2023 ජුනි 24 වන සෙනසුරාදා

අධිවේගයේ කොන්දොස්තර ’’ලස්’’ බස්

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 165

''ඔය මහත්තයා චුට්ටක් පස්සට යන්න.''
''දොර ළඟ හිර කරන්න එපා! බස් එකේ ඉඩ තියෙනවා.''
''ටිකට් ගන්න... ටිකට් ගන්න...''

ඉහත වදන් ඇසූවිට කාහටත් සිහිවන්නේ කොන්දොස්තර චරිතයයි. බසයට මගින් ගොඩ කරගනිමින්, ටිකට් කඩමින් බස් එක පුරා ඒ මේ අත සැරිසරන කොන්දොස්තර චරිත විටෙක කරදරකාරීය. තවත් විටෙක විචිත්‍රය. කෙසේ නමුත් පසුගියදා අපට අසන්නට ලැබුණේ කොන්දොස්තර භූමිකාවේ ආයු කාලය කෙටි වෙමින් ඇති බව හැඟී යන පුවතකි.

කොන්දොස්තරලා නොමැතිව අධිවේගී මාර්ගයේ දිවූ බස් ලාබ ලැබීම එම පුවතයි. පසුගිය ජූනි 19 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ කොන්දොස්තරවරයකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු කර තිබුණි.

කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10ක ආදායමක් ලැබූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් මේ හා සම්බන්ධව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසා තිබුණේ ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල බස් රථ කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වැටලීම් හේතුවෙන් දෛනික ආදායම රුපියල් පන්ලක්ෂ අසූ තුන්දහසකින් වැඩි වී ඇති බවකි.

''රුහුණු බස් සමාගමේ ප්‍රාදේශීයව ධාවනය කෙරෙන බස් රථවලින් ලබන සමස්ත ආදායම රුපියල් මිලියන 12ක් පමණ වෙනවා. මෙම ව්‍යාපෘතිය ලබන ජූලි මස 01 වැනිදා සිට කටුනායක අධිවේගී මාර්ගය හරහාද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මහරගම කටුනායක, මාකුඹුර සිට ගාල්ල, මාතර, හම්බන්තොට, ඇඹිලිපිටිය, මත්තල ඇතුළු ප්‍රදේශවල අධිවේගී මාර්ගය හරහා ධාවනය කෙරෙන බස් රථ කොන්දොස්තරවරයකු නැතිව ධාවනය කිරීමට පියවර ගන්නවා.

අධිවේගී මාර්ගය ආරම්භ කරන ස්ථානය තෙක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කොන්දොස්තරවරයාගේ දායකත්වය ලැබෙන අතර අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ඨ වනවිට ප්‍රවේශ පත්‍ර සහ ලබාගත් මුදල් බසයේ රියැදුරු මහතා වෙත භාර දී කොන්දොස්තර මහතා බසයෙන් ඉවත් වන අතර මින් ප්‍රවේශ පත්‍ර ලබා නොදී වංචාකරන කොන්දොස්තරවරුන් සිදුකරනු ලබන වංචාවලට තිත තැබෙනවා.''

ඒ අනුව මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී අධිවේගී මාර්ග බස් රථ සඳහා මුලින්ම මෙම ක්‍රමවේදය භාවිතා කිරීමට සැලසුම් කර ඇතැයි දැනගැනීමට ලැබෙයි. ලංගම මුහුණ දී සිටින කොන්දොස්තර හිඟයටද මෙය පිළියමකි. කොන්දොස්තරවරුන්හට රුකියා අහිමිවීම මේ හරහා සිදු නොවන බව ලංගම කියා සිටී.

මෙම ගමනාගමන මාර්ගවල බස් රථවල ටිකට් පත් නිකුත් නොකිරීම, මුදල් වංචා කිරීම ආදී යෝජනා කොන්දොස්තරවරුන් වෙත එල්ලවීමද මෙවන් තීරණයට එළඹීමට හේතු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ලංගම පාර්ශ්වයෙන් එය තහවුරු කිරීම සිදු නොකරයි. එහෙත් මගී ප්‍රවාහනයේදී සිදුවන වංචා දූෂණ ලංගමට සේම පෞද්ගලික බස් හිමියන්ටද ගැටලුවක් වී තිබේ.

එම නිසාම නීතිමය ගැටලු ඇතත් මේ වනවිටත් අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස්රථ මෙම උපක්‍රම භාවිතා කරයි. අතරමග නැවතුම් නොමැති නිසාවෙන් මෙම ක්‍රමය ඉතා වාසිදායක බව ඔවුහු පවසති. කෙසේ වෙතත් බස් රථයක ආරක්ෂිත ගමනක් සඳහා රිය සහායකයකුගේ දායකත්වය සුළුකොට තැකීමද සිදුකළ නොහැක්කකි.

කෙසේ වෙතත් පසුගියදා මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරමින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව ධාවන සිදුවිය. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී කොන්දොස්තරවරයකු විසින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් පත් ලබාදීමෙන් පසුව රියදුරු පමණක් බස් රථය ගමනාන්ත කරා රුගෙන ගොස් තිබේ.

මෙම ක්‍රමවේදය මේ වනවිටත් සාර්ථකව අත්හදා බලමින් පවතියි. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ මගී ගමන් මලු පැටවීම බෑම ඇතුළු මගී කටයුතු කළමනාකරණය සම්බන්ධව ගැටලු ඇතැයි රියැදුරන් සඳහන් කර තිබේ. සහායකයා නොමැතිවීම හේතුවෙන් සියලු වැඩකටයුතු තමන්ට සිදු කිරීමට වන බවට ඔවුන් සතුව මැසිවිල්ලක් ඇත. එහෙත් මෙහෙන් නියමු ව්‍යාපෘතියක් වූ නිසාවෙන් ඇතිවුනු ගැටලු කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමේ හැකියාව ලංගම සතුය.

I චමිඳු නිසල් ද සිල්වා