2023 ජුනි 24 වන සෙනසුරාදා

පොළොන්නරු කැලෑවලට සෙනසුරු කඩා පැනලා!

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

අප රටේ පොහොසත් වනාන්තර ගහණයකින් යුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටද අපල කාලයක් උදාවී ඇති බව පසුගිය කාලයේ වාර්තා වූ සිද්ධිවලින් පෙනේ. පොළොන්නරුවේ ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිතයට යාබද වනාන්තර ඉඩම් අක්කර 1500ක් බඩඉරිඟු වගා කිරීමට එළිකිරීම නිසා අවට ගම්මානවල විශාල අලි මිනිස් ගැටුමක් හටගෙන ඇති බව ගම්වැසියෝ පවසති. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූරියවැවට යාබදව සිංහපුර - සේරුවිල මාර්ගයේ පහළ දකුණු කොටසේ වනාන්තර ඉඩම් අක්කර 1500ක් පමණ මෙසේ එළිකර තිබේ. එම දැවැන්ත පාරිසරික විනාශයට එරෙහි පරිසර යුක්ති කේන්ද්‍රයේ පෙත්සම පසුගියදා අභියාචනාධිකරණයේ 301 ශාලාවේදී කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලදී.

මෙම ප්‍රදේශය ඓතිහාසික පොළොන්නරුවට සහ සෝමාවතියට ආසන්නව පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන රැසකින් යුක්ත බිමකි. වාර්ෂිකව මිලිමීටර් 1500–2000ක වර්ෂාපතනයක් ලැබෙන අතර දෙසැම්බර් සිට මාර්තු දක්වා ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන වනාන්තර කලාපයකි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වන්නේ ඩෝසර් ඇතුළු බර වාහන යොදා ගනිමින් විශාල වනාන්තර ඉඩම් කොටසක් එළිපෙහෙළි කර පෞද්ගලික ආයෝජකයන් හට බදුදීමට ක්‍රියාකර ඇති බවයි. එළිපෙහෙළි කෙරෙන මෙම වනාන්තර භූමිය මුලින් පාලනය වූයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන අතර එම කාලය තුළ ගම්වැසියන්ට සහ පිටස්තරයන්ට වනාන්තරයට ඇතුළුවීම සපුරා තහනම්ව පැවතුණි. එවැනි දැඩි ආරක්ෂාව යටතේ පැවති වනබිමක පසුව ඩෝසර් රජකරන්නට පටන් ගැනීම ගැන ගම්වැසියෝ පුදුමයෙන් කතා කරති.

ත්‍රිකෝණමඩු වනාන්තර ප්‍රදේශයේ විෂය පථය සහ කළමනාකරණය මහවැලි අධිකාරියට පවරාගැනීමත් සමඟ එම අධිකාරිය විසින් මෙකී වනාන්තර ප්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා භාවිත කරන ලෙස පෙත්සමේ 04 වන වගඋත්තරකරු වන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) පවරා තිබේ. එම්.ඒ.ආර්. මරික්කාර් විනිසුරුතුමන් ඉදිරියේදී පෙත්සම සැළකිල්ලට ගත් අතර, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත, ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා, නීතිඥ සවන්ති පොන්නම්පෙරුම මෙනෙවිය සහ නීතිඥ සමාධි හංසනී පේමසිරි මෙනෙවිය පෙනී සිටියහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් වන්නේ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, පරිසර මාත්‍යවරයා, පරිසර අමාත්‍යංශයේ ලේකම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්තුමිය, පොලිස්පති හා නීතිපති යන අයයි.

ශ‍්‍රී ලංකාවේ දැනට ඛණ්ඩනය නොවූ වනජීවී කලාප එකිනෙකට යාව පවතින්නේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිත වන බිම්තීරුවේ පමණි. මහවැලි අධිකාරිය විසින් මෙසේ වාණිජ ඉඩම් ලෙස අත්පත් කර ගැනීමට සැරසෙන්නේ 1986 ඔක්තෝබර් 24දා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කළ ත‍්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතයේ ඉඩම් බව පරිසරවේදීහු පවසති. එහි සම්පූර්ණ විශාලත්වය හෙක්ටයාර් 25019කි. නමුත් මේ ස්වභාවික රක්ෂිතවල වටිනාකමක් දේශපාලන තීරණවලට අහුවන්නේ නැති බව නොරහසකි.

පසුගිය කාලයේ ආයෝජකයන් විසින් වීර, පලු, බුරුත, ඇතුළු වටිනා ශාක බැකෝ වැනි විශාල යන්ත්‍ර සූත්‍ර යොදා වනසා තිබෙන බව ප්‍රදේශයේ මහා සංඝරත්නය, සූරියවැව ගොවි නියෝජිතයෝ සහ ගම්වාසිහු චෝදනා කරති. ගම්වැසියන් පෙන්වා දෙන්නේ රක්ෂිතය විනාශ කිරීමත් සමඟ එහි සිටින මුවන්, ගෝනුන් හා වල්අලින් ඇතුළු අනෙකුත් සතුන් ගම්වැදී ජන ජීවිතයට හා දේපලවලට හානිකරන බවයි. එමෙන්ම මෙසේ වනය ඉවත් කිරීම වනසතුන්ගේ පැවැත්මටත් බාධාවක් වී තිබේ.
මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශ්‍රිතව පිහිටි විල්ලූ හා ජල පෝෂක වනාන්තර මෙලෙස බඩඉරිඟුවලට ලබාදී තිබෙන බවට  පරිසරවේදීහු චෝදනා කරති. 300කට අධික අලි ගහනයකගේ නිජබිම වන මෙම ප්‍රදේශය විනාශ කිරීම නිසා මේ වනවිටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මානවල පවතින අලි -මිනිස් ගැටුමක් හටගෙන අවසන්ය.

මහවැලි බී කලාපයට අයත් ගම්මාන 38න් ගම්මාන 27ක පමණ මේ වනවිට අලි - මිනිස් ගැටුම පවතී. ගැමියන් පාරට බහින්නේත් හේන්වලට යන්නෙත් අලින්ගේ පහරදීමේ අවදානම දරාගෙනය. සෑම ගමකට පාහේ අලි පහරදීම් නිසා සිදුවන මරණ ඉඳහිට අසන්නට ලැබේ. මෙම වනාන්තර හා විල්ලූ ඉදිරියටත් විනාශ වුවහොත් මේ තත්ත්වය තවදුරටත් උග්‍රවීම ස්ථිරය. මෙම රක්ෂිත වනාන්තර ජාලයේ අලි - ඇතුන් ඇතුළු බොහෝ ජීවීන්ගේ පැවැත්මට හා විල්ලූ ඇතුළු මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ ජල පෝෂකවල පැවැත්මට දැඩි තර්ජන එල්ල කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ හා ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර පිහිටන කන්දකාඩුව හා ත්‍රිකෝණමඩු ප්‍රදේශයේ වනාන්තර හා විල්ලූ මෙම කටයුත්තට යොදා ගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

වැලිකන්ද, ත්‍රිකෝණමඩුව, සූරියවැව රක්‍ෂිතය විනාශ කිරීමත් සමඟ තම ගම්මානවලට මෙන්ම ගෙවතුවලට වන අලින්ගේ තර්ජන වැඩිවී ඇති බව සූරියවැව, පැරකුම්යාය, සිංහපුර ඇතුළු අවට ගම්මානවල ගොවිගේ ජනතාව සඳහන් කරති. 2022 වසරේ නොවැම්බර් වනවිට අලි මිනිස් - ගැටුම් හේතුවෙන් පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 28ක් වන අතර වන අලින් 70කට අධික ප්‍රමාණයක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු මූලාශ්‍රවලින් හෙළිව තිබේ. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් වසරකට අලි මිනිස් ගැටුම් හේතුවෙන් විපතට පත්වන ජනතාවට හා ජීවිත අහිමිවීම්වලට රුපියල් ලක්ෂ 80ක් පමණ වන්දි වශයෙන් ගෙවා දැමීමට සිදුවන බව වාර්තා වේ.

ඉරිඟු වගා කිරීම සඳහා සූරියවැව රක්‍ෂිතයේ අක්කර 1500කට වැඩි භුමි ප්‍රමාණයක් ආයෝජකයන් පහළොස් දෙනකුට වැඩි පිරිසකට ලබාදීමත් සමඟ ඔවුන් රක්‍ෂිතයේ තිබූ වීර, පළු, බුරුත ඇතුළු වටිනා ශාක වර්ග විනාශ කරන බවත් ඒ නිසා රක්‍ෂිතයේ සිටින වන අලින් ඇතුළු වන සතුන් තම ගම්බිම්වලට පැන ජීවිත හා දේපලවලට විශාල වශයෙන් හානි කරමින් සිටින බවත් ගොවියෝ පවසති.

මේ නිසා දෛනිකව විශාල වශයෙන් අලි රංචු පිටින් පැමිණ තම ගම්මානවල භවභෝග විනාශ කරමින් නිවාස 15කට වැඩි සංඛ්‍යාවකට හානිකර ඇති බවත් සූරියවැව ගොවි සංවිධානයේ සභාපති එස්.ඒ. සමරසිංහ පසුගියකාලයේ පවසා තිබුණි. 
ඩෝසර් දමා විනාශ කරන මෙම රක්ෂිතය අලි කොරිඩෝවක් හැටියට නම් කර ඇති බවද, සෝමාවතී සහ මාදුරුඔය අතර අලින් එහා මෙහා ගමන්කරනු ලබන්නේ මෙම රක්ෂිතය හරහා බවද ගම්වාසීහු පවසති. නමුත් ඉඩම් ආයෝජකයන්ට ලබාදීමේ දී අලිඇතුන්ගේ සංචරණය ගැන නොසලකා ඇති බවයි පෙනෙන්නේ. මෙහි මුල් සැලසුමේ සඳහන් වන්නේ අක්කර 3000ක් ආයෝජකයන්ට බදුදීමටය. එය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඒ මුදල ගැනම සලකන යුගයක වනාන්තරවල පැවැත්ම ගැන සිතන්නට කාටවත් වේලාවක් නැති නිසාය. 

I කුසුම්සිරි විජයවර්ධන
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02