මෙරට ටියුෂන් කලාවත්, ටියුෂන් නියාමනය ගැන රජයෙන් රජයට ඇහෙන කතාවත් ජනප්‍රිය මාතෘකාවකි. එක කාලයකට ඉරිදා ටියුෂන් නවතා දමන බව කියති. තවත් වතාවක ටියුෂන්වල ප්‍රමිතිය ගැන කතා ප්‍රශ්න කරති. මේ සියල්ල ඒ ඒ රජයන් විසින් ගොඩනගන ජනප්‍රිය මාතෘකා මිස වෙනත් දෙයක් මේ ආත්මයට සිදුවුණේ නැත. ඒත් එන්න එන්න ටියුෂන් ව්‍යාපාරය දලුලමින් මහා වෘක්ෂයක් මෙන් වැඩෙමින් පවතී. දැන් අපේ රටේ අධ්‍යාපනයේදී දරුවන්ගේ සාර්ථකත්වය ටියුෂන් ව්‍යාපාරයට නතු වී ඇත. ඒක ප්‍රසිද්ධ රහසකි. විභාගය පාස් වෙන්න නියත වශයෙන්ම ටියුෂන් යායුතු වන තත්ත්වයට මේ රටේ ටියුෂන් ව්‍යාපාරය දියුණු වී ඇත.
කෙසේ වෙතත් මෙලෙස ටියුෂන් ශීඝ්‍රයෙන් දියුණු වුවත් අදටත් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල බොහෝ පිරිස් ප්‍රශ්න නගමින් සිටිති. මේ නිසාම ඒ සෑම අවස්ථාවකම මේ ව්‍යාපාරය සඳහා නියාමනයක් අවශ්‍ය බව සමාජයේ විවිධ තරාතිරම්වල අයගේ අදහස වී තිබේ. මෙවර එම යෝජනාව කරළියට ගෙන එන්නේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් විසිනි. ඔහු විසින් සඳහන් කරන්නේ මේ රටේ ටියුෂන් අධ්‍යාපනයට නියාමනයක් අවශ්‍ය බව කියාය.
ඔහු පවසන ආකාරයට අපේ රටේ සමස්ත ටියුෂන් ජාලයේ වටිනාකම හෙවත් ආයෝජනය බිලියන 65කි. ඒ සඳහා ගුරුවරු 4000ක් පමණ සිටින අතර ඉන් ගුරුවරු 200ක් පමණ ඔහුගේ දැනුම අවබෝධය අනුව මිලියන 10ක ආදායම් ලබන බව සඳහන් කරයි. ඔහු සඳහන් කරන ගැටලුව වන්නේ එය නොවේ. ඔහු සඳහන් කරන්නේ සුදුසුකම් නොලත් ගුරුවරු ඇතැම් විෂයයන් උගන්වන බවය.
එය සැබෑය. මේ රටේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා ගුරුවරු ටියුෂන් පවත්වති. එහෙත් ඇතැම් ගුරුවරුන් සිය අධ්‍යාපනය ලබාදෙන්නේ කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැතිවය. ඇතැම් අයට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් නැත. අවම වශයෙන් ඩිප්ලෝමා එකක් හෝ නැත. ඇතැම් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ පන්ති පවත්වන අය උසස් පෙළ පමණක් සමත් වූවෝ වෙති. එවන් පිරිස් විශාල ප්‍රචාරණයක් හරහා තමන්ගේ නම් ප්‍රචාරය කරමින් දහස් ගණනින් ළමුන් කැඳවා පවත්වාගෙන යන ටියුෂන් සැබවින්ම ප්‍රමිතියක් නැත. උසස් පෙළ කලා විෂයයන් හැදෑරු අය සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගැන්වීමම ඉහත කී ප්‍රමිතියේ අවුලයි. ඒ නිසා වහාම මෙම ව්‍යාපාරයේ නිරත වන ගුරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලීම අවශ්‍යමය.
එසේම රාජ්‍ය අමාත්‍යවරයා තව එක් ගැටලුවක් ලෙස ඉදිරිපත් කරන්නේ අධික ටියුෂන් ගාස්තු අය කිරීම් ගැනය. විවිධ ගුරුවන්ගේ ජනප්‍රියතාවය සහ ළමයි ප්‍රමාණය අනුව එම අයකිරීම් විවිධ ගණන් වලට යට වී ඇත. ඇතැම් පිරිස් 2500ක් ගන්නා විට තවත් පිරිස් 3000, 4000, 5000 වශයෙන් මුදල් අයකර ගැනීම සිදුකරති. එපමණක් නොව එම ඉගැන්වීමේ ක්‍රමය අනුව කණ්ඩායම් පන්ති සඳහා වෙනත් ගණනක්ද, ඔන්ලයින් අධ්‍යාපනය සඳහා වෙනත් ගණනක්ද වශයෙන් අයකරගනු ලබයි. කෙසේ වෙතත් මෙම අයකිරීම් ගැනද සැබවින්ම අවධානය යොමුකළ යුතුය. එහෙත් එය ගුරුවරුන්ට අසාධාරණයක් නොවන ලෙසටය. එහෙත් පවතින මිල ගණන් මත ඇතැම් පවුල් ඉතාම දරුණු ලෙස ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇති ආකාරය දැකගත හැක. පාසල් යන වයසේ දරුවන් දෙන්නා තුන්දෙනා ඇති පවුල් විශාල වශයෙන් මෙම ටියුෂන් අයකිරීම් මත අන්ත අසරණ වී සිටිති. මේ සියල්ල සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවද සුරේන් රාඝවන් මහතා සඳහන් කර තිබුණි.
එහෙත් අපට රාජ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දිය යුතු තව කාරණයක්ද ඇත. එනම් මෙම පන්තිවල පමණක් නොව එම පන්ති පවත්වන ප්‍රදේශ අවට සම්බන්ධයෙන් ද මීට වඩා සැලකිල්ලක් යොමුකළ යුතු වීමය. ඇතැම් පන්ති පැවැත්වෙන ප්‍රදේශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරදීසයන්ය. ඇතැම් පන්තිවල යටිතල පහසුකම් බිංදුවට වැටී ඇත. දරුවන් ආහාර ගන්නා ස්ථාන ඉතාමත් අපිරිසිදුය. මේ සියල්ල උපකාරක පන්ති සංස්කෘතියේ කොටස්ය. ඒ නිසා මේ හැමදේම නියාමනයට යටත්විය යුතුව ඇත. ගන්නා මුදලට සාධාරණ අධ්‍යාපනයක්, පහසුකම්, ලබාදෙනවාද? ඒ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයා සුදුසුකම් ලත් අයෙක්ද? මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුය. එසේ නොමැතිව තවත් එක් මාතෘකාවක් පමණක් බවට මෙය පත් කළහොත් මෙය ඉතිහාසයේ මෙන් කිසිදු දෙයක් සිදුවනු නැත. ඒ නිසා සුරේන් රාඝවන් මහතා එසේ නොකර මෙය නිසි ලෙස සිදුකරනු ඇතැයි අප බලා සිටිමු.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උපකාරක ගුරු පාර්ශ්වයෙන් අප විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට එකඟතාවයට පැමිණෙන බවය. ඇතැම් වෙනස්කම් සඳහා පූර්ණ සහාය ලබාදෙන බවද ඔවුහු පැවසූහ. ඒ සියල්ල සාකච්ඡාකොට එකඟතාවයන්ට පැමිණීමෙන් පසුව බවද ඔවුහු සඳහන් කරති.
♦ ගයාන් ගාල්ලගේ