2023 ජුලි 01 වන සෙනසුරාදා

කන්න වෙලා තියෙන්නේ හොදියි බතුයි විතරයි එළවළු මිල ඒ තරම් වැඩියි

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 101

මේ දිනවල රටේ එළවළුවල මිල ඉතා ඉහළය. මෙය රටේ ජනතාවට දැරිය නොහැකි මිල ගණනකි. මේ හේතුවෙන් අද බොහෝ නිවෙස්වල එළවළු වෙනදා මෙන් පිසෙන්නේ නැති තරම්ය. කොළඹ මැනිං වෙළෙඳපොළේ සිට සියලුම ආර්ථික මධ්‍යස්ථානවලත් පොදු වෙළෙඳසල් හා සාමාන්‍ය එළවළු වෙළෙඳසල් දක්වාත් මේ මිලෙහි ඉහළයාම පවතී. ඒ අතරේ ඇතැම් සුපිරි වෙළෙඳසල්වල එළවළු මිල කොහෙත්ම දැරිය නොහැකි තරම්ය.

''එළවළුවල ගාණ හිතන්නවත් බැරිතරම් ඉහළ ගිහින්. මොනව ගන්නද කියල හිතාගන්න බැහැ. ඉස්සර නම් ගෙවල් ළඟ තියෙන එළවළු කඩෙන් තමයි එළවළු ගත්තේ. දැන් ඒකෙන් ගන්න බැහැ. ඉස්සර අඩුවටම ගත්තේ එළවළු ග්‍රෑම් දෙසීය පනහක් වගේ. ඒකත් ඔය මිල අධිකම එළවළු විතරයි. නැත්නම් එකපාර ග්‍රෑම් පන්සීයක් ගන්නවා. දැන් ග්‍රෑම් පන්සීයක් කියන්නේ හීනයක් වගේ. ඒ තරමට ගාණ වැඩියි. ඒ නිසා සුපර් මාර්කට් එකට ගිහින් එළවළු දෙකක් අරගෙන ආවා. ඒකත් ග්‍රෑම් එකසිය පනහක් වගේ ප්‍රමාණවලටයි. ඉස්සර අපි සුප් එකටත් මීට වඩා එළවළු ගත්තා. දැන් ගෙදර හතර දෙනෙක්ට එක වේලකට ග්‍රෑම් එකසිය පනහක්වත් තමයි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙහෙම තව ටික දවසක් ගියොත් ගෙදර ඉන්න කෙනෙක්ට අමතර රස්සාවක් කරන්න වෙනවා මේ එළවළු මිලට ගන්න.'' යැයි මිරිහානේ පදිංචි ධම්මිකා ගුණරත්න මහත්මිය දේශයට පැවසීය.

සාමාන්‍ය ලෙසින් සුපිරි වෙළෙඳසල්වල ඇති එළවළු මිලෙහි යම් ඉහළ යාමක් පවතී. නමුත් බොහෝ අය සුපිරි වෙළෙඳසල්වලින් එළවළු මිලදී ගැනීමට උත්සාහ කරනු ලබන්නේ සුපිරි වෙළෙඳසලෙහි පවතින ස්වභාවය හේතුවෙනි. ඒ අතරේ ඇතැමුන් සුපිරි වෙළෙඳසල් තුළින් එළවළු මිලදී ගනු ලබන්නේ තමන්ට කැමැති අයුරින්, තමන්ට කැමැති ප්‍රමාණයකට මිලදී ගැනීමේ හැකියාව පවතින බැවිනි. මේ තත්ත්වය අද වනවිට බොහෝ එළවළු වෙළෙඳසල් හරහා ද ව්‍යාප්ත වී ඇත.

''මේ දවස් ටිකේම එළවළු විකිණෙන්නේ ගොඩාක් අඩුවෙන්. මිනිස්සු ඇවිත් ගෙනියන්නේ ඉතා අඩු ග්‍රෑම් ප්‍රමාණයක්. එළවළු ගිනි ගණන්. ආයතනය පුළුවන් උපරිමයෙන් පුළුවන් අඩුම සාධාරණ මිලට එළවළු ගේන්න උත්සාහ ගන්නවා. ඒත් මිනිස්සු එළවළු ගෙනියන්නේ අඩුවෙන්. මිල අධිකම එළවළු යන්නේම නැති තරම්. කැරට්, බෝංචි වගේ උඩරට එළවළු එක්කම මුරුංගා, මාළු මිරිස්, තුඹ කරවිල වගේ එළවළුත් මිල වැඩියි.'' යැයි සුපිරි වෙළෙඳසලක කළමනාකාර මහතෙක් දේශයට අදහස් දක්වමින් පැවසීය.

සාමාන්‍යයෙන් මේ දිනවල උඩරට එළවළුවල මෙන් සෑම එළවළුවකම මිල ඉහළ ගොස් තිබේ. වෙනත් දිනවලදී රුපියල් සියයකට මිලදී ගත හැකි කොස් බෑගයක් අද මිල රුපියල් දෙසීයකි. සාමාන්‍ය දෙල් ගෙඩියක මිල රුපියල් දෙසීය පනහකි. ඒවාද ප්‍රමාණයෙන් ඉතා කුඩාය. ඇතැම් දෙල් ගෙඩියක මිල රුපියල් පන්සීය දක්වාම ඉහළ ගොස් ඇත. නමුත් ඇතැම් කාලවලදී බොහෝ ප්‍රදේශවල දෙල්, කොස්, වට්ටක්කා, තක්කාලි වැනි එළවළු අපතේ යන අවස්ථාවන්ද ඇත. එවැනි කාලවලදී ඇතැම්හු එළවළු දන්සල් දෙති. අලින්ට කෑමට දෙති. අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

එළවළු මිල ඉහළ යාමෙන් හෝටල් ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක්  එල්ල වී ඇත. අද බොහෝ හෝටල්වල ''ෆ්‍රයිඩ් රයිස්'' වල  එළවළු වෙනදා තරම් දක්නට නැත. එපමණක්ම නොව බොහෝ හෝටල්, ආපනශාලාවල දහවල් බත් පතට ලබාදෙනු ලබන්නේ පරිප්පු, මැල්ලුමක් සමඟ එළවළු වර්ගයක් පමණි. එයද එළවළු කැබැලිවලට වඩා එළවළු හොද්ද වැඩිය.

''කරන්න දෙයක් නැහැ. මෙහෙම තමයි දෙන්න වෙන්නේ. අපි එළවළු ගේන්නේ පෑලියගොඩ මැනිං වෙළඳ පොළෙන්. වෙනදාට අපි එළවළු ගන්න ගියාම එළවළු වර්ග එකකින් කිලෝ දහයක්, දොළහක් ගන්නවා. සමහර ඒවා ඊටත් වැඩියි. අපි සාමාන්‍ය බත් කඩයක් කරන්නේ. අපිට දිනපතා එන පිරිසක් ඉන්නවා. ඒ අයට කෑම එකේ රස වෙනස් කරන්න බැහැ. දැන් අපි එක් එළවළුවකින් කිලෝ පහක් හයක් වගේ තමයි ගත්තේ. ඒකත් ගත්තේ බොහෝ අමාරුවෙන්. එළවළු මිල ඉහළ ගිය නිසා බත් පාර්සලේ මිල වැඩිකරන්න බැහැ.'' යැයි නුගේගොඩ රත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

''සාමාන්‍යයෙන් මංගල උත්සවයකට අපිට ඇණවුම් ලබාදෙන්නේ අවුරුද්දකට පමණ පෙරයි. සමහරු අවුරුදු එකහමාරකට උඩදීත් අපිට ඇණවුම් බාර දෙනවා. ඉතින් ඒ දවස්වලට අනුව තමයි අපි ඇණවුම බාර ගන්නේ. අද තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. අද එළවළු ඇතුළු අනිකුත් ආහාරවල මිල ඉතා වැඩියි. ඇණවුම බාරගත්තු මිලට අද ඒ දේ කරගන්න අමාරුයි. මේක ඉතාම විශාල ප්‍රශ්නයක්. එළවළු මිල ඉහළ ගියා කියල අපිට ඒ මුදල එකතු කරන්නත් බැහැ. අද වෙද්දි කිසිම උත්සව ශාලා හිමියන් හෝ ආහාර සපයන්නෙක් ලාබ ලබනවා කියල කියන්න අමාරුයි. අද ඒ හැමෝම තම ව්‍යාපාරය කරගෙන යන්නේ හරිම අමාරුවෙන්. සේවක සේවිකාවන්ට වැටුප් ලබාදෙමින්, මේ ව්‍යාපාරය අද පවත්වාගෙන යන්නේ හරිම අමාරුවෙන්. මේක විශාල අර්බුදයක්. අද වෙද්දි ජනතාවත් මංගල උත්සවයට ආරාධනා කරන පිරිස අඩුකරගෙන යනවා. බොහෝ විවාහ උත්සව අද මනමාල හා මනමාලි දෙපාර්ශ්වයයේම පිරිස එකට එකතු කොට එක උත්සවයක් ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඇත්තටම මේ එළවළුවල මිල ඉහළ යාම මේ ව්‍යාපාරය කරගෙන යන බොහෝ අයට විශාල ගැටලුවක්.'' යැයි සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා දේශයට පැවසීය.

''මේ දිනවල පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳසලට එළවළු තොග වශයෙන් පැමිණියත් එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේ ලොකු අඩුවක් තිබෙනවා. නුවරඑළිය හොඳම කැරට් කිලෝවක තොග මිල රුපියල් තුන්සිය අනූවයි. ලීක්ස් කිලෝවක් දෙසීය අසූවක් අතර මිලකට අලෙවි වුණා. ගෝවා කිලෝව එකසිය අසූවයි. දෙසීයයි අතර. රාබු කිලෝවක් රුපියල් සීයට අලෙවි විය. හොඳම බෝංචි රුපියල් තුන්සීයක් තුන්සිය පනහත් අතර අලෙවි වුණා. මාළු මිරිස් තුන්සිය පනහත් තුන්සිය අසූවයි. අමු මිරිස් කිලෝවක් රුපියල් හත්සිය පනහත් අටසීයත් අතර තොග වශයෙන් වෙළඳාම් වුණා. නුවරඑළිය කොළ බීට්රෑට් රුපියල් දෙසීය පනහත් දෙසීය අසූවටත් හොඳ බීට්රෑට් තුන්සීයත් තුන්සිය පනහත් අතර මිලකට අලෙවි වුණා.'' යැයි පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික මොහාන් හෙට්ටිගේ මහතා දේශයට පැවසීය.

තොග මිල එලෙස වුවද අතරමැදියන් හේතුවෙන් සාමාන්‍ය ජනතාවට මෙම මිලට එළවළු මිලදීගත නොහැකිය.

''මේ දිනවල එළවළු මිල ඉහළ යාම හේතුවෙන් වෙළෙඳුන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. මේ තිබෙන එළවළු වැඩි කාලයක් කල්තබා ගන්න බැහැ. වෙළඳුන් තොග වශයෙන් මෙතනින් එළවළු මිලදී ගන්නේ. ඒ අයට දවසින් දෙකින් විකුණන්නට අවශ්‍ය වෙනවා. එහෙම විකුණාගන්නට බැරිවුණොත් එළවළු නරක් වෙනවා. ඒකට පුධාන හේතුව වන්නේ මේ බෝගවලට යොදන පොහොර හා තෙල්වල තිබෙන ප්‍රමිතියෙන් අඩුකම නිසයි. ඒ වගේම මේ පවතින අව්ව සහ වැස්සත් මේ සඳහා බලපෑවා. එළවළු කොටුවල තිබෙන පලදාව දැන් ගොඩක් අඩුයි. ඉස්සර අය බෝගවලින් මාස දෙක තුනක් අස්වැන්න ලබාගන්න පුළුවන්කම තිබුණා. නමුත් අද වෙද්දී අස්වැන්න උපරිමයෙන් ලබාගත හැකිවන්නේ දවස් විස්සක් විසිපහක් අතර කාලයක්. කෘත්‍රිම බීජවල බලපෑම අස්වැන්න අඩුවීමට ප්‍රධාන හේතුවක්.''

පෑලියගොඩ මැනි වෙළඳ සංගමයේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02