සුමීර ගුණසේකර... ඒ ඔහුගේ නමයි. අද වනවිට වයස අවුරුදු විසි හතරකි. සුමීරගේ ළමා කාලය ගතවූයේ ළමා නිවාසවලය. වයස අවුරුදු පහළොවක් වුණ කෙල්ලක හදිසි ගැබ් ගැනීමත් හේතුවෙන් ගැබිණියක් වද්දී ඇය මාස නවයක් පුරාවට කුසයේ හොවා රුකගෙන මෙලොවට බිහිකළ දරුවා ''සුමීර ගුණසේකර'' ලෙසින් නම් තිබිණි. සුමීර උපතින් ඉතා කුඩා බිළිඳෙකි. එමෙන්ම සුමීර වම් අතේ පහළ කොටස උපතින්ම අහිමිව මෙලොවට බිහිවුණ බිළිඳෙකි. ඒ නිසාම සුමීරගේ පියා අනපේක්ෂිත මොහොතක තම පෙම්වතියගේ කුසේ වැඩුණු, තම ලෙයින් උපන් දරුවා ප්‍රතික්ෂේප කළේය.
මේ අනපේක්ෂිත වෙන්ව යාමත් සමඟ අවුරුදු පහළොවක් වුණ තරුණ මව තම දරුවා සමඟ තනිවූවාය. මාස හයක් ඇය තම නොදරුවා සමඟ අප්‍රමාණ දුකක් අපහාසයක් විඳින්නට ඇත. ඒ නිසාම ඇය එක්තරා තීරණයක් ගත්තාය. ඒ තම කුසේ උපන් බිළිඳා කෑගල්ලේ ළමා නිවාසයකට බාර දීමටය. එතැන් සිට සුමීරගේ නිවස වූයේ ළමා නිවාසයයි. මවත් පියාත් වූයේ ළමා නිවාසයේ සිටි කන්‍යා සොයුරියනුයි.
''චූටි කාලේ ඉඳන්ම මම ළමා නිවාසයේ හිටිය නිසාම මට අම්මා තාත්තා දෙන්නාම නැහැ කියලා මම දැන ගත්තා. ළමා නිවාසයේ ඉන්න සමහර දරුවන්ව අම්මා තාත්තා ඇවිත් බලලා ගියා. හැබැයි එහෙම මාව ඇවිත් බලලා යන්න දෙන්නෙක් හිටියේ නැහැ. පුංචි කාලේ මට ඒක හරිම දුකක් වුණා. මට මගේම කියලා කවුරුත් නැතිවෙද්දී අනිත් ළමයින්ගේ අම්මා තාත්තා දිහා බලලා මම අනන්තවත් අඬලා තියෙනවා. හැබැයි ළමා නිවාසවල ජීවත්වුණ එකම දරුවා මම නෙමෙයි. ආබාධිත වෙලා ඉපදුණ එකම දරුවාත් මම නෙමෙයි. ළමා නිවාසවල ගතකරපු කාලය යම් පැත්තකින් මගේ ජීවිතේ අඳුරුම යුගයක් කියල කියන්නත් පුළුවන්. හැබැයි තව පැත්තකින් ජීවිතේ දිහා අලුතින් බලන්න කියා දුන්නු අපූරු කාලයක් කියන්නත් පුළුවන්. කුඩා කාලයේදී නොයෙකුත් පරිසරවල ගැටිච්චි, නොයෙකුත් ප්‍රශ්නවලින් හෙම්බත් වෙච්චි, නොයෙකුත් සමාජ වටපිටාවලින් පීඩනයට පත්වෙච්චි දරුවෝ ගොඩාක් එක්ක මට ජීවත් වෙන්න ලැබීම සම්බන්ධයෙන් තරුණයෙක් විදිහට අද මට තිබෙන්නේ ධනාත්මක සිතිවිල්ලක්.'' සුමීර ඔහුගේ ළමා අවදිය දේශයට එක්කරමින් පැවසීය.
සුමීර උපතින්ම ආබාධිත දරුවෙකි. ඒ නිසාම ඔහුගේ වයසේ දරුවන් විවිධ නාම පටබඳිමින් ඔහුට විහිලු තහලු කළහ. සුමීරට සමහරු ''අතකොටා'' කීහ. මුල් කාලයේදී සුමීරට ඒ වචනයෙන් අධික කෝපයක් හිතට ආවේය. ඔහු තම මිතුරන් සමඟ රණ්ඩු විය. ටික කාලයකින් ''අත කොට මට අතකොටා නොකියා මොනව කියන්නද?'' යැයි ධනාත්මක හිතමින් ඒ හිත හදාගත්තේය. ඇතැමුන් මුල් කාලයේදී ''අම්මා තාත්තා නැති එකා'' කියමින්ද විහිලු කළහ. ඒ වගේ අයට එහෙම නොකියා වෙන මොනව කියන්නද කියා හිතමින් සුමීර තම හිත හදා ගත්තේය.
කුඩා කාලයේදී සුමිරට අසීමාන්තිකව කේන්ති ගියේය. ඔහුගේ වචනයෙන් කියතොත් ඔහු ඇට්ටර, දඩබ්බර කියන දේ අසන්නේ නැති චරිතයකි. නමුත් ළමා නිවාසයේ ජීවිතයකට නොගොස් අම්මා තාත්තා සෙවණේ වැඩුණා නම් මේ තරම් ඉවසීමක් ඇති තරුණයෙක් අද නොවන්නට තිබුණි. ඒ තරමටම ළමා නිවසය සුමීරට ඉවසීම බොහෝ ප්‍රගුණ කළ ස්ථානයකි. ළමා නිවාස ජීවිතය සුමීර සදාචාරාත්මක ගුණගරුක කීකරු දරුවෙක් කළේය.
ජීවිතේ මොන දේ තිබුණත් තමන්ගේ මව පියා ළඟ නොමැතිකම සුමීරට වරින්වර දැඩිව දැනුණේය. පාසලේ මව්පිය රැස්වීම්වලට දරුවන්ගේ මව්පියන් පැමිණියද සුමීර වෙනුවෙන් ඔහුගේ මව්පියන් පාසලට පැමිණියේ නැත. ඔහුට කලකිරීමත්, වේදනාවත්, තනිකමත් දැනුණි. ඇස්වල කඳුළු පුරවාගෙන ඒ ආදරණීය මව්පියන් දෙස ඔහු අනන්තවත් බලා හිඳින්නට ඇත. නමුත් ඒ හැම තැනකදීම සොබා දහමට අවනත වෙමින් සුමීර තම ජීවිතේ සැබෑ තත්ත්වය තේරුම් ගත්තේය. නමුත් ඔවුන් නොමැතිව තනිකමත්, පාළුවත් සමඟ සුමීර පැමිණි මේ දුෂ්කර ජීවිතය ගෙන්නට එතරම් පහසු වූයේ නැත.
සුමීර පාසල් තුනක අධ්‍යාපනය ලැබුවේය. පළමුව කෑගල්ල ශාන්ත මරියා මහා විදුහලේත්, රඹුක්කන මහ විදුහලෙත් සහ කුරුණෑගල ලන්ඩාස් ද මැල් විදුහලෙත් පාසල් අධ්‍යාපනය හැදෑරුවේය. කන්‍යාරාමයක ජීවත් විය හැකිවන්නේ ගැහැනු දරුවන්ට පමණි. නමුත් සුමීර වැනි දරුවෙකුට ගැහැනු දරුවන් දෙසීය ගණනක් සිටිනා කන්‍යාරාමයක ජීවත්වීමට සුමීරට විශේෂ වරප්‍රසාදයක් හිමිවුණි. එහිදී ඔවුන්ට කන්‍යා සොහොයුරියන්ගේ රුකවරණය මව් සෙනෙහස උපරිමයෙන්ම ලැබුණි. එය තමන්ව හැරගිය ''අම්මා'' කියන නමට, චරිතයට වෛර නොකරන්නට මුලින්ම හේතුව වුණි. කන්‍යාරාමයේදී ඔහුට ඒ සහෝදරියන්ගෙන් සහ කන්‍යා සහෝදරියන්ගෙන් ලැබෙන ආදරය නිසාම දිනෙන් දින ''වැදූ මවට වඩා හැදූ මව උතුම්'' කියා සුමීරට තේරුණි. ඒ නිසාම ''අම්මා'' ගැන ධනාත්මකව බලන්නට සුමීර පුරුදු විය. ඔහු කිසිම දාක කිසිම මොහොතක තමන් හැරගිය, තමන්ව ප්‍රතික්ෂේප කළ මවට පියාට වෛර කළේ නැත.
