අප ගන්නා ආහාර කොතරම් සෞඛ්‍ය සම්පන්නද? කන බොන දෙයක් විෂ වී අප මියයනු ඇතිද? මෙවන් ගැටලු ඔබට මට නිතර මතු නොවන බව අපි දනිමු. එහෙත් හිටිහැටියේම මෙවන් පැනයක් විමසන්නට වූයේ එවන් සැකයක් සැබෑවට අප තුළ ඇති හෙයිනි. එය පසුගිය සතියේ පළවූ පුවතකි. ඒ අනුව අපට දැනගැනීමට ලැබුණේ ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවන් සඳහා යොදාගන්නා ප්‍රතික්‍රියක ඇතුළු අනෙකුත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් රට පුරා පිහිටි ආහාර හා ජල විශ්ලේෂණ රසායනාගාර රුසක කටයුතු අඩාල වී ඇති බවකි.
මෙය අප මිනිස් සමාජයේ පැවැත්ම කෙරෙහි අති සංවේදී කරුණක් ලෙස සලකා උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධ විමසා බැලීමට අපි තීරණය කළෙමු. ආහාර සුරක්ෂිතභාවය සහ ආහාර ආරක්ෂණව නිසි ලෙස පවත්වාගෙන යාම ඕනෑම විධිමත් සමාජයක සෞඛ්‍ය ක්ෂේත්‍රය සතු වගකීමකි. යම් හෙයකින් වගකිවයුතු පාර්ශ්ව එම කටයුත්ත පැහැර හරිනු ලැබුවොත්, මිනිසුන්ගේ නූතන ආහාර රටාව සැලකූ විට උත්ගත විය හැකි ගැටලුව අතිශය බරපතළය.
අප කළ සොයා බැලීම අනුව සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් දෙනා විසින් මසකට පරීක්ෂාව සඳහා ආහාර සාම්පල 5000 ක් පමණ රසායනාගාර වෙත භාරදීම සිදුවේ. එහෙත් රජයේ රසායනාගාර මුහුණ දී සිටින රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දැනට පරීක්ෂාවට යොමු කරන සාම්පල ප්‍රමාණය කප්පාදු කිරීමට ඔවුනට සිදුව ඇත. ඒ අනුව පසුගිය සමයේ මසක් තුළ පරීක්ෂණ සඳහා යොමු කරන සාම්පල ප්‍රමාණය දහසකින් පමණ කප්පාදු කර ඇති බව කියැවේ. මෙම කප්පාදුව තවදුරටත් ඉහළ යා හැකි බවට ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග අනාවැකි පළ කරයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ අනාවරණයන්ට අනුව මහජනයා වැඩි වශයෙන් පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවන් ද ඇණහිටිමින් පවතී. වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති පොල්තෙල්, එළඟි තෙල්, සෝයාමීට්, කෝමරිකා පාන, යෝගට් පාන, මස්, මාළු, බටර්, කිරි, පළතුරු බීම පාන ඇතුළු මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර හා ජලය ආදියෙහි ගුණාගුණ තත්ත්වය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කළ නොහැකි තැනට බොරුල්ල වෛද්‍ය පර් යේෂණ ආයතනය ඇතුළු විශ්ලේෂණ රසායනාගාර පත්ව ඇති බවට මේ වන විටත් වාර්තා පළ වේ.
කළුතර පිහිටි ආහාර සාම්පල පරීක්ෂා කිරීමේ රසායනාගාරය බැක්ටීරියා පරීක්ෂාව සඳහා බත් ඇතුළු ඝන ආහාර වර්ග භාරගැනීම නතර දමා ඇතැයි ද පසුගියදා වාර්තා විය. මෙම තත්ත්වය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකිය. මේ හේතුවෙන් විස සහිත, ආසාදිත ද්‍රව්‍ය සහිත හා දීර්ඝකාලීන ගැටලු ඇතිවිය හැකි ආහාර ආදිය රට තුළට ඇතුළුවීමේ අවදානමක් පවතී.
කෙසේවෙතත් මෙම තත්ත්වය හිටිහැටියේ නිර්මාණය වූවක් නොවන බවද දැනගැනීමට ලැබේ. ආහාර සහ ජල සාම්පල විශ්ලේෂණය කරන රසායනාගාර බොහොමයක මාස දෙකක් තිස්සේ ප්‍රතික්‍රියක ඇතුළු අනෙකුත් පහසුකම්වල ගැටලු වාර්තා වී ඇත. ඒත් ඊට පිළියම් ලබා දීමට බලධාරීන් අසමත් වී ඇති බව පෙනී යයි. මෙම ගැටලුව උග්‍ර වී ඇත්තේ මාස කිහිපයකට පසුවය. මේ වනවිට දිවයින පුරා බොහෝ විශ්ලේෂණ රසායනාගාරවල දෛනික කටයුතු පවත්වාගෙන යාම පවා අපහසු වී ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.
නුසුදුසු ආහාර අලෙවියට ඉනිමං තැබීමක්
උපුල් රෝහණ - සභාපති - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය.
“දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාරවල සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සඳහා රසායනාගාරවලට සාම්පල යවනවා. මේ සාම්පලවල පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟ නිසා මේ වෙද්දි බොහෝ අනුමත රස පරීක්ෂක කාර්යාලවලින් දැනුම්දීලා තියෙනවා විශාල ආහාර ප්‍රමාණයක් එවන්න එපා කියලා රසායනාගාරවලට විශ්ලේෂණ කටයුතු සඳහා.
මේ ගැටලුවත් එක්ක දිවයිනේ වෙළෙඳපොළේ බොහෝ විට තියෙන ආහාරවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ බරපතළ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අධිකරණමය කටයුතු සඳහා අපි යවන රසායනාගාර සාම්පල පරීක්ෂා කර ගැනීමේ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. කඩිනමින් මේ තත්ත්වය නිවැරදි කරන්න කටයුතු කළ යුතුයි.
විශේෂයෙන් රජයේ රස පරීක්ෂක සහ අනුමත රස පරීක්ෂකවරුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සහ රසායනික ද්‍රව්‍ය සැපයිය යුතුයි. එහෙම නැති වුණොත් වෙළෙඳපොළේ භාවිතයට නුසුදුසු බොහෝ ආහාර ද්‍රව්‍ය අලෙවි වේවි. මෙහි ගුණාත්මක තත්ත්වය අපිට ඉදිරියට පරීක්ෂා කළ නොහැකියි.”
I චමිඳු නිසල්