටත් පිහි පහර කිහිපයක් එල්ල කොට තිබුණි. එසැණින් එතැනට එන පිරිස දැක දුවන්නට වූ පාපතරයා මීටර් සීයක් පමණ ඈතින් වූ රඹුටන් ගසකට නැගී ඇත. රැස් වූ පිරිස ලේ පෙරාගෙන වැටී සිටි සිතාරි ත්‍රිරෝද රථයක නංවාගෙන ඌරුබොක්ක රෝහල වෙත රැගෙන ගියෝය. නමුත් රෝහලට ඇතුළත් කරන්නට මත්තෙන් සිතාරි මධුමාලි ජීවිතක්ෂයට පත්ව සිටි බවට රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.

ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත කඩිනමින් සිද්ධිය වූ ස්ථානයට පොලිසිය පැමිණි අතර ඒ මොහොත වනවිට රඹුටන් ගසට නැග සිටි ඝාතකයා සියදිවි නසාගැනීමට උත්සාහ ගනිමින් සිට ඇත. පොලීසිය මැදිහත් වී හෝරාවකට වැඩි කාලයක් වැයකොට සැකකරු බිමට බස්සවාගන පසුව අත්අඩංගුවට ගෙන තිබිණි. 32 හැවිරිදි වියේ පසුවූ සැකකරු පෙම්වතිය මරාදමා තමාද සියදිවි නසාගත යුතු යැයි යන මතයේ සිට ක්‍රියාකර තිබුණි. ඒ සඳහා සැලසුම් සහගතව ක්‍රියාකර ඇති ඔහු ප්‍රේම සබඳතාව මුල් කොටගෙන ඝාතනය සිදුකර තිබෙන බව අනාවරණය කොටගෙන ඇත.

ඉහත ඝාතන සිදුවීම වාර්තා වූ ඉකුත් 14 වැනිදා පෙරවරුවේ තවත් කාන්තා ඝාතනයක් වාර්තා වූයේ වෙන්නප්පුව වයික්කාල අළුත්තොට ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයේ බේකරි ආහාර අලෙවි ස්ථානයක සේවය කරමින් සිටි කාන්තාවකි. ඇය වටවල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිය සැමියා සමඟ ඇතිකරගත් ආරවුලක් නිසා වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණ බෝඩිං කාමරයක නැවතී සිට රැකියාවක නිරත වී ඇත. එහි සිට රැකියාව සඳහා පිටත්වීමට සූදානමින් සිටියදී ඇයට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය සිදුකර සැකකාර ඝාතකයා පලාගොස් ඇති බව පොලීසිය කියයි. පොලීසිය සැක කරන්නේ ඝාතනයට ලක්වූ තැනැත්තියගේ සැමියා විසින් ඝාතනය සිදුකරන්නට ඇති බවය.

මෙකී ඝාතන දෙක සිදුවන්නට දින දෙකකට පෙරාතුව එනම් ජූනි 12 වැනිදා තවත් කාන්තා ඝාතනයක් වාර්තා වූයේ කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයෙනි. පොලීසිය වාර්තා කළේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ කාන්තාවකගේ මළසිරුර ඇය පදිංචි ඉඳුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවස ඉදිරිපිට වැටී තිබූ බවය. ඝාතනයට ලක්වූ කාන්තාව කොස්ගොඩ බඩල්ගේ චාන්දනී (36) නැමැති එක්දරු මවකි. ඇගේ දියණිය පාසලට පිටත්ව ගිය පසුව උදෑසනම ඝාතනය සිදුකර ඇති බවට හඳුනාගෙන ඇත. මරණයට පත්වූ කාන්තවගේ සැමියා විදෙස් ගතව සිටින බවත් ඇය අනියම් සබඳතාවක පැටලී සිටි බවත් කියැවේ. ඒ අනුව වාර්තා වන්නේ අනුරාධපුර ප්‍රදේශයේ යුද හමුදාවේ සේවය කරන තැනැත්තකු මැය හා අනියම් සබඳතාවක් පවත්වා ඇති බවකි. ඔහු විසින් ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කෙරේ. මෙම කාන්තාවගේ ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිට ඇත.

මෙම ඝාතනයට දින අටකට පෙර නූලකින් ගෙල තදකොට ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුවී තිබුණේ ගම්පොළ පුස්සැල්ලාව සොගමාවත්ත ප්‍රදේශයෙනි. මියගිය කාන්තාව හෙල්බොඩ කටුකිතුල ජනඋදාන ගම්මානයේ පදිංචි නිරංජලා දේවි නැමැත්තියකි. පළමු විවාහයෙන් වෙන් වී මාස කිහිපයකට පෙර ඇය දෙවැනි විවාහය සිදුකරගෙන තිබුණි. ඔවුන් දෙදෙනා කොළඹ කුලී කාමරයක සිට බිරියගේ මහගෙදර යාමට පුස්සැල්ලාව නගරයට පැමිණ ඇත. නමුත් ඔවුන් නිවෙසට ගොස් නැති අතර මළසිරුර හමුව තිබුණේ පසුදිනකය. මෙම කාන්තාව වෙනත් ස්ථානයක ඝාතනය කොට එතැනට ගෙනවිත් දමන්නට ඇති බවට සැකකෙරෙන අතර කාන්තාවගේ සැමියා සිද්ධියෙන් පසුව අතුරුදන්ව සිටී.

කොතෙකුත් වාර්තා වන කාන්තා ඝාතනවල ඝාතකයන් සොයා ගැනුණද එවැනි ඝාතනවල නිමාවක් දකින්නට නැත. සෑම ඝාතනයක් පසුපසම හේතුව පෙම් පළහිලව්, අනියම් සබඳතා හෝ පවුල් ආරවුල් බව පැහැදිලිය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර