ජීවිතයට එල්ලවන විවිධ ගැටලුවලට තවදුරටත් මුහුණ දීමට අපහසු ඇතැම් පිරිස් සියදිවි නසා ගැනීමට පෙළඹෙති. බොහෝවිට ප්‍රේම සබඳතා බිඳ වැටීම, සුව නොවන රෝගී තත්ත්වය, පවුල් ආරවුල්, ආර්ථික අර්බුද මත ජීවත්වීමට නොහැකි වීම, හුදෙකලාව වැනි කරුණු එලෙස සිය දිවි හානිකර ගැනීමට පොළඹවන කරුණුය. එහෙත් පසුගිය කාලයේ විශ්විද්‍යාල සිසු සිසුවියන්ද සිය දිවි නසාගැනීමට පෙළඹෙන ප්‍රවණතාවක් දැකිය හැකි විය. එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ 2023 ජූනි 16 වැනිදාය.
එදින රාත්‍රියේ පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි ඉංජිනේරු ශිෂ්‍යයන් දෙදෙනකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබිණි. විශ්විද්‍යාලය තුළ සිය දිවි නසා ගැනීම් වැඩි වශයෙන් වාර්තා වූයේ 2022 වසරේ සිටය. එම වසරේ මාර්තු මාසයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ ඉංජිනේරු සිසුවකු නේවාසිකාගාරය තුළ ගෙළ වැලලා ගෙන සිය දිවි නසාගෙන තිබූ අතර, අගෝස්තු මාසයේ එම සරසවියේම ඉංජිනේරු පීඨයේ තෙවැනි වසර සිසුවකු පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට පැන දිවි හානිකරගෙන තිබිණි. සැප්තැම්බර් මාසයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර සිසුවකු අතුරුදන්ව සිටි අතර ඔහුගේ මළ මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී හමුවිය. එයද සිය දිවි නසා ගැනීමක් බවට අනාවරණ විය.
මිනිසකු සියදිවි හානි කර ගැනීමට බලපාන ප්‍රධානත සාධකයක් වනුයේ මානසික පීඩනය නිසා හටගන්නා ඉච්ඡාභංගත්වයයි. ඉච්ඡාභංගත්වය තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වනුයේ දැඩි ආතතියට පත්වීමය. මෙලෙස සිදුවන මානසික අවපීඩනය නිසා හට ගන්නා චිත්තවේග හේතුවෙන් මිනිසුන් සිය දිවි නසා ගැනීමට පෙළඹෙන බව පැවසේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 10% කට පමණ මානසික ව්‍යාකුලතා ඇති බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. සරසවි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දැඩි පීඩනය සහ නවකවදය වැනි සිදුවීම් ඔවුන්ගේ මානසික ගැටලුවලට බලපා තිබෙන බව පෙනෙන්නට ඇත.
වර්තමානයේ විශ්විද්‍යාල සිසුන් දිවි නසා ගැනීමට පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතිවීමට බලපාන සාධක සම්බන්ධයෙන් දේශය විමසා සිටියේ මානසික සෞඛ්‍ය පදනමේ අධ්‍යක්ෂක සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන සහ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා ගෙනි.
''ලංකාවේ දිවිනසා ගැනීම් එක එක කාලයට අඩු වැඩි වශයෙන් සිදුවෙනවා. මෑතක සිට සිය දිවි නසා ගැනීමේ දිසාව මඳක් වෙනස් වී තිබෙනවා. පසුගිය කාලයේ විවිධ හේතූන් නිසා දිවි නසාගැනීම් සිදුවුණා. මෑත කාලයේ ජංගම දුරකතනවලට ඇබ්බැහි වීම නිසා යම් පිරිසක් දිවි නසා ගත්තා. මෑතක සිට විශ්වවිද්‍යාල සිසුන් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා. මෙයට බලපාන සාධක කිහිපයක්ම තිබෙනවා. එක් හේතුවක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යාපනයේ පීඩනය සහ වැඩ ප්‍රමාණය වැඩිවීම. පෙර කාලයේ සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට වඩා වර්තමාන ශිෂ්‍යයාට තම නිවෙස්වල ගැටලු තිබෙනවා. ආර්ථික පීඩනය, අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිතභාවය වැනි ප්‍රශ්න රුසකට වත්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මුහුණ පා සිටිනවා. රටේ පවතින ආර්ථික අවපාතය මත රජයේ පත්වීම් මේ වනවිට නවතා දමලා. එවැනි තත්ත්වයක් යටතේ තමන්ට රැකියාවක් නොමැතිවේය යන බියත් ඔවුන්ට තිබෙනවා. පසුගිය කාලයේ දිවිනසාගත් සිසුන් හය දෙනාගෙන් හතර දෙනෙක්ම ඉංජිනේරු ශිෂ්‍යයෝ. වර්තමානයේ ඉංජිනේරු වෘත්තියටත් රජයෙන් ලැබෙන රැකියා ප්‍රමාණය සීමිතයි. එවැනි ආයතන වැසී යමින් තිබෙනවා.
