අස්වැසුම සහන වැඩපිළිවෙළ ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇත. ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රටක තෝරාගත් ජන කොටසකට විශේෂ සහන සපයන ක‍්‍රියාපටිපාටිය අවුල් ඇති කර තිබේ. රට පුරා තැන් තැන්වල විරෝධතා පැන නැගී ඇති බව වාර්තා වේ. මෙතෙක් ලැබුණු සහන ක‍්‍රම අහෝසි වන අතර අලුත් සහනාධාර නොලැබීම ගැන දුප්පත් ජන කොටස් පැමිණිලි ඉදිරිපත් කරන අතර මෙම පැමිණිලි භාරගැනීම සඳහා අතිරේක කාලසීමාවක් ද සපයා ඇත.
ආධාර ලබන පිරිස් අතර අතමිට හිඟ නැති, ආදායමක් ලබන කොටසක් ද සිටින බවට චෝදනා නැගී ඇත. නොලැබුණු පිරිස තමන් දුප්පත් බව අඟවන්නට තොරතුරු රැස් කරමින් සිටිති. සහනාධාර ඉතිහාසය සොයන පසුබිමක එවැනි ආධාර වැඩපිළිවෙළක් තෘප්තිමත් අයුරින් ක‍්‍රියාවට නංවන්නට හැකියාවක් ලැබී නැත. ඇති නැති සියලු දෙනා ආණ්ඩුවෙන් යමක් ලබාගැනීමට වෑයම් කරති. ආණ්ඩුවෙන් ගෙවන සහන ලැබෙන ක‍්‍රමය අවධානයට නොගැනීම වරදකි. මහජනතාවගෙන් අය කරන බදුවලින් කොටසක් සහන වශයෙන් සැපයේ. සහනාධාර පිරිවැය ඉහළ යන විට බදු වැඩි කිරීමට සිදුවේ. ශ‍්‍රී ලංකාවේ බදු ක‍්‍රමය අනුව 80% ක ප‍්‍රතිශතයක් වක‍්‍ර බදු බව දැක්වේ. බදු ගෙවන පිරිස එය දන්නේ නැත. මෙරට කරන වෙළෙඳාමේදී බදු අය කෙරේ. පිටරටින් ගෙන්වන අවස්ථාවේදීත් බදු නියම කර ඇත. බැංකු ගනුදෙනුවලදී නොබෝදා සිට විශේෂ බද්දක් පනවා ඇත. 20% ක පමණ ප‍්‍රතිශතයක් ඍජු, එනම් ආදායම් බදු වශයෙන් රජයට ලැබේ. දුප්පත් පිරිස පවා තමන්ම ගෙවන බදුවලින් නැවත කොටසක් ලබාගැනීම අස්වැසුම වශයෙන් දැක්වේ.
♦ යටත් විජිත කාලයේ සිට රජයෙන් ආධාර
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබුණු කාලයේ සිට ලංකාවේ තෝරාගත් කණ්ඩායමකට සහනාධාර සපයා ඇත. පැරණි ලියකියැවිලිවල ආණ්ඩුවේ විධිවිධාන යටතේ ආධාර හිමි පිරිස වෙන් කරගෙන තිබේ. එකල දුප්පතුන්ගෙන් වැඩි කොටසක් පවා බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් ආධාර ගැනීමට සූදානම් වූයේ නැත. එය මහත් අවමානයක් සේ සැලකූහ. ඉතාම දු:ඛිත ජීවිත ගතකරන පිරිස සහනාධාරයක් ලබාගෙන තිබේ.
