2023 ජුලි 01 වන සෙනසුරාදා

ලෝක ස්මරණ උරුම ලැයිස්තුවට ගිය මහාවංසය

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 232

පසුගිය දිනවල මාධ්‍යවල විශාල කතාබහකට ලක්වූයේ මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ‘යුනෙස්කෝ’ සංවිධානය පියවර ගෙන ඇති බවයි. මේ ගැන තොරතුරු සොයා යාමේදී අපට දැනගැනීමට ලැබුණේ මහාවංශය ලෝක උරුම ලේඛනයේ නොව මේ වසරේ යුනෙස්කෝ ලෝක ස්මරණ ලේඛනයේ ඇතුළත් කර ඇති බවයි (UNESCO Memory of the World Register 2023). ඒ සඳහා ප පේරාදෙණිය විශ්වවිද්‍යා පුස්තකාලයේ ඇති සම්පූර්ණ මහාවංශ පුස්කොළ පොත් පිටපතයි. 

යුනෙස්කෝ සංවිධානයේ නිල වෙබ් අඩවියේ පසුගිය 24 වැනි දින ප්‍රකාශයට පත්කළ ලෝක මතක උරුම ලැයිස්තුවට මහාවංසය ඇතුළත් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති ආචාර්ය ආර්. මහේෂ්වරන් පවසා සිටියේය. යුනෙස්කෝ සංවිධානය විසින් මෙම වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක උරුම ලැයිස්තුවට අයිතම 64ක් ඇතුළත් වන අතර ඒ අනුව ලැයිස්තුවේ සමස්ත අයිතම සංඛ්‍යාව 494කි. මෙවර ලංකාව මෙම ස්මරණ නාමලේඛනයට ඇතුළත් වුණේ තුන්වැනි වරටය. මෙයට පෙර ලංකාව සම්බන්ධයෙන් 2003දී ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ ලේඛන සහ 2017දී ලංකාව සහ ඉන්දුනීසියාවේ සුනාමි සම්බන්ධ ලේඛන යුනෙස්කෝ ලෝක ස්මරණ නාමාවලියට ඇතුළත් කර තිබේ.

ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරන ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවක් ලෙස ‘මහාවංස පුස්කොළ පිටපත’ යුනෙස්කෝ සංවිධානය මෙම වසරේ (2023) ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර එසේ ඇතුළත් කර ඇත. ඊට අමතරව මේ අවුරුද්දේ එම ලේඛනයට ඇතුළත් ස්මරණ ලේඛන අතරට පියදොර් දොස්තව්ස්කිගේ (රුසියාව) අත්පිටපත් 16ක්, තායිලන්තයේ ජාතික පුස්කොළ පොත් එකතුවේ ප්‍රා නාට් පානොස් වංසකතාව, ජපානයේ එන්චින් භික්ෂුවගේ ලේඛන, ඉන්දියාවේ අභිනවගුප්තගේ අත්පිටපත් ආදියද වේ. 

මෙම පුස්කොළ පොතේ ඇති මහනුවර රාජධානි සමයේ අවසාන භාගයේ කොටසක් මල්වතු පාර්ශ්වයේ හිටපු මහ නායක   තිබ්බටුවාවේ නාහිමියන් විසින් ලියා තිබෙන බව හෙළිව තිබේ. පරිච්ඡේද 99කින් යුත් මෙම  මහාවංශ පිටපත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට යටත්වන තෙක්ම ලියා තිබෙන බවත්, තිබ්බටුවාවේ මහානාහිමියන් ගෙන් පසු ඉදිරියට එය ලියන ලද භික්ෂූන් වහන්සේගේ නම පිළිබඳ සඳහනක් නැත. ලෝක ස්මරණ උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ මහාවංසය පුස්කොළ පොත පත්තිරු 237කින් සමන්විතය.

''ලෝකයේ දිගම නොකැඩූ ඓතිහාසික වාර්තාවලින් එකක් වන මහාවංසය, පරිණත ඉතිහාස සම්ප්‍රදායක් ආරම්භ කරමින්, ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරමින්, දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමුවැනි ඉතිහාස වාර්තාව බවට පත්ව තිබේ” යැයි ‘යුනෙස්කෝ’ සංවිධානය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. 

“ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කළ පුරාවිද්‍යා පර් යේෂණවලින් සොයගත් කරුණුවලින්  ‘මහාවංසයේ’ කරුණුවල සත්‍යතාව තහවුරු වී තිබේ. එය බුදුන් වහන්සේගේ ජීවමාන කාලය,ඉන්දියාවේ අශෝක අධිරාජයා සහ ලෝක ආගමක් ලෙස බුද්ධාගම නැගීම පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් දකුණු ආසියාවට ඉතා වැදගත් ලිඛිත මූලාශ්‍රයකි. මෙම ලේඛනය අග්නිදිග ආසියාවේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයාගේ අනන්‍යතාවය ද පැහැදිලිව සඳහන්ව තිබේ” යැයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටී.

රටවල් කිහිපයක මහාවංශයේ අත්පිටපත් කීපයක් තිබෙන අතර අග්නිදිග ආසියාතික සහ ඉංග්‍රිසි ඇතුළු යුරෝපීය භාෂා කිහිපයකට එය පරිවර්තනය කිරීමෙන් එහි අතිවිශාල ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරන බව ද යුනෙස්කෝ සංවිධානය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මහාවංසයේ පුස්කොළ පිටපත් දිවයිනේ ස්ථාන කිහිපයක දක්නට ලැබෙන අතර ඒවා සියල්ල නිරීක්ෂණය කර වාර්තාවක් සකස් කිරීම සඳහා රජය කමිටුවක් පත්කරන ලද බවත් ඒ අනුව මහාවංශයේ පැරණිම මෙන්ම අංග සම්පූර්ණ පුස්කොළ එකතුව පේරා‍දෙණිය විශ්වවිද්‍යාලය සතු බවට කමිටුව මගින් සනාථ කළ බව ද පුස්තකාලයාධිපති මහේෂ්වරන් මහතා පවසා සිටී.

මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිනිය වන ආචාර්ය චාමිනී ගුණසේකර: ''පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලය, ජාතික පුස්තකාලය, ලංකා ආණ්ඩුව එකතුවී තමයි පේරාදෙණියේ තිබෙන මහාවංස පුස්කොළ පිටපත ගැන යුනෙස්කෝ ආයතනයට යෝජනා කිරීමට තීරණය කෙරුවේ. ඒ දැනට අවුරුදු දෙකකට පෙරදියි. පුස්තකාලයාධිපති ආචාර්ය ආර්. මහේෂ්වරන්  සහ එවකට උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරු ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වූවා. එම යෝජනාවෙන් පසුව යුනෙස්කෝ නියෝජිතයන් කරුණුවල සත්‍යතාව පරීක්ෂා කර බැලුවා. ඔවුන් ඉන්දියානු ඉතිහාසය සමඟත් සසඳා බලා මෙහි කරුණුවල ඇත්ත ගැන සොයා තිබෙනවා. දැනට තිබෙන පැරණිම මහාවංශ පුස්කොළ පිටපත තමයි පේරාදෙණියේ තිබෙන්නේ. ලංකවේ තවත් මහාවංස පුස්කොළ පිටපත් කිහිපයක් තිබුණත් ඒවායේ අඛණ්ඩ ඉතිහාස වාර්තාවක් සඳහන් වන්නේ නැහැ. සමහර කොටස් මගහැරී හෝ නැතිවී තිබෙනවා. මෙහි ක්‍රි.පූ. 6 සියවසේ සිට ක්‍රි.ව. 1815 දක්වා අඛණ්ඩව ඉතිහාස වාර්තාව දැක්වෙනවා. 

අපේ පුස්තකාලයේ තමයි ලංකාවේ දෙවැනියට විශාලම පුස්කොළ එකතුව තිබෙන්නේ. ලොකුම පුස්කොළ පොත් එකතුව තිබෙන්නේ ජාතික කෞතුකාගාර පුස්තකාලෙයි. අපේ පුස්තකාලයේ පුස්කොළ පොත් 5000ක් පමණ තිබෙනවා. ඉතිහාසය වගේම වෙද පොත්, ජ්‍යොතිශය පොත්, සාහිත්‍ය කෘති ඒ අතර දැකගත හැකියි. පුස්තකාලයේ සංරක්ෂණ ඒකකයක් වෙනම තිබෙනවා. මේ පුස්කොළ පොත් විශේෂ ක්‍රමවේදයකට ආරක්ෂිතව පවත්වාගෙන යනවා.''

ලොව බොහෝ රටවල්වල වංස කතා සාහිත්‍යයක් නැති වුවත් එය  ශ්‍රී ලාංකික සභ්‍යත්වයේ විශේෂ අංගයකි. ථූපවංසය, බෝධිවංසය, ධාතුවංසය, දළදා වංසය වැනි විවිධ බෞද්ධ පූජනීය වස්තූන් අළලා වංස කතා පොත් අතීතයේ ලියා තිබේ.  බෞද්ධ ඉගැන්වීම් අනුව   ජීවිත හැඩගස්වා ගත් ලාංකික ජනතාවගේ වසර 3000කට වඩා දීර්ඝ සභ්‍යත්වයේ වර්ධනය අඛණ්ඩව ලියා ඇති කෘතිය මහාවංසයයි. එය අදටත් සංස්කෘතික දොපාර්තමේන්තුවේ මහාවංස සම්පාදක මණ්ඩලය විසින් අඛණ්ඩව ලිවීම සිදුවේ. මේ මණ්ඩලයේ සභාපතිනිය වන්නේ මහාචාර්ය මාලනී ඇඳගමයි.  මහාවංසය ශ්‍රී ලාංකික ගිහි-පැවිදි විද්වතුන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රයත්නයක් ලෙස ඉතිහාසඥයෝ සලකති.

කලක් මහාවංසය බොරු කියන ලේඛනයක් ලෙස සහ මහාවිහාරික භික්ෂූන් වහන්සේලාගේ ප්‍රලාපයක් ලෙස ප්‍රතික්ෂේප කළ යුගයක් ද තිබිණි. නමුත් ශ්‍රී ලංකාවේ ශිලා ලේඛන සහ වෙනත් මුලාශ්‍ර කොටස්වලින් මහාවංසයේ බොහෝ කරුණුවල සත්‍යතාව පසුව පැහැදිලි විය. මහාවංසයේ ඇතුළත් වන්නේ බුද්ධාගම සහ රජවරුන් පිළිබඳ තොරතුරු පමණක් බවට චෝදනාවක්ද විය. එහෙත් විශේෂයෙන් බ්‍රාහ්මී සෙල්ලිපි ලිපි කියවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය පමණක් නොව ඉන්දියානු ඉතිහාසයේ ඇතැම් ගැටලූ නිරාකරණය කිරීමට අවශ්‍ය තොරතුරු පවා මහාවංසයේ ඇතුළත්වී ඇති බව සනාථ වී තිබේ. පුරාවිද්‍යා කැණීම්වලින් ලැබෙන ඇතැම් තොරතුරු සනාථ කර ගැනීමටත් මහාවංසය මුලාශ්‍රයක් වුණු වාර රුසකි. මහාවංසයේ ඓතිහාසික අගය පිළිබඳව සඳහන් කළ විද්වතුන් අතර ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සෙප්, හර්මන් ඕල්ඩෙන්බර්ග්, විල්හෙල්ම් ගයිගර් වැනි පුද්ගලයෝ සිටිති. 

යුනෙස්කෝව මගින් මහාවංසය ලෝක උරුමයක් බවට පත් කිරීමේ මහාවංසය තේරීම් මණ්ඩලයේ රජය, සංස්කෘතික අමාත්‍යාංශය, සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක, ආචාර්ය වීකඳවල අමිත රතන හිමි ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.

දැනට පොතක් ලෙස මුද්‍රිත මහාවංසයේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයන්හි විස්තර සහිතව ඇතුළත් කර ඇත. එය සංස්කරණය කර ඇත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් බටුවන්තුඩාවේ පඬිතුමා විසිනි.

පුස්කොළ යුගයෙන් කඩදාසිවල ලේඛනගත යුගයට පිවිසෙන මහාවංසයේ ක්‍රි.ව. 1815 සිට 1935 දක්වා වෙළුම ලේඛනගත කර ඇත්තේ යගිරල පඤ්ඤානන්ද හිමියන් විසින් වන අතර, ක්‍රි.ව. 1936-1956 කොටස ආචාර්ය නන්දදේව විජේසේකර ඇතුළු සම්පාදක මණ්ඩලයක් විසින්ද, ක්‍රි.ව. 1956-1978 දක්වා වෙළුම බෙල්ලන ශ්‍රී ඥානවිමල මහ නාහිමි විසින්ද, 1978-2010 දක්වා කොටස මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය ඇතුළු මණ්ඩලයක් විසින්ද සම්පාදනය කර තිබේ.

කෙසේ වුවත් ලෝකෙන් ඇගැයීමට ලක්වුවත් අපේ මහාවංසය සුදුද කළුද කියාවත් නොදන්නා පිරිස සමාජයේ බහුලය. මහාවංසය කියවීමට පාසල් සිසුන් ඇතුළු විද්‍යාර්ථින් උනන්දු වන්නේ නම් එය අපේ ඉතිහාසය අවබෝධ කර ගැනීමට අපූරු මගක් වනු ඇත.

♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙන්