2023 ජුනි 17 වන සෙනසුරාදා

ලංකාවේ ළමයි විභාග පාස්වෙන හැටි

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 311

අනාගත පරපුර රටකට වැඩදායී පුරවැසියන් බවට පත් කරන්නේ අධ්‍යාපනය මගිනි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය රටක අනාගත අභිවෘද්ධිය සඳහා කරන විශාලතම ආයෝජනය ලෙස සැලකේ. අපේ රටේ ජාතික මට්ටමින් පැවැත්වෙන ප්‍රධාන විභාග තුනකි. ඒ 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ යන විභාග තුනය. පාසල් දරු දැරියන් මුහුණදෙන ජාතික මට්ටමේ විභාගවලදී වැඩිම ශිෂ්‍ය ප්‍රතිශතයක් සමත් වන්නේ අ.පො.ස සා.පෙළ විභාගය බව අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ නවතම විභාග ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාව පෙන්වා දෙයි.

2016 සිට 2021 දක්වා සකස් කර ඇති අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය අනුව 2016 වසරේ අ.පො.ස සා.පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ගෙන් 69.94%ක් ජාතික මට්ටමින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වී තිබේ. 2021 වසරේ එය 74.52%කි. විභාගයට පෙනී සිටි සියලු පළාත්වල දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් සමත්ව ඇත්තේ දකුණු පළාතෙනි. 2016 වසරේ දකුණු පළාතෙන් 76.66%ක් විභාගය සමත්ව ඇති අතර නොකඩවාම එම වාර්තාව රැක ගැනීමට එම පළාත සමත්ව සිටී. 2021 වසරේ එම පළාතෙන් සමත් වූ සංඛ්‍යාව 78.15%කි. දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ බස්නාහිර පළාතටය. 2016 වසරේ 72.82%ක් වූ එහි ප්‍රතිශතය 2021දී 76.08%කි. තෙවැනි ස්ථානය සබරගමුව පළාතටද. (2021 දී 74.50%) සිව්වැනි ස්ථානය නැඟෙනහිර පළාතටද (74.15%) පස්වැනි ස්ථානය මධ්‍යම පළාතටද (73.67%), සයවැනි ස්ථානය ඌව පළාතටද(73.00%), සත්වැනි ස්ථානය උතුරු පළාතටද (72.46%), අටවැනි වැනි ස්ථානය වයඹ පළාතටද (72.1%), නවවැනි ස්ථානය උතුරු මැද පළාතටද 71.00%) ද හිමිවී තිබේ. 

මෙම වාර්තාව අනුව සසඳන කළ 2016 වසරේ ඉදිරියෙන් සිටි ඇතැම් පළාත් 2021 වන විට කිසියම් පසුබෑමකට ලක්ව තිබේ. 2016 වසරේ සිව්වැනි ස්ථානයේ පසුවූ වයඹ පළාත 2021 වසරේ 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර 2016 වසරේ සත්වැනි ස්ථානයේ පසුවූ උතුරු මැද පළාත 2021දී හිමිකරගෙන ඇත්තේ 9 වැනි ස්ථානයයි. 2016 8 වැනි ස්ථානයේ පසුවූ නැඟෙනහිර පළාත 2021දී සිවුවැනි ස්ථානයටත්, 2016දී 9 වැනි ස්ථානයේ පසු වූ උතුරු පළාත සත්වැනි ස්ථානයටත් පත්ව පෙරට පැමිණ තිබේ.

අපොස උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය අනුව 2016 වසරේ වැඩිම ප්‍රතිශතයක් සමත්ව ඇත්තේ සබරගමුව පළාතෙනි. එහි ප්‍රතිශතය 67.78%කි. 2021 එය 5 වැනි ස්ථානය තෙක් පසුබැස තිබේ. 2021 වසරේ  වැඩිම ප්‍රතිශතයක් සමත්ව ඇත්තේ නැගෙනහිර පළාතෙනි. එහි ප්‍රතිශතය 66.00%කි. 2016 එම පළාත 6 වැනි ස්ථානයේ පසු විය. 2016 පස්වැනි ස්ථානයේ පසුවූ ඌව පළාත 2021 දී 2 වැනි ස්ථානයටද, 2016 දී 2 වැනි ස්ථානයේ පසු වූ උතුරු පළාත තෙවැනි ස්ථානයටද, 2016 සිව්වැනි ස්ථානයේ පසු වූ බස්නාහිර පළාත 8 වැනි ස්ථානයටද, 2016 දී 5 වැනි ස්ථානයේ පසු වූ ඌව පළාත 2 වැනි ස්ථානයටද, 2016දී 8 වැනි ස්ථානයේ පසු වූ වයඹ පළාත 4 වැනි ස්ථානයටද, 2016 තෙවැනි ස්ථානයේ පසුවූ දකුණු පළාත 6 වැනි ස්ථානයටද, පත්ව තිබේ. 2016 වසරේ ජාතික මට්මින් 63.36% උපොස උසස් පෙළ විභාගය සමත් වූ අතර 2021 වරේ එය 63.53%ක් ලෙස සඳහන් වේ. එය 2020 වසරේ 65.98%ක් ලෙස පැවතියේය.

2018 සිට 2022 අතර කාලයේ 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 2018 වසරේ ප්‍රථම ස්ථානය හමිකරගෙන සිටියේ වයඹ පළාතය. 2022 වසරේ එය සිව්වැනි ස්ථානය තෙක් පසුබැස තිබේ. දෙවැනි ස්ථානයේ පසු වූ උතුරු පළාත 2022 දී සයවැනි ස්ථානයටත්, තුන්වැනි ස්ථානයේ පසු වූ දකුණු පළාත තම ස්ථානය රැක ගැනීමටත්, සිව්වැනි ස්ථානයේ පසුවූ සබරගමුව දෙවැනි ස්ථානයටත්, පස්වැනි ස්ථානයේ පසු වූ ඌව පළාත ප්‍රථම ස්ථානයටත්, සයවැනි ස්ථානයේ පසු වූ උතුරුමැද පස්වැනි ස්ථානයටත්, පත්ව තිබේ. බස්නාහිර, නැඟෙනහිර සහ මධ්‍යම පළාත 2018දී පිළිවෙළින් 7, 8, සහ 9 වැනි ස්ථානවල පසු වූ අතර 2022 වසරේද එම ස්ථානවලම පසුවේ. ජාතික මට්මින් 2018දී සමත් වූ සංඛ්‍යාව 10.32%ක් වූ අතර එය 2022දී 14.64%කි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා