පසුගියදා ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ටයිටන් සබ්මැරීනයෙන් මුහුදු පත්ලට ගිය ධනවතුන් පස් දෙනකුට අවාසනාවන්ත ලෙස තම ජීවිතවලට සමුදෙන්නට සිදුවූයේ එම සබ්මැරීනය මුහුදු පත්ලේ අධික පීඩනය හේතුවෙන් පුපුරා යෑමෙනි. ඔවුන්ගේ ආසාව වී තිබුණේ වසර සියයකට අධික කාලයක් මුහුදු පත්ලේ තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාව දැක බලා ගැනීමය. ඔවුන්ගේ මරණයත් සමඟ ධනවතුන්ගේ විවිධ විනෝදාංශ සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබේ.
2023 වසරේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වාර්තා වන්නේ ප්‍රංශයේ බර්නාඩ් ආර්නොල්ට් සහ ඔහුගේ පවුලය. ඔවුන්ගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 226.3කි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ එලොන් මස්ක්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 224.2කි. ඇමසන් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙෆ් බෙසොස් තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 150කි. සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඔරකල් සමාගමේ නිර්මාතෘ ලැරී එලිසන්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 145.9කි. මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් පස්වැනි ස්ථානයේ පසු වේ. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 116.9කි. බර්ක්ෂයර් හැතවේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාවන වොරන් බෆට්ගේ වත්කම ඩොලර් බිලියන 111.7කි. ඔහු ලොව ධනවතුන් අතර සයවැන්නාය. සත්වැන්නා ලොස් ඇන්ජලීස් ක්ලිපර්ස් සමාගමේ හිමිකරුවා වන ස්ටීව් බෝල්මර්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 101කි. ඇල්ෆබට් සමාගමේ සම නිර්මාතෘ ගැරී පේජ්ගේ වත්කම ඩොලර් බිලියන 100කි. ඔහු ලෝක ධනවතුන් අතර 8 වැනි ස්ථානයේ පසුවෙයි. නව වැන්නා ඇමෙරිකා මූවිල් සමාගමේ සභාපති කාර්ලොස් ස්ලිම් හෙලු ඇතුළු පවුලය. ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 99.8කි. දසවැන්නා ෆේස් බුක් සහ මෙටා ප්ලැට්ෆෝම්ස් සම නිර්මාතෘ මාක් සකබර්ග්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 98.8කි.
ලොව සිටින බොහෝ ධනවතුන්ට විවිධ විනෝදාංශ තිබේ. ඇතැමුන් පැරණි මෝටර් රථ එකතු කිරීම, දුර්ලභ මුද්දර එකතු කිරීම, කුඩා ගුවන් යානා එකතු කිරීම, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම, විවිධ විලාසිතා, වැනි විනෝදාංශ වලට වැඩි කැමැත්තක් දක්වන අතර ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ විනෝදාංශය පුණ්‍ය කටයුතු සහ පරිත්‍යාගශීලිත්වය යැයි Wealth-X නමැති වෙබ් අඩවිය සඳහන් කරයි. බිල් ගේට්ස් සහ වොරන් බෆට් වැනි ධනවතුන් ඔවුන්ගේ ධනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් පරිත්‍යාගශීලී අරමුණු සඳහා කැප කර ඇතැයි එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. ලෝක ප්‍රකෝටිපතියන්ගෙන් 52%ක් එවැනි පරිත්‍යාගශීලීහු වෙති.
Wealth-X වෙබ් අඩවිය අනුව, ඩොලර් බිලියන 5ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති ප්‍රකෝටිපතියන්ගෙන් 21.8%ක් බෝට්ටු සවාරියට ප්‍රිය කරති. චීන කෝටිපතියන්ගෙන් 25.4%ක් උනන්දුව දක්වන්නේ අධ්‍යාපනයටය. ඇමෙරිකානු ධනවතුන් වැඩි දෙනෙක් නිශ්චල දේපල එකතු කිරීමට මනාපයක් දක්වති.
ඇතැම් ප්‍රකෝටිපතියන්ගේ විනෝදාංශය දේශපාලනය සඳහා මුදල් වැය කිරීමය. ලොව සිටින විශාලතම පරිත්‍යාගශීලියා ලෙස ෆෝර්බ්ස් සඟරාව විසින් නම් කර ඇති ජෝර්ජ් සෝරෝස් සහ හෙජ් අරමුදලේ කළමනාකරුවන් වන ටොම් ස්ටෙයර් සහ ඩොනල්ඩ් සුස්මන් ඩිමොක්‍රටික් පක්ෂයට විශාල ලෙස අරමුදල් සපයන්නන්ය. එය ඔවුන්ගේ ප්‍රධානතම විනෝදාංශය වී ඇතැයි සීඑන්එන් සඳහන් කරයි.
Wealth-X ට අනුව, ලොවපුරා සිටින ප්‍රකෝටිපතියන්ගෙන් 26.4%ක් ගුවන් සංචාරවලට වැඩි ප්‍රියතාවක් දක්වයි. එක්සත් ජනපදයේ බිලියනපතියන්ගෙන් 45.2% ක් ගුවන් නියමුවෝ වෙති. එමෙන්ම ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රකෝටිපතියන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන අතර, ඩොලර් බිලියන 5ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති ප්‍රකෝටිපතියන්ගෙන් 28.2%ක් සහ ඩොලර් බිලියන 5කට වඩා අඩු ප්‍රකෝටිපතියන්ගෙන් 26.9%ක් එම ක්‍රීඩාවට ලොල් වූවන්ය. පාපන්දු ක්‍රීඩාවද ප්‍රකෝටිපතියන් අතරද ජනප්‍රියය, නමුත් ගොල්ෆ් ක්‍රීඩාව මෙන් එය ජනප්‍රිය නොවේ.
ඇපල් සම නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් ගේ විනෝදාංශය සෙග්වේ පෝලෝ ක්‍රීඩාවය. ඔහු එම ක්‍රීඩාවේ ලෝක ශූරතාව සඳහාද ක්‍රීඩා කර තිබේ. යන එන සෑම තැනකටම එම ක්‍රීඩා උපකරණ රුගෙන යෑමටත් ඉඩ ලද සෑම අවස්ථාවකම ක්‍රීඩා කිරීමත් ඔහුගේ විනෝදාංශය වී තිබේ. සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලීගේ ප්‍රියතම විනෝදාංශය විවිධ වර්ගයේ කිනිසි එකතු කිරීමය. ලොව විවිධ රටවල ඇති විවිධ වර්ගයේ කිනිසි තමන් මිලට ගන්නා බවත් එම විනෝදාංශය තම පුත්‍රයාටද හඳුන්වා දෙන බවත් ඇය වරක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණාය.
ගූගල් සමාගමේ සම නිර්මාතෘ සර්ගෙයි බ්‍රින්ගේ විනෝදාංශ වන්නේ දෑතින් ඇවිදීම, හිම මත ලිස්සා යෑම, පාවහන් නොමැතිව දිවීම සහ ඉහළ අහසේ පියාසර කිරීමය.
බර්ක්ෂයර් හැතවේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ප්‍රකෝටිපති වොරන් බෆට් ඔහුගේ මනස නිරවුල්ව තබා ගැනීම සඳහා නිතිපතා යුකුලේලේ නමැති කුඩා සංගීත භාණ්ඩය වැයීමට ප්‍රිය කරන්නෙකි. බිස්නස් ඉන්සයිඩර් සඟරාව සඳහන් කරන පරිදි ෆෝබ්ස් සඟරාවේ 400 වැනි සමුළුවේදී ගායක ජෝන් බොන් ජෝවි සමඟ ඔහු ගායනයෙන් හා වාදනයෙන් එක්වී තිබේ. එමෙන්ම ඔහු මාර්ගගත බ්‍රිජ් ක්‍රීඩාවටද ප්‍රිය කරන්නෙකි. බොහෝ විට ඔහු එම ක්‍රීඩාවේ නිරත වන්නේ තවත් මිතුරන් තිදෙනකු සමඟිනි. ඉන් එක් අයෙක් වන්නේ බිලියනපති බිල් ගේට්ස්ය.
මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්සේ විනෝදාංශ වන්නේ සතියක් තුළ පොතක් කියවා අවසන් කිරීම සහ බ්‍රිජ් හා ටෙනිස් ක්‍රීඩාවේ නිරත වීමය.
ෆේස්බුක් සහ මෙටා ප්ලැට්ෆෝම්ස් සම නිර්මාතෘ මාක් සකබර්ග් කලා කෘති රැස් කිරීමටත්, නැටුමටත්, දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාවටත් ප්‍රිය කරන්නෙකි.. වල් ඌරන් දඩයම ඔහුගේ තවත් විනෝදාංශයකි.
සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස්ගේ විනෝදාංශය පැරණි යතුරු ලියන එකතු කිරීමය. 1978 සිට එම විනෝදාංශයේ නිරත ඔහු සතුව සිය ගණනක එකතුවක් ඇතැයි පැවසේ. 2014 ඔහු Hanx Writer නමින් යෙදුමක් නිකුත් කරන ලද අතර එමගින් පැරණි යතුරු ලියනවල තිබූ අකුරු iPad හෝ iPhone වල භාවිතයට යොදා ගත හැකිය.
සුප්‍රකට වර්ජින් සමාගමේ නිර්මාතෘ කෝටිපති රිචඩ් බ්‍රුන්සන්ගේ ප්‍රියතම ක්‍රීඩාව කයිට්සර්ෆින් ය. එම ක්‍රීඩාවේ නිරතවන කාලය තුළ තමන්ට බ්ලැක්බෙරි සහ අයිෆෝන් දුරතනවලින් ඈත්ව සිටින්නට හැකි බවත් බවත්, එමඟින් ඔහුට ප්‍රබෝධමත් බවක් සහ සතුටින් රුකියාවට යාමට මඟ සලසන බවත් ඔහු පවසා තිබේ.
ඉන්දියානු කෝටිපතියෙකු වන අනිල් අම්බානිගේ විනෝදාංශය වන්නේ මැරතන් ක්‍රීඩාවය. රිලයන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වූ අම්බානිගේ සොහොයුරා වන ඔහු බොහෝ විට ඔහුගේ ආරක්ෂකයන් සමඟ හිමිදිරියේ මුම්බායි නගරයේ වීදි ඔස්සේ දිවයනු දැකිය හැකිය.
ඔහු බ්ලූම්බර්ග් බිස්නස්වීක් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ නිව්යෝර්ක්හි පැවති ආයෝජකයන්ගේ සමුළුවකදී තම හිතවතකු ඔහුගේ බර ගැන ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහු තම සෞඛ්‍යය පිළිබඳව බැරූරුම් ලෙස සිතීමට තීරණය කළ බවටය. මැරතන් ධාවනය ඔහුගේ විනෝදාංශය වී තිබේ.
අනිල් අම්බානිගේ සොහොයුරා වන මුකේෂ් අම්බානි ඉන්දියාවේ අංක එකේ ධනවතාය. ඔහුගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 87.2කි. ආසියාවේ ධනවත්ම පුද්ගලයා හා ලොව 13 වැනි ධනවතා ඔහුය. ඔහුගේ ප්‍රධානම විනෝදාංශය වී ඇත්තේ විවිධ වර්ගයේ මෝටර් රථ එකතු කිරීමය. මේ වනවිට ඔහු සතුව මෝටර් රථ 170ක් පමණ ඇතැයි ස්ටයිල් වෙබ් අඩවිය සඳහන් කරයි. ඔහුගේ නිවෙස මහල් 27කින් යුක්ත වූවකි. පළමු මහලේ සිට සයවැනි මහල දක්වා වෙන්වී ඇත්තේ එම වාහන ගාල් කිරීම සඳහාය. කිසි දිනෙක මත්පැන් පානය කර නොමැති ඔහු නිර්මාංශභක්ෂකයෙකි.
ට්විටර් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන ඩික් කොස්ටලෝගේ විනෝදාංශය වී ඇත්තේ මී මැසි පාලනයයි. මී පැණි නිෂ්පාදනයට මෙන්ම දිනපතා තම මීමැස්සන් දෙස බලා සිටීමට තමන් ප්‍රිය කරන බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. මී වදය තුළ සිදුවන ක්‍රියාකාරකම්, සෘතු වෙනස් වන විට සිදුවන විවිධ වෙනස්කම්, මී මැස්සන් පැණි එකතු කරන ආකාරය සිත් ඇදගන්නා සුළු යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සුප්‍රකට වෝල්මාට් සමාගමේ නිර්මාතෘ සෑම් වොල්ටන්ගේ දියණිය වන ඇලිස් වෝල්ටන් ලොව 19 වැනි බිලියනපතිනිය වෙයි. ඇයගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 59කි. ඇයගේ විනෝදාංශ වන්නේ අශ්ව ගාල් පවත්වාගෙන යෑම, චිත්‍ර ශිල්පය සහ කලා කෘති එකතු කිරීමය. බෙන්ටන්විලේ නගරයේ කලා කෞතුකාගාරයක් ඉදි කිරීමට ඇය කටයුතු කළේ චිත්‍ර ශිල්පයට ඇය තුළ වූ ඇල්ම හේතුවෙනි. අධික වේගයෙන් රිය පැදවීමට ප්‍රිය කරන ඇය වරක් දරුණු අනතුරකට මුහුණ පෑමෙන් පාදවලට දැඩි ලෙස හානි සිදු විය.
හොලිවුඩ් නිළි සූසන් සැරන්ඩන්ගේ විනෝදාංශය ඇමෙරිකානු පාසල් වෙත හා තම මිතුරු මිතුරියන් වෙත පිංපොං ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමය. ඇය එම ක්‍රීඩාවට විශාල ඇල්මක් දක්වන හෙයින් ඇමෙරිකාව පුරා පිංපොං ක්‍රීඩා සමාජ ඇති කිරීමට පියවර ගෙන තිබේ.
නළු ලියම් නීසන්ගේ විනෝදාංශය බිලිබෑමය. හොලිවුඩ් නළු නිළියන්හට විවිධ විනෝදාංශ ඇති අතර තම පවුලේ අය සමඟ කාලය ගත කරමින් නිදහසේ සිටීමට තමන් කැමැති යැයි ඔහු ප්‍රකාශ කර තිබේ. ඇමරිකාවේ 'Fly Fishing the World' නමැති වැඩසටහනටද ඔහු සම්බන්ධ වී තිබේ.
පිලිපීනයේ ප්‍රකෝටිපතියකු වන විලියම් බෙලෝ එරට විශාලතම ඉදිකිරීම් උපකරණ ව්‍යාපාරයේ හිමිකරුය. ඔහුගේ විනෝදාංශය වන්නේ කිඹුලන් ඇති දැඩි කිරීමය. ඔහු සතු කිඹුල් ගොවිපළ දෙකක කිඹුලන් 23,000ක් පමණ සිටී. කිඹුල් මස් හංගේරියානු සොසේජස් නිෂ්පාදන සඳහා අලෙවිකරන අතර සහ කාන්තා අත්බෑග් සහ පාවහන් නිපදවන ලොව ප්‍රකට සන්නාම සඳහා කිඹුල් සම් සැපයීම ඔහුගේ විනෝදාංශය සහ ප්‍රධාන ආදායම් මාර්ගයකි. වසරකට කිඹුල් සම් 300ක් පමණ ඔහුගේ ගොවිපළින් විදේශවලට අපනයනය කෙරේ. එක් සමක් අලෙවි වන්නේ ඩොලර් 250ක් වැනි මුදලකටය.
චීනයේ ධනවත්ම පුද්ගලයා වන අලිබාබා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජැක් මා ගේ විනෝදාංශය සංගීත සංදර්ශනවල ගී ගැයීමය. මයිකල් ජැක්සන් ලෙස පෙනී සිටිමින් ගී ගැයීමට ඔහු කැමතිය.
ජෙෆ්රි ප්‍රෙස්ටන් බෙසොස් නොහොත් ජෙෆ් බෙසෝස් ඇමේසන් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියාය. ඩොලර් බිලියන 125ක ධනයකට හිමිකම් කියන ඔහුගේ විනෝදාංශය වන්නේ නාසා ආයතනය මගින් අභ්‍යවකාශ ගතකොට යළි මුහුදට පතිත වූ රොකට්ටු සොයා සබ්මැරිනයකින් ගමන් කිරීමය. මේ සඳහා ඔහු තම දරුවන් සිව් දෙනාද රුගෙන යෑමට ප්‍රියකරන බව සඳහන්ය. එමෙන්ම තම නිවෙසේ පැවැත්වෙන සාදවලින් පසු පිඟන් සේදීම සහ දිනකට පැය අටක් නිදාගැනීමද ඔහුගේ විනෝදාංශ අතර වේ.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ විනෝදාංශය කාසි හා නෝට්ටු එකතු කිරීමය. ලොව ප්‍රකට පුද්ගලයන් අතර ඒවා හුවමාරු කර ගැනීමට ඔහු කැමතිය. හොලිවුඩ් නිළියක වන නිකොල් කිඩ්මන් වරක් ඔහුවෙත එවා තිබූ වටිනා රුසියානු කාසි කට්ටලයක් ළඟ තබා ගැනීම නිසා අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූ අතර ඒ සඳහා වෙළඳපළ වටිනාකම ගෙවීමටද ඔහුට සිදු විය.
ඇපලෝ ග්ලෝබල් මැනේජ්මන්ට් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වූ බිලියනපති ලියොන් බ්ලැක්ගේ විනෝදාංශය කලා කෘති එකතු කිරීමය. ලොව කීර්තිමත් චිත්‍රශිල්පීන් වන රෆායෙල්, වැන් ගෝ සහ පිකාසෝගේ නිර්මාණ රුසක් ඔහු සතු වන අතර ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 750 ක් පමණ වේ. හිල්ටන් හෝටල් සමාගමේ සම සභාපතිවරයා වූ විලියම් බැරන් හිල්ටන් ගේ විනෝදාංශය වන්නේ තමන් සතු ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරයකින් ගුවනේ සැරිසැරීමය.
විලියම් ක්ලේ ෆෝර්ඩ් ෆෝඩ් මෝටර් සමාගමේ විධායක සභාපතිවරයාය. ඔහු ටයිකොන්ඩෝ සටන් කලාවේ කළු පටිධාරියෙකි. ටයිකොන්ඩෝ ක්‍රීඩාව ඔහුගේ විනෝදාංශයයි.
ලොව බොහෝ ධනවතුන් දැඩි කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන් තම ව්‍යාපාර ගොඩනැඟූවන්ය. මේ වනවිට බිලියනපතියන් බවට පත්ව සිටියද ආරම්භයේදී ඉතා කාර්ය බහුල ජීවිත ගෙවීමට ඔවුනට සිදුවී තිබිණි. විවිධ විනෝදාංශ කෙරෙහි ඔවුන් යොමුවී ඇත්තේ තමන් ඉපයූ ධනයෙන් ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කිරීමේ අරමුණෙනි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා