2023 ජුනි 24 වන සෙනසුරාදා

මේ විදියට ගියොත් පාන් පිටි කිලෝව ආපසු රු. 450 ට!

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල පහළ දමාගැනීමට රජය, පාරිභෝගික සංගම් සහ මාධ්‍ය මගින් උපරිම උත්සාහ ගනිමින් සිටියදී පසුගිය සතියේ ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40/- කින් ඉහළ නැගීමේ අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය. මෙයට එක හේතුවක් වනුයේ තිරිඟු පිටි ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කිරීමය. මේ නිසා වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි තොග සැඟවීමට කූඨ වෙළෙඳුන් පියවර ගත් අතර, ඉල්ලුම වැඩිවීම නිසා වෙළෙඳපොළේ තිරිඟු පිටි හිඟයක්ද ඇතිවිය.

ආනයනික තිරිඟු පිටි කිලෝවක් රුපියල් 160/- කට අලෙවි වෙමින් තිබුණද, මෙම ගැසට් නිවේදනයෙන් පසු කිලෝව රුපියල් 200/- දක්වා ඉහළ නැගුණි. මෙම මිල ඉහළ යාමට තවත් හේතුවක් වනුයේ පසුගිය අප්‍රේල් මස 28 දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ආනයනික තිරිඟු පිටි කිලෝවකට තවත් රුපියල් 13/- ක බද්දක් පැනවීමය.

මෙලෙස මිල ඉහළ යාම මර්දනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා විසින් පසුගිය 26දා මධ්‍යම රාත්‍රියේ සිට ගැසට් නිවේදනයක් නිකුත් කරමින් තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කිසිවකුටවත් අවසරයක් නොමැති අතර යම් ලෙසකින් මිල නංවන්නේ නම් අනිවාර්යයෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබාගත යුතු බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි. මෙම නියෝගය පනවමින් ඔහු පවසා තිබුණේ ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරනු ඇති බවට තමාට දැනගන්නට ලැබුණු නිසා එයට මෙම වාරණය පැනවූ බවයි.

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් වෙයි. ඒවා නම් ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම්ය. මසකට අපට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 65,000 ක් පමණ අවශ්‍ය වන අතර එම ප්‍රමාණයෙන් 70% ක් පමණ සපයනු ලබන්නේ මෙම සමාගම් දෙක විසිනි. ප්‍රීමා සමාගම වැඩි කොටසක් ආනයනය කරයි. මෙහිදී තිරිඟු පිටි සැපයුම යම් ප්‍රමාණයක ඒකාධිපතිත්වයක් දරන අතර බේකරි නිෂ්පාදකයන් මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයන්ද තමන්ට අවශ්‍ය පිටි ලබාගන්නේ මෙම සමාගම් දෙකිනි. දැනට දශකයකට පමණ පෙරදී තිරිඟු පිටි මිල පාලනයට යටත් කර තිබුණු අතර මිල ඉහළ නැංවීමට ඔවුන්ට අවසර නොලැබුණි. එසේ වුවද මෙම සමාගම් හිතුවක්කාරව කටයුතු කරමින් රජයේ අවසරයකින් තොරව මිල ඉහළ නැංවූ අතර රජය සමාගම්වලට එරෙහිව නඩු පැවරෑ බවද අපට මතකය.

ඒ දිනවල තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ආනයනකරුවන්ට අවසර දුන් නමුත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම නිසා සමාගම් දෙකට ආනයනය කිරීමේ මුළු බුක්තියම හිමිවිය. ඒ නිසාම මෙම සමාගම් විටින් විට රජයේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැංවීමේ සෙල්ලමක නිරත විය. එසේ කළේ එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වශයෙන් පාලනයකට නතු කර තිබූ අවස්ථාවකය. එහෙත් සමාගම් එම නීතිය තඹයකට හෝ ගණන් නොගෙන රිසි සේ කටයුතු කළ බව පෙනුණි. මෙවරද රජය තම අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නොදමන ලෙසට නියෝගයක් පැනවුවද තම පැරුණි හැසිරීම ආදර්ශයට ගනිමින් සමාගම් රිසි සේ කටයුතු කරන්නේ නම් පාරිභෝගිකයන්ට අබ සරණ මිස අන් සරණක් නොලැබෙනු ඇත.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පනතේ 18(2) වගන්තිය සමඟ කියැවෙන අංක 60(4)'අ' වගන්තියේ මෙසේ දැක්වේ.

''යම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රජාවගේ හෝ ඉන් කොටසකගේ හෝ ජීවිතවලට අත්‍යවශ්‍ය වන බවට ඇමැතිවරයාගේ මතය වන අවස්ථාවක මිල අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව එම භාණ්ඩවල හෝ සේවාවල තොග හා සිල්ලර මිල වැඩි කළ නොහැකි අතර, එසේ කිරීම අධිකරණයකින් දඬුවම් ලැබිය හැකි වරදකි.''

නීත්‍යානුකූල තත්ත්වය මෙය වුවද මෙතාක් කල් තිරිඟු පිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියේ නියෝගවලට ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ නිසා මෙවරද මිල ඉහළ නැංවීමට තහංචි පැනවීමට වගකිවයුත්තන්ට හැකිවේදැයි යන්න සැක සහිතය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසන්නේ තිරිඟු පිටි ආනයනය කිරීමට තම සංගමයේ වෙළෙඳුන්ට ලැබී තිබූ නිදහස මේ වනවිට අහිමි වී ඇති බවය. එයට හේතුව ඒ සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමයි. ඒ නිසා දැනට ගෙන්වන්නට හැකියාව ලැබී ඇත්තේ නැව්ගත කළ තොග පමණක් බව ඔහු කියයි. ඒවා ආනයනය කළාට පසු තවත් ගෙන්වීමට අවස්ථාව නැත. තිරිඟු පිටි මිල කිලෝව රුපියල් 450/- දක්වා ඉහළ නැග තිබුණු අවස්ථාවක මිල බැස්සේ තමන්ටද ආනයනය කිරීමට අවස්ථාව ලැබුණු නිසා බවත් එහෙත් දැන් එම අවස්ථාව අහිමි වී ඇති නිසා යළිත් මිල ඉහළ නැගීමේ ප්‍රවණතාවක් ඇතිවීමට ඉඩ ඇති බවත් ඔහු කියයි. තම වෙළෙඳුන් ආනයනය කළ නිසා තිරිඟු පිටි ව්‍යාපාරයේ නිරතව සිටින ව්‍යාපාරිකයන්ට හිතූ පරිදි මිල ඉහළ නැංවීමට ඉඩ ලැබුණේ නැත. වෙළෙඳපොළේ තරගකාරීත්වය ඇතිවීම නිසා මිල පහළ යාම සිදුවිය.

තිරිඟු පිටි ආනයනය කරන සමාගම් විටින් විට තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා තොග වෙළෙඳුන් තිරිඟු පිටි ආනයනයට පියවර ගෙන ඇත. තිරිඟු පිටි ආනයනය කරන සමාගම් තිරිඟු පිටි නොගෙන්වා තිරිඟු ඇට ආනයනය කිරීමට මේ වනවිට පෙළඹී සිටී. ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තිරිඟු ඇට ගෙන්වීමට පටන්ගෙන ඇත්තේ තිරිඟු ඇටවලට අය කරන ආනයන බද්ද රුපියල් 3/- ක් තරම් පහළ නිසාය. ඔවුන් එම බද්ද ගෙවා තිරිඟු ඇට ආනයනය කර කොළඹ සහ ත්‍රිකුණාමල පරිශ්‍රවලදී ඒවා අඹරා පිටි බවට පත්කර වෙළෙඳපොළේ පවතින මිලට අලෙවි කර විශාල ලාභයක් ඉපයීමට පෙළඹී ඇත. තිරිඟු පිටි ආනයන බද්ද රුපියල් 40/- ක් නිසා මෙම ව්‍යාපාරිකයන්ට පිටි කිලෝව රුපියල් 211/- කට අලෙවි කර රුපියල් 53/- ක අධික ලාභයක් ලැබීමට පහසු වී තිබේ. 2002 වසරේ සිට බදු නිදහසට මුවා වී මෙම අධික ලාභය ලැබීමට ඔවුන්ට වාසනාව ලැබී ඇත.

මෙරටට තිරිඟු ඇට ආනයනය කරන තුර්කියේ මෙයට පෙර මෙට්‍රික් ටොන් 1 ක් ඇමෙරිකානු ඩොලර් 450 ක් වූ අතර දැන් එම මිල 355 දක්වා පහළ බැස ඇති නිසා ජාවාරම්කරුවන්ගේ ලාභය තවත් අධික වී තිබේ.

මෙම තත්ත්වය අවහිර කර ජනතාවට සහනයක් සැලසීමට මැදිහත් විය යුතු නමුත් පිටි මිල ඉහළ නැංවීම වැළැක්වීමට ගැසට්ටුවක් ගැසීම හැර රජය වෙනත් පියවරක් ගෙන නැත. කෙසේ වුවද තිරිඟු ඇට ආනයනය කර පිටි බවට පත්කර ආනයනික තිරිඟු පිටි අලෙවි කර මිලට විකිණීමේ කූඨ ව්‍යාපාරය නැවැත්විය හැකි නම් පාරිභෝගිකයන්ට විශාල සහනයක් ලබා දීමට හැකිවන බව සමහරු පෙන්වා දෙති.

එසේම තිරිඟු පිටි මිල තවදුරටත් අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල තවදුරටත් අඩු කළ හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසයි. ඔහු කියන්නේ සංගමයේ සාමාජිකයන් දිගටම තිරිඟු පිටි මිලදී ගන්නේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම්වලින් නිසා ඔවුන් අලෙවි කරන මිලට තිරිඟු පිටි මිලට ගැනීමට සිදුව ඇති බවය. ඒ නිසා තමන්ට අඩු මිලට තිරිඟු පිටි ලබාගන්නට අවස්ථාව ලැබුණහොත් ජනතාවට විශාල සහනයක් ලබා දිය හැකි යැයි ඔහු කියයි.

මේ අතර වර්ෂ 159 ක් තරම් පැරණි පාන් ආඥා පනත අවලංගු කිරීමට රජයට කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ. 1864 අංක 13 දරන පාන් ආඥා පනතේ ඇතැම් වගන්ති දැනට ක්‍රියාත්මක 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සමඟ ගැටීම් ඇතිවන අවස්ථා ඇති බව ඇමැතිවරයා පසුගියදා පැවසීය. මේ නිසා ආඥා පනත අවලංගු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කරමින් සිටින බව අනාවරණය වෙයි.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10/- කින් අඩු කළද දැනට වෙළෙඳපොළේ පවතින තිරිඟු පිටි මිල අනුව එයට වඩා වැඩි මුදලකින් මිල අඩු කළ හැකි බවට ඇතැම් පාන් වෙළෙන්ඳෝම පවසති. ඇතැම් වෙළෙඳුන් පසුගිය දිනවල සංගමයේ මිල නොසලකා පාන් ගෙඩියක් රුපියල් 100/- කට හා බනිස් ගෙඩියක් රුපියල් 30/- කට අලෙවි කළ බව ප්‍රචාරය විය. එම වෙළෙඳුන් පවසන්නේ මෙම මුදලට අලෙවි කිරීමෙන් වුවද ඔවුන්ට සාධාරණ ලාභයක් උපයාගත හැකි බවය. ඒ නිසා අපට ප්‍රත්‍යක්ෂ වන්නේ දැනට වෙළෙඳපොළේ පවතින අඩු කළ පාන් සහ බේකරි නිෂ්පාදනවල මිලද සාධාරණ නොවන බවය. ඒ නිසා මෙමගින් අධික ලාභ ලැබීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීම අසාධාරණ බව පාරිභෝගිකයන්ගේ අදහස වෙයි. මෙම තත්ත්වය පාලනය කිරීමට රජය තවදුරටත් මැදිහත් විය යුතු බව පාරිභෝගිකයන්ගේ අදහස වෙයි.

මේ පිළිබඳ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ සංගමය ප්‍රකාශයට පත්කර ඇත්තේ උපරිම මිල නිසා එයට වඩා අඩුවෙන් අලෙවි කිරීමට ඕනෑම බේකරි හිමියකුට නිදහස ඇති බවය. හැකියාවක් ඇති නම් අඩුවෙන් අලෙවි කර ජනතාවට සහන සැලසිය හැකි බව ඔහු කියයි. තමා රුපියල් 10/- ක මිල අඩු කළේ ග්‍රෑම් 450 ක බර පාන් ගෙඩියක බව පවසන ඔහු කියා සිටියේ අඩු බර පාන් සහ බේකරි නිෂ්පාදන නිපදවා අඩු මිලට අලෙවි කළ හැකි බවය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල පවසන්නේ සෑම බේකරි නිෂ්පාදන අලෙවිකරුවකුම තම වෙළෙඳසල්වල ඒවායේ මිල ප්‍රදර්ශනය කළ යුතු බවය. එසේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කරයි. කෙසේ වුවද තිරිඟු පිටි මිල සහ බේකරි නිෂ්පාදනවල මිල අතර දැඩි සම්බන්ධයක් පවතින නිසා බේකරි නිෂ්පාදනයට ගන්නා සෙසු අමුද්‍රව්‍යවල මිල අද පවතින මට්ටමේ තිබුණද තිරිඟු පිටිවලින් ඇතැම් කූඨ වෙළෙඳුන් සිදු කරන අසාධාරණ ගසාකෑම නතර කළහොත් බේකරි නිෂ්පාදනවල මිලද පහසුවෙන් තවදුරටත් පහළ දැමිය හැකි බව බොහෝ දෙනාගේ මතය වෙයි.

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02