2023 ජුලි 01 වන සෙනසුරාදා

වසර 100ක් ගියත් තාමත් වැඩකරන ආමර් වීදියේ රෙදි ලොන්ඩරිය

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 182

කොළඹ ජනාකීර්ණ නගරයේ අනුන්ගේ කුණුත් සමඟ ඔට්ටු අල්ලන මිනිසුන් සොයා පසුගියදා දිනෙක ''පැරඩයිස් ලොන්ඩරි වත්තට'' අපි පිවිසියෙමු. මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන ''කියාදෙන්න ආදරේ තරම්'' ටෙලිනාට්‍යයේ ''රෙදි මෝලවත්ත'' වන්නේද මේ ලොන්ඩරි වත්තමය. ටෙලිනාට්‍යයේ සේම පැරඩයිස් ලොන්ඩරි වත්තේද රෙදිත් සමඟ ඔට්ටු අල්ලන සැබෑම මිනිසුන් පිරිසක් ජීවත් වෙති.

මහ විශාල සිමෙන්ති ටැංකි ඇතුළට බැස ඔවුන් මේ සෝදන්නේ අනුන්ගේ රෙදිවල කුණුය. තාක්ෂණයේ දියුණුවත් සමඟ රෙදි සෝදන යන්ත්‍ර බිහිවෙද්දී, ඒවායින් නගරයක් පාසා යන්ත්‍ර සූත්‍රවලින් රෙදි සේදීමේ ලොන්ඩරි තිබුණද තවමත් පැරඩයිස් ලොන්ඩරි වත්තේ මිනිසුන් රෙදි සෝදන්නේ අතිනි.

''මගේ ගම බදුල්ලේ. දැන් මාත් මේ වත්තෙම ඉඳන් රෙදි සෝදනවා. අපි දවස් පඩියට තමයි රෙදි වේලන්නේ. එක දවසකට රුපියල් දෙදහසක් ලැබෙනවා. උදේ පාන්දර පහේ ඉඳන් අපි රෙදි වේලනවා. මේක හිතන තරම් ලෙහෙසි රස්සාවක් නෙමෙයි. මහ විශාල රෙදි කන්දරාවක් මේ වැලවල්වලට දාන එකත් අමාරුයි. අපි උදේ පාන්දර පහට වැඩ පටන් ගන්නවා. හවස පහ වෙනකල් වැඩ. රෙදි වේලන්න අව්ව තමයි ඕනේ. හැබැයි මේ කට්ට අව්වට අපිත් වේලෙනවා. වහින කාලයට රෙදිත් තෙමෙනවා. අපිත් තෙමෙනවා. මොනව කරන්නද...? ඒ කාලයට වේලගන්න අමාරුයි. තෙමිල තෙමිලා ඇඳුම් වේලෙනවා. මේක අමාරු වැඩක්. මොනව කරන්නද... මේකත් එක රස්සාවක්.'' යැයි පැරඩයිස් ලොන්ඩරි වත්තේදී අපිට මුණගැසුණු රාමන් පැවසීය.

රෙදි සෝදන්නෝ තම රාජකාරිය ආරම්භ කරන්නේ උදේ පාන්දර හතරටයි. ඇතැම්හු පාන්දර තුනහමාරටද මෙම විශාල වතුර ටැංකිවලට බසිති. ඒ සඳහා එක පෙළට සිමෙන්ති ටැංකි පේළි හතරක් පමණ ලොන්ඩරි වත්තේ එක් කොනක ඉදිකර ඇත. එක් ටැංකියකට එක් සේවකයකු බැගින් ජල ටැංකියට බසී. ඔවුන්ගේ ඉණ තෙක් ජලය පිරී තිබේ. එතැන් සිට ඔවුහු රෙදි සේදීම ආරම්භ කරති. පළමුව සුදු රෙදි සහ වර්ණ රෙදි වශයෙන් වෙන්කර ගත යුතුවේ. පසුව ඔවුහු ජල ටැංකියට යාබද ඇති කළුගලේ රෙදි ගසමින් ඇඳුම්වල කුණු ඉවත් කරති. එයද ලෙහෙසි කාර්යයක් නොවේ. ඔවුහු එක දිගට සීතල ජල ටැංකියේ සිට තම රාජකාරිය කරති. පැය ගණනක් එක දිගට ජලයේ සිටින ඔවුන්ගේ අත පය සීතලට හිරිවැටෙයි. නමුත් අද ඔවුන්ට ඒ සීතල හොඳට හුරුය.

ඔවුන්ගේ කාර්යය අවසන් වූ විට ඊළඟ කාර්යය බාර ගැනීමට තවත් පිරිසක් බලා සිටිති. ඔවුන් සුදු සහ වර්ණ ඇඳුම් වෙන් වෙන් වශයෙන් විශාල කැඳ සහ නිල් බැරල්වල ගිල්වා රෙදි සෝදති. පසුව ඔවුහු තම උරහිසේ හොවාගත් ඒ රෙදි අසල ඇති විශාල පිට්ටනියේ ඇති වැලවල්වල එල්ලති. ඔවුන්ගේ රාජකාරිය එතනින් අහවර වෙන්නේ නැත. වැලවල්වල ඇති රෙදි වේලා ඒවා මැදීමට බාරදිය යුතු වන්නේද ඔවුන්මය.

අද වනවිට පවුල් එකසිය පනහක් පමණ පැරඩයිස් ලොන්ඩරි වත්තේ ජීවත් වෙති. වසර සියයකට ආසන්න කාලයක සිට ලොන්ඩරි වත්ත මෙලෙස පවත්වාගෙන යද්දී ඇතැමුන් මෙම රුකියාව කරනු ලබන්නේද පරම්පරා උරුමයක් ලෙසිනි. නමුත් අද වනවිට අලුත් පරම්පරාව මෙම රුකියාවෙන් ඈත්ව සිටින්නේ යැයි පෙනෙනා බව ලොන්ඩරි වත්තේ වැඩිහිටියෝ පවසති.

''උන්ට අපි වගේ වතුරේ බැහැගෙන අනුන්ගේ කුණු අපුල්ලන්න ඕනකමක් නැහැ. සමහර කොල්ලෝ කෙල්ලෝ මේ ලොන්ඩරි වත්තේ ඉන්නේ කියන්නත් කැමැති නැහැ. උන්ට වරදක් කියන්නත් බැහැ. මේක ලෙහෙසි රස්සාවක් නෙමෙයි. වතුරේ ඉඳලම අත පය සීතලයි. දැන් ගොඩක් තරුණ ළමයි එක්කෝ ත්‍රීවීලර් එකක් හයර් එකට අරගෙන පදිනවා. එහෙම නැත්නම් කොහොම හරි රටකට පනිනවා.'' ඔවුන් පවසන්නේ එලෙසිනි.

ලොන්ඩරි වත්තේ බොහෝ රාජකාරි කටයුතු කරන්නේ මැදිවිය ඉක්ම වූ පිරිස්ය. තරුණයන් කිහිප දෙනෙකුද සේවය කළද ඔවුන් අප කැමරාව දුටු විට ඒ තම කාර්යයන්වලින් ඈත්වූයේ තම කාර්යයන් සම්බන්ධව ප්‍රසිද්ධියේ පැවසීමට ඇති අකැමැත්ත නිසාමය. නමුත් අනුන්ගේ දේ උදුරා ගන්නවාට වඩා, සොරකම් කරනවාට වඩා මේ රාජකාරිය උතුම්ය.

තාක්ෂණ දියුණුවත් සමඟ රටපුරා ලොන්ඩරි තිබුණද අදටත් බොහෝ නිවෙස්, ආයතන සහ හෝටල් තම රෙදි ලොන්ඩරි වත්තට ලබාදෙනු ලබන්නේ ඔවුන් තුළ ඇති විශ්වාසය නිසාමය. එවැනි හෝටල් ආයතන හා නිවෙස්වලටම ගොස් එම කිළිටි රෙදි, පාපිසි, මෙන්ම රෙදි බැග් ඇතුළු දෑ ගෙන එනු ලබන ත්‍රිරෝද රථ කිහිපයක්ම ඇත. ඔවුහු ඉතා පිළිවෙළට අංක ගතකොට එම රෙදි තොග වශයෙන් ලොන්ඩරිවත්තට ගෙන එති. තවත් සමහරු ලොන්ඩරි වත්තටම පැමිණ තම රෙදි ලබාදෙති.

සෝදා වේලාගත් රෙදි ඊළඟට ලබාදෙනු ලබන්නේ රෙදි මැදීමේ කොටසටය. කුඩා නිවාස පේළියක රෙදි මදින්නෝ සිටිති. මේ රෙදි මැදීමේ විශේෂත්වය වන්නේ අදටත් ඔවුන් බොහෝමයක් රෙදි මදින්නේ පොල්කටු ඉස්ත්‍රික්ක මගින් වීමය.

''මම හැමදාම දවස් පඩියට වැඩකරන කෙනෙක්. ඉස්සර මම බිස්නස් කරපු කෙනෙක්. අපිට දවසකට රුපියල් දෙදහක් ලැබෙනවා. දවසකට කෑලි හැටක් හැත්තෑවක් විතර මදිනවා. ඒ හැමදේම පොල්කටු ඉස්ත්‍රික්කයෙන් මදින්නේ. මේ හෝටල්වල සීට් කවර තොගයක්. ඒ රෙද්දේ හැටියට අයන් එකේ රස්නෙත් තියාගෙන තමයි මේවා මදින්න ඕනේ. මම නුවර කෙනෙක්. දැන් මෙහේ නැවතිලා මේ රස්සාව කරනවා.'' යනුවෙන් රාජා අපට පැවසීය.

පැරඩයිස් ලොන්ඩරි වත්තේ සැම ජාතියකටම අයත් මිනිස්සු ජීවත් වෙති. ඉතා කුඩා නිවෙස්වල ජීවත්වන ඔවුන්ට තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිහින බොහෝමයක් ඇත. ඔවුන පවසන පරිදි ලොන්ඩරි වත්තට යාබද කොටසේ ඉදිවී තිබෙන නිවාස සංකිර්ණය ඔවුන්ට ලබාදෙන්නට සූදානම් වී තිබුණද අදටත් ඔවුන් ජීවත් වන්නේ ලොන්ඩරි වත්තේ කුඩා නිවෙස්වලය.

ලොන්ඩරි වත්තේ ඇති ''ශ්‍රී මහා කාලි අම්මන් තිරුක්කෝවිලට'' දිනපතා බොහෝ පිරිසක් බාරහාර වීමට, බාරහාර ඔප්පු කිරීමට පැමිණෙති. කෝවිල ඉදිරිපිට ලොන්ඩරි වත්තේ රෙදිවැල් පේළිය දකින්නට ලැබේ. ලොන්ඩරියේ සේවකයන් තම රාජකාරි කටයුතු කරනු ලබන්නේ මේ කෝවිලට යාබදවය.

ඔවුහු ජීවත් වෙති. බොහෝ ප්‍රශ්න, දුක් වේදනා, ජීවිත අරගලයත් සමඟ ඔවුහු ජීවත් වෙති. අනුන්ගේ කුණු අතගෑවද ඒ බොහෝ මිනිසුන්ගේ ජීවිතවල කුණු නැත. ඇතැමුන් අපි හා කතා කළද ඒවා පිටු අතරට එක් කරන්නට, තම පින්තූරයක් පත්තර පිටු අතරට එක්කරන්නට අකැමැති වූයේ මේ සමාජය විසින්ම තබනා ඇතැම් පරම්පරා ලේබලයක් නිසාවෙන්මය. නමුත් ඔවුන්ගේ හිත් පිරිසිදුය. ඒවායේ කුණු නැත.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02