කලකට ඉහත ශ්‍රී ලංකාවේ දිවි නසාගත් පිරිසෙන් වැඩි පිරිසක් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා දිවිනසාගත් අයයි. මෑත කාලයේ ප්‍රේමයට වඩා පවුල් ප්‍රශ්න සහ ආර්ථික පීඩනය බලපා තිබෙනවා. මෙවැනි තත්ත්වයන් තුළ මානසික රෝග නිර්මාණය වීමේ සම්භාවිතාව වැඩියි. අද බොහෝ විශ්වවිද්‍යාල සිසුන්ට විෂාදය වැනි තත්වයන් තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමට සාධක කිහිපයක් බලපානවා. අපි ඒවා හඳුන්වන්නේ අවදානම්ගත සාධක ලෙසයි. අවදානම්ගත සාධක වර්තමාන සමාජයේ බහුලව දැකිය හැකියි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු අභියෝගාත්මක එකක්. ඔවුනට උපාධිය සඳහා සූදානම් වන අතරම තම පවුලේ ප්‍රශ්න විසඳීමටද සිදුවෙනවා. ඔහු වෙත වගකීම් විශාල ප්‍රමාණයක් පැවරෙනවා. එම වගකීම්වලට මුහුණ දිය හැකි පෞරුෂයක් ඔහුට තිබිය යුතුයි. දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ වගකීම්වලට මුහුණදීමට පෞරුෂයක් නොමැති හා විඳදරා ගැනීමට හැකියාවක් නොමැති අයයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ යම් යම් ගැටලු තිබෙනවා. බොහෝ විෂය ධාරා තුළ ජීවිතය උගන්වන්නේ නැහැ. සිසුන්ට ජීවිතාබෝධය ලබා ගැනීමට හැකි ඉඩකඩ විශ්වවිද්‍යාල පරිසරය තුළ නැහැ. කලකට ඉහත ජීවිතයට මග පෙන්වන සෞන්දර්ය නිර්මාණ විශ්වවිද්‍යාල තුළ තිබුණා. අද ඒවා නැහැ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසු සිසුන් කිසියම් කොටුවීමකට ලක්වුණා. මාර්ගගත අධ්‍යාපනය තුළ ඔවුන් හුදකලා වුණා. කොරෝනාවෙන් පසු විශ්විද්‍යාල යළි ආරම්භ වූවාට පසුව සිසුන්ට සෞන්දර්ය, රසවින්දනය මෙන්ම සිසුන්ගේ නිර්මාණකරණයට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැති වුණා. වර්තමානයේ තිබෙන්නේ දේශනවලට සහභාගී විම, පැවරුම් සහ විභාගයට මුහුණ දීම පමණයි. මෙවැනි වාතාවරණයක් තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යාගේ මානසික පීඩනය වැඩි වී තිබෙනවා. මෙම තත්ත්වය විෂාදය වැනි රෝගයක් ලෙස අපිට හඳුන්වන්න බැහැ. සියලුම සිසුන් තුළ කිසියම් මානසික අවපීඩනයක් ඇති වී තිබෙනවා. මෙම අවපීඩනය ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු දෙක වන්නේ කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුදයයි. ආර්ථික අර්බුද හේතුවෙන් ඇතැම් සිසුන්ගේ මව්පියන්ට රැකියා අහිමි වුණා. එම සිසුන්ට තම නවාතැන්වලට, ආහාරපානාදියට ගෙවන්න මුදල් නැති වුණා. මාර්ගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ඩේටා ටික ගන්න මුදල් නැති වුණා. සිසුන් අසරණ වුණා. එහි අවසාන ප්‍රතිඵලය තමයි මානසික අවපීඩනය. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් පැහැදිළි විමර්ශනයක් කළේ නැහැ.
සිසුන්ගේ මානසික ගැටලු විසඳීම සඳහා නියාමනයක් අවශ්‍යයි. එවැනි නියාමනයක් නැහැ. උපදේශන සේවා හැම තැනම තියෙනවා. විශ්වවිද්‍යාලවල උපදේශන සපයන අය සිටිනවා. එසේනම් ඇයි සිසුන් දිවිනසා ගන්න පෙළඹෙන්නේ. උපදේශන සපයන පිරිස් තම වගකීම හරිහැටි ඉටු කළා නම් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ. වර්තමානයේ උපදේශන සේවා ලබා දෙන ඇතැම් අය එයට සුදුසු අය නොවෙයි. විශ්වවිද්‍යාල සිසුන්ට මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාදිය යුතුයි. ඒ සඳහා අත්දැකීම් සහිත නිසි පුද්ගලයන් පත් කළ යුතුයි. එමෙන්ම විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු විසඳීමට කඩිනම් හා සාර්ථක ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා ඉදිරිපත් විය යුතුයි.'' යනුවෙන් සඳහන් කළේය.
පසුගිය වසර කිහිපය තුළ සිය දිවි නසා ගැනීමට උත්සහ කරන වයස අවුරුදු 15-25අතර තරුණ තරුණියන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පවතින බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නකි. දිවි නසා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව පහළ මට්ටමක පැවතුනද, සිය දිවි නසා ගැනීමට උත්සහ කරන තරුණ තරුණියන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ සෑම හතර දෙනකුගෙන් එක් අයෙක් ජීවිතේ කුමන අවස්ථාවක හෝ මානසික ව්‍යාකූලතාවකට මුහුණ දී තිබේ. ඒ අනුව ලොව පුරා මිලියන හාරසිය පනහක් දෙනා මානසික රෝගවලට මුහුණ දෙන බව පැවසේ. බොහෝ දෙනා අතර සුලබ ව දකින්නට ලැබෙන මානසික රෝගී තත්වය විෂාදය (Depression) වන අතර. ඕනෑම පස් දෙනකුගෙන් එක් අයෙක් සිය ජීවිත කාලය තුළ දී මෙයට ගොදුරුවිය හැකි බවට වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවින්ද්‍ර පල්ලියගුරුගේ මෙලෙස සඳහන් කළේය.
සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල තුළ පමණක් නොවෙයි සමාජයේ විවිධ ස්ථර තුළින් වාර්තා වෙනවා. විශ්වවිද්‍යාල කියන්නේ සමස්ත සමාජයේ එක් පැතිකඩක්. සමාජයේ විවිධ ආකල්ප හා අවශ්‍යතා තිබෙන හා විවිධ ආසාවන් සහිත පිරිස් විශ්වවිද්‍යාලයට එනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හා සමාජ ක්‍රමයත් එක්ක පුද්ගලයන් තනි තනිව ජීවත් වෙන්න හුරුවෙලා සිටිනවා. ඇතැමුන් පවුල තුළ ජීවත් වුවත් ඔවුන් හුදෙකලා වී ජීවත් වෙනවා. වර්තමානයේ පවතින්නේ ඉලක්ක කේන්ද්‍රගත (Target Oriented) සමාජයක් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා විභාග වැදගත්. පෙර අධ්‍යාපන ක්‍රමය තුළ පැවැති සාමුහික බව දැන් නැහැ. දෙමවුපියන් පවා දරුවන් බාහිර ක්‍රියාවලට වඩා අධ්‍යාපනය කෙරෙහිම යොමු කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. ළමුන් සෞන්දර්යාත්මක විෂයකට යොමු වෙනවාට වඩා විෂය ධාරාව කෙරෙහි පමණක් යොමු කරන්න මවුපියන් කටයුතු කරනවා. මෙවැනි වාතාවරණයක් තුළ ළමුන් හුදෙකලා චරිත බවට පත් වෙලා ඉලක්කය කරා පමණක් යන්නට උත්සාහ කරන චරිත බවට පත් වෙනවා. හර්මන් ඩාලි වැනි විද්වතුන් පෙන්වා දෙන ආකාරයට දැන් තිබෙන්නේ ඉලක්ක මේනියාවක්. අනෙකා පිළිබඳ සහකම්පනයක් අද සමාජයේ නැහැ. අනෙක් පුද්ගලයාගේ කායික මානසික අවශ්‍යතා ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. සමාජයේ විවිධ කායික, මානසික මට්ටම්වල අය සිටිනවා. මිනිස් ශරීරය ගොඩ නැඟී තියෙන්නේ ජීව රසායන සංයුතියක් මතයි. එම සංයුතිය ඕනෑම අවස්ථාවක වෙනස් විය හැකියි. එලෙස වෙනස් වූ සැනින් එය එම පුද්ගලයාගේ මානසික තත්ත්වයට බලපානවා. එවැනි අවස්ථාවක ශරීරයේ සහ මනස තුළ දිවි නසා ගැනීමට පොළඹවන නිහීන වී ඇති විවිධ කාරක උත්තේජනය විය හැකියි. එවිට දිවි නසා. ගැනීමේ පෙළඹුමක් ඇතිවිය හැකියි. කලාතුරකින් ජානමය හේතුද ඒ තුළ තිබිය හැකියි. විශ්වවිද්‍යාලවල පළමු වසරේ සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් ද. රටේ නිර්මාණය වී ඇති ආර්ථික පීඩනයද මෙයට බලපෑ හැකියි. ඔවුන්ගේ අපේක්ෂා, දෙමවුපියන්ගේ අපේක්ෂා හා සමාජයේ අපේක්ෂා වැනි අපේක්ෂා රුසක් තිබෙනවා. අපේක්ෂා මට්ටම සහ සාධන මට්ටම අතර ඇති පරතරයද සිසුන් අපේක්ෂා භංගත්වයට පත් කරනවා. එවිට ඔවුන් සියදිවි නසා ගන්නට පෙළඹෙන්න පුළුවන්.''
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා