''දේවානන්ද විද්‍යාලයේ 9 ශ්‍රේණියේ මගේ පුතා ඉගෙන ගන්නේ. බැඩ්මින්ටන් බාර සර් පුතාට කනට ගහලා. පුතා තරගයකට යන්න බෑ කියපු නිසා තමයි ගහලා තිබුණේ. සිද්ධිය වෙලා තියෙන්නේ 16 සිකුරාදා. 17 උදේ පුහුණුවීම්වලට යන්න ලෑස්තිවෙලා පුතා කන රිදෙනවා කීවා. පස්සේ මම දහවතාවකට වඩා ප්‍රින්සිපල්ට කතා කරන්න හැදුවා. එතුමාගෙන් ප්‍රතිචාරයක් නැති නිසා මම පොලිසියට පැමිණිලි කරලා පුතා රෝහල් ගත කළා. ඒ ප්‍රශ්නය අහන්න මම ඉස්කෝලෙට ගියා. විදුහල්පතිතුමා දුන්න උත්තරයට මට කේන්ති ගියා...''
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඔහුගේ නිල කාමරය තුළදී පහරදුන් බව කියන සිද්ධියේ සැකකාර විජේමුණි චතුර මිහිරාජ් ද සොයිසා මහතා මාධ්‍යයට එසේ පවසා තිබුණේ පසුගිය 19 වැනිදාය.
ක්‍රීඩා විෂය බාර ගුරුවරයකු දරුවකුට පහරදීම නිසා දරුවා රෝහල් ගත කිරීමත් එය විමසීම සඳහා විදුහල්පතිවරයා හමුවට ගිය දරුවාගේ පියා හා විදුහල්පතිවරයා අතර කතාබහ දුරදිග යාම නිසා විදුහල්පතිවරයාට පහරදීම හා මුල් සිදුවීමෙන් දින 4කට පසුව නාඳුනන පුද්ගලයකු විසින් ක්‍රීඩා ගුරුවරයාට පහරදීමත් එක පෙළට වාර්තා වූවකි. අවසානයේ පහර කෑ තිදෙනාම එකම රෝහලේ එකම වාට්ටුවේ ප්‍රතිකාර ලැබීම හා සිදුවීම පොලිස් පොතේ සටහන් කිරීම හරහා කාරණය ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියකට මගපාදා තිබේ.
අම්බලන්ගොඩ ශ්‍රී දේවනන්ද විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු මලල ක්‍රීඩා, ක්‍රිකට් හා බැඩ්මින්ටන් ක්‍රීඩාවට දක්ෂතා දක්වන්නෙකි. පැවති බැඩ්මින්ටන් තරගයකට නොයා සිටීම සඳහා දරුවා තීරණය කොට ඇත්තේ තමන්ගේ ආර්ථික අපහසුතා මත බව කියැවේ.
ඒ බව ක්‍රීඩා ගුරුවරයාට පවසා සිටියදී ඔහු දරුවාට පහර දී ඇත්තේ කේන්තියෙනි. පසුදින ක්‍රිකට් පුහුණුව සඳහාද දරුවා සහභාගී නොවුණේ පහරකෑමේ අපහසුතාව නිසාය. මේ බව විමසීමට විදුහල්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය නොහැකි වී ඇත. පසුව සිදුවීම අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කොට දරුවා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. පසුව 19 වැනි සඳුදා දරුවාගේ පියා විදුහල්පතිවරයා හමුවී කරුණු විමසීමට පාසලට ගොස් තිබුණි. එහිදී විදුහල්පතිවරයා දුන් පිළිතුරු හමුවේ කෝපයට පත්ව දරුවාගේ පියා පහරදීමක් සිදුකර ඇති බව කියැවේ.
පහරදීමට පසුව දේවානන්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතා ''තමා පාසලේ නිල කාමරයේ රාජකාරි කරමින් සිටියදි පැමිණි අයකු බැණ තර්ජනය කරමින් පහරදුන් බව කියා අම්බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව සැකකාර විජේමුණි මිහිරාජ් ද සොයාසා (44) නැමැත්තා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩාව බාර ආචාර්ය ඩර්වින් ප්‍රියංකර මහතා සැකකරුගේ දරුවාට පහරදී ඇති බවකි. ඒ පිළිබඳ සාධාරණය ඉටු නොවූ නිසා සැකකරු විදුහල්පතිවරයාට පහර දී ඇති බවද පැවසේ.
මේ අතර දරුවාට පහරදීමෙන් දින 4කට පසුව 20 වැනිදා අලුයම 5.45ට පමණ නාඳුනන අයකු විසින් බැඩ්මින්ටන් ක්‍රීඩා ආචාර්යවරයාට පහරදීමක් සිදුකර ඇත. ඒ බව පොලීසියට පැමිණිලි කළත් සැකකරුවකු හඳුනාගෙන නැත. පහරකෑමට ලක්වූ ක්‍රීඩා ගුරුවරයාද බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඊට පෙර පහර කෑ දරුවා හා විදුහල්පතිවරයාද එම රෝහලේම ප්‍රතිකාර ලබයි.
විදුහල්පතිවරයාට පහරදීමට විරෝධය පළකර විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව තිබුණේ ඉකුත් 20 වැනිදාය. එබැවින් එදින පාසල සාමාන්‍ය පරිදි පැවැත්වී නැත. පාසලේ 152ක් වන ගුරුවරුන් අතුරින් එදින සේවයට පැමිණ ඇත්තේ 5 දෙනකු පමණි. මෙම පාසලේ සිසු සිසුවියන් 3500ක් පමණ ඉගෙනුම ලබති. එහෙත් මෙදින පාසලට පැමිණ තිබුණේ දරුවන් 200ක් පමණය. මේ ගැටලුව සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් පැමිණ විමර්ශනයක් සිදුකරන බවට වාර්තා විය.
මෙකී ගැටලු සහගත තත්ත්වය පිළිබඳ විමසීම සඳහා ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද ඔහු සේවයට නොපැමිණි බවත් දුරකථනය ක්‍රියා විරහිත කොට ඇති බවත් එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ප්‍රකාශ කළේය. සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ක්‍රියාත්මකය.
I සමන්ත විල්තෙර