නිදහස ලබාගැනීමෙන් පසු පවා යම් ආකාරයකට සහන ක‍්‍රම පැවැති නමුත් එය ව්‍යාප්ත වීම 1977 න් පසු සිදුවී ඇත. විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දෙන විට පැවැත්ම වෙනස් වූ අතර එහි අතරමැද අවස්ථා අහිමිවන ජන කොටස තෝරා සහන සැපයීමට ආණ්ඩුව වගබලා ගත්තේය. එය ආහාර මුද්දර වශයෙන් නම් කර තිබුණි. තෝරාගත් පවුල්වලට 1970 කාලයේදී පැවැති කූපන් ක‍්‍රමය අනුව සහල් හා භූමිතෙල් ආධාර වශයෙන් සැපයිණි. මාසයකට රුපියල් 300 කට අඩු ආදායම් ඇති පවුල් තෝරා මෙම කූපන් පොත් නිකුත් කර තිබුණි. 1979 සැප්තැම්බර්වලදී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙම සහනාධාර ක‍්‍රමය වෙනස් කළ අතර එම කූපන් ක‍්‍රමය අනුව එතෙක් සපයන ලද ආධාර වියදම විශාල ප‍්‍රතිශතයකින් කපා හැරිණ. විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ ලැබුණු අවස්ථා අතර දුප්පත් ජන කොටස්වලට විදේශගත වීමට වඩු, මේසන් වැනි රුකියාවලට මැදපෙරදිග රටවලින් ඉල්ලුමක් ලැබුණු අතර එම ආදායම පහළ තලයේ ඇතැම් ජනයාගේ ජීවන මටට්ම සරු කළේය.
නමුත් විවෘත ආර්ථිකයේ පවතින විෂමතා හෙයින් ඇති නැති පරතරය පුළුල් විය. ඉඩම් අහිමි, නිෂ්පාදන යාන්ත‍්‍රණයට දායක විය නොහැකි හා වෘත්තීය හැකියාවක් සහිතව මැදපෙරදිග රටවලට යා නොහැකි පිරිස සමාජයේ අඩුම ආදායමක් ලබන පිරිස බවට පත්වූහ. මෙම දුප්පත්භාවය දේශපාලන ව්‍යාපාර විසින් ලබාගෙන ආධාර අනුව ඡන්ද බැංකු බවට හරවා ගත්තේය.
♦ ජනසවිය දර්ශනයක් තිබුණු වැඩපිළිවෙළක්
ජනාධිපතිවරණයට පෙර රට පුරා ගමන් කළ ආර්. ප්‍රේමදාස මහතා ඇති හැකි සමාජයක් බිහි කරන බවට ප‍්‍රතිඥාවක් දුන්නේය. එයට පසුබිමක් තිබුණි. එකල වනවිට රට පුරා කැරලිකාර තත්ත්වයක් ඇවිලී පැවතිණ. දකුණේ ත‍්‍රස්ත ක‍්‍රියා හා උතුරේ ත‍්‍රස්තවාදය විශාල අපහසුතා ඇති කළේය. දුප්පත්කම මෙයට හේතු වූ බව අධ්‍යයන වාර්තා සනාථ කළේය. ජනගහනයේ දුප්පත්කම 20% ක ප‍්‍රතිශතයට ජාතික ආදායමෙන් 4.85% ක් හිමිව තිබුණු අතර ඉහළම 20% ක ජන කොටසක් ආදායමෙන් 51.8% ක් ඩැහැගෙන තිබුණු බව සංඛ්‍යා ලේඛන අනාවරණය කළේය.