සුමීරට ජීවිතේ පසුකාලීනව හරි වටිනා සටහනක් නෙත ගැටුණි. සුමීරගේ මව සුමීරව හැරයාමට හේතුව සම්බන්ධයෙන් ඔහුගේ මව ලිපියක් ලියා තිබුණි. සුමීරගේ ජීවිතයට වලංගු සිදුවීමක්, සදාකාලිකව රහසක් නොවන්නට ඇය ලියමනක් ලියා තිබුණි. ළමා නිවාසයේ ඕනෑම දරුවෙකුට අදාළ ලියවිලි දැමූ පෞද්ගලික ලිපි ගොනුවක් ඇත. සුමීරගේ ජීවිතේ කුඩා අවදියේ සිට ඔහු ලබාගත් සහතික, සියල්ලම ඔහුගේ ලිපිගොනුවේ තිබුණි. ඔහු දහවැනි වසරේ ඉගෙනුම ලබද්දී එක්තරා කන්‍යා සොයුරියක් සුමීරට ඔහුගේ ලිපි ගොනුව ලබාදී තිබුණි. ඒ මොහොතේ සුමීරගේ මවගේ ලියමන ඔහුගේ නෙත ගැටිණි. එයින් ඔහුගේ ජීවිතේ බොහෝ සිදුවීම් දැනගන්නට සුමීරට හැකියාව ලැබුණි.
''මට මගේ අම්මා තාත්තා හොයාගෙන යන්න අනන්ත අප්‍රමාණ හිතිලා තියෙනවා. මගේ අම්මා මැරුණා කියල ආරංචි වෙච්චි දා වනතුරු මම අම්මව හෙව්වා. ඇය ගැන තොරතුරු දැනගෙන ''අම්මේ මම ඔයාගේ පුතා'' කියල කතා කරන තත්ත්වයට මම බොළඳ වුණේ නැහැ. මනුස්සයෙක් යම් ඉතිහාසයක් වළදාන්නේ ආයේ කාටවත් ගොඩගන්න අවශ්‍ය නැති නිසයි. තව කෙනෙක් ඒ මැරුණ මළකුණ ගොඩගන්නවා නම් ඒක කුණු ගඳ ගහනවා. අම්මා මාව දාලා ගිහින් අම්මා තව කසාදයක් තිබෙන්න පුළුවන්. තාත්තා අලුත් ජීවිතයක් පටන් ගන්නට ගියා වෙන්න පුළුවන්. මම හොයායන ඒ වළලපු අතීතය හාරද්දී ඒ ජීවිත කීයකට මම ප්‍රශ්නයක්ද කියලයි හැම මොහොතකම හිතුවේ. අම්මා ගැන සාක්ෂි සාධක ගොඩක්ම මට ලැබුණා. මට ඈත ඉඳන් අම්මා දිහා එකපාරක් දකින්න ඕන වුණා. හැබැයි මොනයම් හේතුවකින්වත් ඒ ජීවිතවලට ප්‍රශ්න එකතු කරන්න මට ඕනවුණේ නැහැ. මගේ අම්මා නැවතත් විවාහ වෙලා. ඇයට තව දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ තාත්තා ආයෙත් විවාහ වෙලා. ඔහුටත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ නිසා පවුල් දෙකකට එක දරුවෙක්ගෙන් ලොකු ගින්දරත් දෙන්න මට ඕන වුණේ නැහැ.''
සුමීර කියන්නේ එලෙසයි. ඒ නිසාම සුමීර සාක්ෂි තිබුණද තම මව දකින්නට ගියේ නැත. නමුත් සුමීර එක්තරා රෑපවාහිනී වැඩසටහනකට පැමිණ කළ වැඩසටහනක් දුටු ඔහුගේ මව තම පුතනුවන් හඳුනාගෙන තිබුණි. ඒ හඳුනාගැනීමෙන් සති කිහිපයකට පසු ඇය මිය ගියාය. මේ ආරංචිය සුමීර දැනගෙන ඇත්තේ ඇගේ මළගමින් තවත් සති කිහිපයකට පසු සුමීරගේ පුංචි අම්මා දුන් ඇමතුමකිනි.
පාසල් අධ්‍යාපනයෙන් පසුව මාධ්‍යවේදී වෘත්තිය වෙනුවෙන් සුමීර උසස් අධ්‍යාපනය ලැබුවේය. ඔහු මේ වෙද්දී ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනයේ ඩිප්ලෝමාවක් හදාරයි. සුමීරට හීනයක් තිබුණි. අදටත් ඒ හීනය සුමීරට ඇත. කුඩා කාලයේ සිටම සුමීරගේ කථිකත්වය පිළිබඳව ඉවක් කන්‍යා සොහොයුරියන්ට තිබුණි. ඔහු සිටි ළමා නිවාසයට යාබදව ක්‍රීඩාංගනයක් තිබුණි. ඔහුට නිතරම දේශපාලනඥයන්ගේ කතා, ගායක ගායිකාවන්ගේ ගීත ඇසුණි. විශාල පිරිසකට කතා කළ හැකි හඬක් වීමේ හීනයක් ඔහුට තිබුණි. ඒ සඳහා අවශ්‍ය පොතපත කන්‍යා සොයුරියන් විසින් සුමීරට ගෙනත් දී තිබුණි. ලංකාවේ බොහෝ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රය ආබාධිතයන්ට අවස්ථා නොදෙන බව සුමීර පවසයි. ඔහු ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ආයතන බොහෝමයකට සේවයට එකතුවන්නට උත්සාහ දැරීය. නමුත් ආබාධිත අත නිසාම ප්රත්ක්ෂේපවීම්වලට ලක්වුණි. එක්තරා දැවැන්ත මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු ''සුමීර ඔයා දක්ෂයි. ඔයා හැකියාවෙන් පිරිපුන්. නමුත් ඔයාගේ අත නිසා මාධ්‍යවේදියකු වන්නට සුදුසුකම් නැහැ'' යනුවෙන් පවසා තිබුණි. සුමීරට ආබාධිත අතට පළඳින්න තාවකාලික ප්ලාස්ටික් අතක්ද ඇත. නමුත් ඔහු එය පළඳින්නට එතරම් කැමැති නැත. සුමීර බොරුකාරයෙක් වන්නට කැමැති නැත. තමන්ට උපතින් ලැබුණු අත්, තම ජීවිතය ගැන ඔහු සතුටු ය. මේ උත්පත්තියට වටිනාකමක් දෙන්නට සුමීර කැමැතිය.
අද සුමීරගේ මුවෙන් වැඩියෙන්ම පවසන වචනය වන්නේ ''අම්මා'' ය. අද ඔහුට බොහෝ අම්මාවරු ආදරය කරති. කටපුරා ඔහු ඔවුන්ට ''අම්මා'' කියා කියන්නේය. ඒ ආදරයත් සමග සුමීරට ආදරය කරන සුවිශේෂී ආදරයක්ද ඔහුට හිමිය. අද සුමිර ආදරණීය පෙම්වතෙකි. ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි.
දැන් සුමීර වයස අවුරුදු විසි හතරක තරුණයෙකි. මේ කාලය පුරාවටම පස් වතාවක් ඔහු සියදිවි හානි කරගන්නට උත්සාහ ගෙන තිබුණි. නමුත් අදටත් සුමීර ජීවත් වෙයි. මේ වෙද්දී සුමීර ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් බොහෝදෙනා දැනුවත් කරනා තරුණයෙකි. ඒ හිත අද හයියය. ''ජීවිතය කියන්නේ ප්රශ්නවල එකතුවක්'' සුමීර කියන්නේ එලෙසය.
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරුව - සුමුදු හේවාපතිරණ