2023 ජුලි 01 වන සෙනසුරාදා

බෙහෙත් නෑ: දොස්තරලා නෑ: රෝහල් මරණාසන්නයි

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

සුවසේවා ලෙඩ වී සෞඛ්‍ය අංශය අසාධ්‍ය වීමට යන බවට පසුගිය සති කිහිපය පුරාවට අනතුරු ඇඟවීම් රැසක් ලැබෙමින් පැවතුණි. අපිද පසුගිය සතියේ උග්‍ර වෙමින් පැවති වෛද්‍ය හිඟය පිළිබඳ ඔබ වෙත වාර්තා කළෙමු. වෛද්‍ය හිඟයට සේම ඖෂධ හිඟය ඇතුළු තවත් අර්බුද රැසක් මේ වනවිට තවදුරටත් බරපතළ වී ඇතැයි දැන ගැනීමට ලැබේ. ඒ අනුව සෞඛ්‍ය අංශය අසාධ්‍යවීම පිළිබඳ අපි තවදුරටත් සොයා බැලීමට තීරණය කළෙමු.

ඉකුත්දා සෞඛ්‍යය ලෙඩවීම පිළිබඳ කතාව ප්‍රබලව ඉස්මතු වූයේ වයස අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් විශාල පිරිසක් එකවර විශ්‍රාම යාමට නියමිත බව ප්‍රකාශයට පත්වීමත් සමඟය. විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා ගනු ලැබූ තීරණය අනුව මෙම පිරිස ජූනි 30 වැනිදා විශ්‍රාම යෑමට නියමිත බව කියැවුණි.

රටපුරා රෝහල් පද්ධතියේ විශේෂඥ වෛද්‍ය හිඟය බරපතල වෙමින් ඇති මොහොතක මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අතිශය තීරණාත්මක මොහොතේ බව තතු දන්නා පිරිසක් අවබෝධ කොට ගෙන සිටියහ. මේ වනවිටත් රෝහල් පද්ධතියේ විශේෂඥ වෛද්‍ය සේවා රැසක් බිඳ වැටී ඇති බව අපද ඉකුත් සතියේ වාර්තා කළෙමු.

සෞඛ්‍ය අමාත්‍යාංශය ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකුත් සතියේ පළවූ වාර්තා අනුව වෛද්‍ය විශාල පිරිසක් මෙම මස අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව කියැවුණි. ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාව අනුව විශේෂඥ වෛද්‍යාවරුන් 148 දෙනකු සහ සාමාන්‍ය වෛද්‍යවරුන් දෙසීයක පමණ පිරිසක්ද සමඟ රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 350ක පමණ විශ්‍රාම යෑමට නියමිත විය.

මෙම අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබුණේ අධිකරණ මැදිහත්වීමක්ද සමඟයි. විශ්‍රාම යාම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගොනුකරනු ලැබූ රිට් පෙත්සම සලකා බැලීමත් සමඟ විසඳුම යෝජනා විය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ට දැනුම් ඇති බවකි.

සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කර පරිදි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තීරණයක් ලබාදෙන තෙක් විශ්‍රාම යාමට නියමිත දිනය නොසලකා රාජකාරී සිදුකළ හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය ඇත. කෙසේ වෙතත් මෙම විසඳුම කොතරම් ස්ථාවර විසඳුමක්ද යන්න ගැටලු සහගතය. එය තවදුරටත් පැහැදිලි වන්නේ ඉකුත් සතියේ පළවූ වාර්තාවන්ට අනුව, සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1400 දෙනකුට පමණ ඉකුත් අප්‍රේල් මාසයේදී පශ්චාත් සීමාවාසික පත්වීම් පිරිනැමූ අතර, ඉන් වෛද්‍යවරුන් 300 දෙනකු පමණ පත්වීම් ලිපි ලබාගෙන නොමැති බව වාර්තා වීමෙනි.

මේ අතර වෛද්‍යවරුන් රට හැරයාම සම්බන්ධ ගැටලුවටද තවදුරටත් පිළිගත පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව සඳහන් කළ යුතුය. එසේම තවදුරටත් බරපතළ වෙමින් පවතින ඖෂධ හිඟය සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීම සෞඛ්‍ය ලෙඩ වීමට ප්‍රබල හේතුවක් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පසුගියදා පසුගියදා ඖෂධ හිඟය සහ ප්‍රතිපාදන ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කරුණු පිළිගත්තේය. ප්‍රතිපාදන නොලැබුණහොත් අමාත්‍ය ධූරය දැරීම පවා පලක් නොමැති බව ඔහු පවසා තිබුණි.

ඉකුත් සතියේ වාර්තා වූ පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ද රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව පිළිගෙන තිබේ. ඒ අනුව රෝහල්වල වෛද්‍ය උපකරණ හා ඖෂධ හා හිඟය බරපතළ බව තමා පිළිගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය සතියේ මාධ්‍ය හමුවේ පිළිගෙන තිබුණි.

එම වාර්තාවන්ට අනුව රජයෙන් රෝහල්වල ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් පවතින බව කියැවේ. ඖෂධ ආනයනය සඳහා මසකට රුපියල් කෝටි 1300 ක් පමණ මුදල් මහා භාණ්ඩාගාර විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දිය යුතුව තිබේ. එහෙත් මේ වනවිට ඒ සඳහා ලැබෙන්නේ රුපියල් කෝටි 300ක් 400ක් පමණ ප්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම තත්ත්වය යටතේ පළවන වාර්තා අනුව ඖෂධ ඇණවුම් කිරීම සඳහා බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර තිබූ පරිදි ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පමණක් මසකට රුපියල් කෝටි 600ක් පමණ අවශ්‍ය වේ. එහෙත් ඖෂධ නීතිගත සංස්ථාවට ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන්නේ රුපියල් කෝටි 100ක පමණ ප්‍රතිපාදනය. එසේම ඖෂධ නීතිගත සංස්ථාව මින් පෙර ආනයනය කරනු ලැබූ ඖෂධ සම්බන්ධ දැවැන්ත ණයකාරයෙකු වී සිටින බවට වාර්තා පළවේ. ඒ අනුව සංස්ථාව, ඖෂධ හා උපකරණ වෙනුවෙන් සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 4,000ක පමණ බිල් ගෙවීමට යුතුව ඇතැයි කියැවේ.

මෙම තත්ත්වය යටතේ ඖෂධ ඇණවුම් ලබාදීම තොග පවත්වාගෙන යාම ආදී සියලු අංශ ඉදිරියේදී බරපතළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙනු ඇති බව පැහැදිලි වේ. ආණ්ඩුව කඩිනමින් මේ සඳහා විසඳුම් ලබාදීමට අපොහොසත් වුවහොත් අසාධ්‍ය තත්ත්වයේ සිටින සෞඛ්‍යයේ අවසන් ප්‍රාණ වායුවත් නොබෝ දිනකින් නිරුද්ධ විය හැකිය.

සෞඛ්‍යය පද්ධතියේ තවත් ගැටලු රැසක් පවතින බව මේ සමඟ සඳහන් කළ යුතුව ඇත. ඒ සියල්ල මෙහි මෙහි විස්තර කළ නොහැකිය. රෝහල් යටිතල පහසුකම්වල සිට, රෝගීන් මුහුණ දෙන පීඩාවන්ද ඇතුළුව විශාල ගැටලු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. නිදහස් සෞඛ්‍යය හිමි ශ්‍රී ලංකාව මේ ගමන් කරමින් සිටින්නේ කොයිබටද යන්න සැබවින්ම අප හමුවේ ඇති ගැටලුවයි.

I චමිඳු නිසල් ද සිල්වා