ජනසවිය වැඩසටහන මෙහිදී ඉදිරිපත් කෙරිණි. අඩු ආදායම් ලබන සෑම දරු පවුලකටම රුපියල් 2,500 බැගින් ගෙවන බව ඡන්ද පොරොන්දුවක් විය. බලයට පත්වූ පසු පොරොන්දුවේ බරපතළකම වැටහෙන්නට ඇත. එවකට ශ‍්‍රී ලංකාවේ සමස්ත බදු ආදායම ජනසවිය ගෙවීමට ප‍්‍රමාණවත් නොවන බව හෙළි විය. එයින් අනතුරුව ලෝක බැංකුවේ සහාය ඉල්ලා සිටි අතර ඔවුහු සහනාධාර වෙනුවට ව්‍යාපෘති 15,000 ක් සඳහා ආධාර සැපයෙන වසර 75 කට පසු ආපසු ගෙවන ණය ක‍්‍රමයක් හඳුන්වා දුන්හ. ජනසවිය වට ගණනාවකින් යෝජනා වූ අතර පළමු වටයේදී එක්ලක්ෂ පනස් දහසකට ආධාර පිරිනැමිණි. ආධාරවලින් රුපියල් 1,042 ක් අනිවාර්ය ඉතිරිකිරීමක් වූ අතර මාස ගණන අවසානයේ රුපියල් 25,000 ක් ලැබෙන බව ප‍්‍රකාශ කෙරිණ. දරුවන්ගේ පෝෂණ මටට්ම නැංවීම, ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහනක්, කුඩා කණ්ඩායම් ඉතිරිකිරීම් හා සමාජ සජීවීකරණ ක‍්‍රියාවලියක් යටතේ ලංකාව පුරා දුගීකම දුරලන ව්‍යාපාරයක් විය. අභ්‍යන්තරය සැලකූ විට 1978 දී අඩු කරන ලද සහනාධාර වියදම මෙම ක‍්‍රමය සමඟ නැවත දෙතුන් ගුණයකින් ඉහළ ගියේය. අයවැය පරතරය පාලනය කරගත නොහැකි විය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ණය ගැනීමට ප්‍රේමදාස ආණ්ඩුවට සිදුවූ බව සිහිපත් කළ යුතුය.
ජනසවිය වැඩසටහනට ඇතුළත් විය යුතු දුප්පතුන් තෝරාගැනීම සඳහා ගමේ විහාරස්ථානය, පාසල හා ප‍්‍රභූන් ද නියෝජනය කළ නිලධාරීන් සහභාගිවීම මෙහි ඉතා වැදගත් අංශයක්ව තිබුණි. සුදුසු පිරිස තෝරාගැනීමේ විවෘතභාවය ගැටලු සමනය කරන හේතුවක් විය.
♦ සුපුරුදු සැලැස්ම සමෘද්ධියට
ජනසවිය වැඩසටහන ක‍්‍රියාවට නැංවිම සඳහා සමෘද්ධි ක‍්‍රියාකාරී පිරිස් දසදහස් ගණනක් තාවකාලිකව බඳවාගෙන සිටි අතර, ඡන්ද ආසන්න වනවිට දුප්පතුන්ගේ පැත්තෙන් හා වැඩපිළිවෙළ ක‍්‍රියාවට නංවන පිරිස ස්ථිර කරන පීඩනය ආණ්ඩුවට එල්ල කෙරිණ. නිලධාරීන් කෘෂි නිලධාරින් වශයෙන් බඳවා ගැනීම හැර විකල්පයක් නොතිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයේ සේවයට කරන බඳවා ගැනීම් පාලනය කරන සේ දන්වා තිබියදී සමෘද්ධි වැඩසටහනටත් අලුත් කාර්ය මණ්ඩල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් බඳවාගත් අතර එක පැත්තකින් දුප්පතුන්ට ආධාර හා අනෙක් පැත්තෙන් රජයේ සේවකයන්ට ගෙවන වැටුප රාජ්‍ය ආදායම හීන කරන බරපතළ සාධකයක් වී තිබුණි.
එක්සත් ජාතික පක්ෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු වෙනස් වුණු පසු ජනසවිය ද සමෘද්ධිය බවට නම් වෙනස් විය. ගෙවතු වගාව අලුතින් ඇතුළත් කරන ලද අතර සමෘද්ධි සහනය ජනසවියට වඩා අඩු, එහෙත් පැතිරුණු මුහුණුවරකට පරිවර්තනය විය. වරින් වර පවත්වන පළාත් සභා, පළාත් පාලන ඡන්දවලදී පක්ෂයේ අපේක්ෂකයන්ගේ නිර්දේශ අනුව දුප්පත් ජන කොටස තවත් ඉහළ ගිය අතර දහස් ගණනින් නාම ලේඛන සංශෝධනය වීම සාමාන්‍ය සිද්ධියක් විය.
අවසන් භාගය වනවිට දුප්පත්කමට ආධාර ලබන පිරිස ලක්ෂ හැටහතර දහසක පවුල් ප‍්‍රමාණයක් දක්වා විහිදිණි. මෙම සාමාජිකයන්ගේ ඉතිරිකිරීම් සම්බන්ධ කරගෙන සමෘද්ධි බැංකු පිහිටුවන ලද අතර එහි වත්කම් හසුරුවන ලද ආකාරය, වාණිජ බැංකුවල තැන්පත් කිරීමේදී ලැබුණු පොලිය හා අභ්‍යන්තරය ගැන විශාල විවේචන ඡන්ද වේදිකාවේ ජනප‍්‍රිය මාතෘකා අතර පැවැති බව මතක් කළ යුතුය. ඡන්ද ඉලක්ක කරගෙන කරන ලද මුද්‍රණ කටයුතු සඳහා සමෘද්ධි අරමුදලෙන් කරන ලද ගෙවීම් ගැන චෝදනා බරපතළ තත්ත්ව ඇති කළේය.
♦ අස්වැසුම මූලික රාමුව ගැන අවබෝධය
ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක සහනාධාර නිසි ඇගයීමකට ලක් කරන අතර රාජ්‍ය වියදම පාලනය කිරීම අවශ්‍ය වී තිබේ. ආර්ථික අර්බුදය එයට හේතුවකි. රජයේ ආදායම වැටුප්, විශ‍්‍රාම වැටුප් හා ණය සේවා ගෙවීමට ප‍්‍රමාණවත් නැත. මැදි ආදායම් රටක් වශයෙන් දුප්පත්භාවය පාලනය කරගෙන තිබේ. දිගින් දිගට අයවැයෙන් ජනතාවට දීමනා ගෙවීම පලක් නැති බව අධ්‍යයන වාර්තා පෙන්වා දී ඇත.
ශ‍්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා දක්වයි. 2012 දී දුප්පත් ජන කොටස ජනගහනයෙන් 15.2% ක් වූ අතර 2016 වනවිට එම ප‍්‍රතිශතය 4.1% දක්වා පාලනය වී තිබුණි. චීනය, ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවලටත් වඩා ඉක්මනින් ශ‍්‍රී ලංකාවේ පැතිර ගිය දුප්පත්කම අඩුවී තිබේ. එහෙත් අවාසනාවකට ආර්ථිකය අර්බුදයකට පත් විය. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව හා එයින් පසු ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය ඇති කරන ලද පීඩනය අප හමුවේ ඇත. සාමාන්‍ය ජනතාව පවා අපහසුතාවයක පසුවෙති. විශේෂයෙන් මැදි ආදායම් ජන කොටස විශාල පරිහානියක සිටිති. ලක්ෂ හතරකට පමණ රුකියා අහිමි වූ අතර ලක්ෂ හතළිහක් පමණ දුප්පත්භාවයට පත්ව ඇති බව ඇතැම් සමීක්ෂකයන්ගේ සංඛ්‍යා ලේඛන දක්වයි. මෙම තත්ත්වය අනුව සමාජයේ වැඩි කොටසක් නැවත ආධාර හිමිවිය යුතු තැන පසුවෙති. අස්වැසුම යටතේ අවුරුදු තුනක කාලයක් සඳහා ලක්ෂ දොළහක පමණ පිරිසකට ආධාර සැපයෙන බව දැක්වේ. ආධාර හිමිවිය යුතු සැබෑ ජන කොටස තෝරා සහන සැපයීමට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අනුබලය සපයා ඇති අවස්ථාවකි. දුප්පත්කම දුරු කරන, ජනතාව නගා සිටුවන ප‍්‍රයත්නයේ මීළඟ කඩඉම ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අවබෝධයක් තිබිය යුතුය.
I සාරා කන්දෙගොඩ