බැංකු කෙරෙහි විශ්වාසය පළුදු වූ විට ඇමෙරිකාවේ සිදුවූවා මෙන් බැංකු තැන්පතුකරුවෝ ස්වකීය මුදල් බැංකුවලින් ආපසු ගැනීමේ ප්‍රවණතාවක් උද්ගත වනු ඇතැයි පවසන්නෝ සිටිති. ගනුදෙනුකරුවන් එකවිට ස්වකීය තැන්පතු ආපසු දෙන ලෙස ඉල්ලා සිටියහොත් බැංකුවලට එය ඉටු කරන්නට නොහැකි වනවා ඇත. එවිට සිදුවිය හැක්කේ ඇමෙරිකාවේ මෙන් වාණිජ බැංකු රජයට පවරා ගැනීමක්ද? සති අන්තයේ සියලුම බැංකු වසා දමා ඇත්තේ මෙවැනි තත්ත්වයක් ඇතිවේ යැයි උපකල්පනය කිරීමෙන් බවට මතයක් පසුගිය දිනවල සමාජය තුළ පැතිර ගොස් තිබුණි.
බොහෝ දෙනාගේ අදහස වන්නේ ජනතාව පවතින තත්ත්වය පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගෙන ඇත්තේ සිදුවන්නට යන දෙය පිළිබඳ පාරදෘශ්‍යභාවයක් නොමැතිවීම නිසා බවය. කරන්නේ කුමක්ද පිළිබඳ කලින් ජනතාව දැනුවත් කළා නම් මෙලෙස වාණිජ තොරතුරු කරළියට නොඑනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ අදහසය.
මෙයට පෙර සිටි පාලකයන් කිසි දිනක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව පවසමින් උද්දච්චභාවයෙන් කටයුතු කළ බව මතකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අවදානමක බව ප්‍රකාශ කළේ දැනට වසර හතළිහකට පෙරදීය. එයට නොඇසූ කන් ඇතිව සිටි පාලකයෝ දේශීය ණය අඩු කරන ලෙස කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළහ. සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් අහෝසි කර ඒ වෙනුවට ස්වාධීන අරමුදලක් ඇති කරන ලෙස කළ ඉල්ලීමද ඉටු කළේ නැත. මෙම හැසිරීම නිසා ඉදිරියේදී ගැටලු පැන නැගීම ආරම්භ විය. අවසානයේදී රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුවිය.
මුදල් අමාත්‍යංශය නිකුත් කළ නවතම වාර්තාව පරිදි 2023 මාර්තු 31 දින වනවිට ලංකාවේ දේශීය විදේශීය මුළු ණය ප්‍රමාණය අමෙරිකන් ඩොලර් බිලියන 91.5 ක් වෙයි. මිලියන වශයෙන් ගත් කල මිලියන 91,567 කි. බිලියන 50 ක් දේශීය ණය වන අතර ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ව්‍යාපාර ලබාගන්නා ණය ද එයට අඩංගුය. විදේශ ණය ප්‍රමාණය බිලියන 36 කි. තවත් බිලියන 5.5 ක් මහ බැංකුව ලබාගත් ණයය. ඒ අනුව රජයේ මුළු ණය බිලියන 86 ක් වෙයි.
රජය දේශීය වෙළෙඳපොළෙන් ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත්වලිනි. මහ බැංකුවෙන් ණය ගන්නේ භාණ්ඩාගාර බැඳුම්කර මගිනි. මෙයට අමතරව මහ බැංකුවෙන් අත්තිකාරම් ලෙසද මුදල් ණයට ගනී. 2023 මුල් මාස තුනේදී එසේ ගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 2218 ක් වෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර තිබුණද රජය ණය ගැනීම නවතා නොමැත. ඒ අතරතුරද ණය ගනී. මෙහිදී ඇතිවන ගැටලුව වන්නේ තව තවත් ණය ගනිමින් තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයෝජනය කුමක්ද යන්නය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුවටීමට යොදන උපක්‍රමයක් දෝයි සැක පහළ වේ.
I ජනතාවට බලපෑමක් නෑ
''ණය ප්‍රශස්තකරණය යනු හොඳ මට්ටමකට ගෙන ඒමක්. එය සහශ්‍ර සංවර්ධන ඉලක්කවලද අඩංගු සාධකයක්. අපේ රටේ ණය මෙතෙක් ප්‍රශස්ත මට්ටමක තිබුණේ නෑ. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 128% ක් ණයයි. මෙයින් අදහස් කරනුයේ ණය ගැනීම වැරදියි යන්න නොවෙයි. මෙහි වරද ඇත්තේ ලබාගන්නා ණය නිසි ලෙස ආයෝජනය නොකිරීමයි. මෙතෙක් කල් අප කළ ඒ වරදේ ප්‍රතිවිපාකවලට අද මුහුණ දීමට සිදුව තිබෙනවා. ලබාගන්නා ණය සඵල කාර්යවල ආයෝජනය කරමින් එයින් ලැබෙන ආදායමෙන් ණය හා පොලී වාරික ගෙවිය හැකි නම් කිසි ගැටලුවක් ඇතිවන්නේ නෑ. එසේ නොවන විට ණය සේවාකරණය පිළිබඳ ප්‍රශ්න ඇතිවෙනවා. අද ණය පොලියෙන් 70% ක් පමණ ගෙවන්නේ අපේ ජාතික ආදායමෙන්. එවිට අවශ්‍ය වියදම්වලට මුදල් නැතිවෙනවා. ණය ප්‍රශස්ත මට්ටමකට ගෙන ආ යුත්තේ මේ නිසයි. මූල්‍ය අරමුදල කිව්වත් නැතත් එය කළ යුතු වෙනවා.
ලංකාවේ වෙළෙඳපොළ පොලී අනුපාතය වඩා විශාල අගයක් ගත්තා. එය ඉහළ නිසා පොලී අනුපාත අඩුකිරීම යහපත්. භාණ්ඩාගාර බිල්පත් වැඩිපුරම ශ්‍රී ලංකා මහ බැංකුව සතුයි. මුද්‍රණය කරන බිල්පත් ආයෝජකයන් මිලදී ගන්නේ ඉතාම සුළු වශයෙන්. එසේ නොගන්නා විට වැඩි කොටස මිලදී ගන්න සිදුවන්නේ මහ බැංකුවටයි. මහ බැංකුව ඒවා මිලට ගෙන ආණ්ඩුවට මුදල් දෙනවා. ඉතින් භාණ්ඩාගාර බිල්පත්වලින් ගත් ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ආණ්ඩුව මහ බැංකුවෙන් ගත් ණය නොගෙවා සිටීමක්. එසේම භාණ්ඩාගාර බැඳුම්කරවල විශාල ලෙස ආයෝජනය කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලියි. සේවක අර්ථසාධක අරමුදල් පනත අනුව එම අරමුදලේ මුදල්වලට ලැබෙන්නේ 4% ක් වැනි අවම පොලියක්. ප්‍රතිව්‍යුහගතකරණයෙන් සිදුවෙන්නේ එම පොලිය ගෙවීම හා වාරික ගෙවීම ප්‍රමාද කිරීම හෝ කපා හැරීමයි. එයින් අරමුදලට යම් බලපෑමක් වෙනවා. මෙයින් සිදුවන හානි පිළිබඳ සේවකයන් දැනුවත් වී නෑ.
කෙසේ වුවත් බලාපොරොත්තු වන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමෙන් පසු විදේශ ණයද ප්‍රශස්තකරණය කිරීමටයි. මෙම කටයුතු මගින් රජය බලාපොරොත්තු වන්නේ රට දැනට පත්ව ඇති බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමටයි. රටේ ආර්ථික වර්ධනය ධන අගයකට පරිවර්තනය කර ගැනීමට මෙමගින් හැකිවේ යැයි විශ්වාස කරනවා.
එසේම මහ බැංකු අධිපති ජාතිය අමතා පැහැදිලි කිරීමක් කරන්න යාමද නුසුදුසු බව මගේ අදහසයි. එයද ජනතාව නොමග යාමට හේතු වෙනවා. මෙය විශේෂ බැංකු නිවාඩු දීලා හදිසියේ සිදු කරනවාට වඩා සාමාන්‍ය රාජකාරියක් ලෙසයි කළ යුතුව තිබුණේ. මේ වනවිට පොලී අනුපාත ඇත්තේ ඉහළ මට්ටමකයි. රජයට තිබුණේ වාණිජ බැංකු සමඟ සාකච්ඡා කර එය ප්‍රශස්ත මට්ටමකට ගෙන එන්නටයි.
I ජනතාවට විශාල බලපෑමක් ඇතිවෙනවා
''ආණ්ඩුව, මුදල් ඇමැති, මහ බැංකු අධිපති මෙන්ම අනිකුත් වගකිවයුතු බොහෝ අය කියන ප්‍රකාශ ගැන විශ්වාස කරන්න බෑ. මෙයින් ජනතාවට බලපෑමක් ඇති නොවනවා නම් ඇයි බැංකු වැහුවේ? ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. අරමුදල්වලට අනිවාර්යයෙන් බලපෑම් ඇතිවෙනවා. ඒක නැහැයි කියන එක පට්ටපල් බොරුවක්. මෙතැනදී සිදුවන්නේ ප්‍රයෝගකාරී ලෙස ජතාව නොමග යැවීමක්.
ලංකා බැංකුවෙන් මහා භාණ්ඩාගාර බැඳුම්කරවල තැන්පත් කර ඇති මුදල්වල නාමික අගය අඩු කරන්න පුළුවන්. එවිට ආණ්ඩුවේ ණය පංගුව අඩු වෙනවා. බැඳුම්කරවල පොලී අනුපාත අඩුකර ගැනීමෙන්ද ආණ්ඩුව ගෙවිය යුතු ණය පොලී ප්‍රමාණය අඩු වෙනවා. එසේම ගෙවිය යුතු කාලය දිගුකර ගන්නත් පුළුවන්. අවුරුදු 5 කින් ගෙවිය යුතු ණය මුදල අවුරුදු 10 කින් ගෙවන්නට කාලය දිගු කරගත හැකියි. මේ තුන් ආකාරයෙන්ම සිදුවෙන්නේ ආණ්ඩුවේ ණය බර සහ වගකීම අඩුවීමයි. ආණ්ඩුවේ ණය බර අඩු වෙනවාය කියන්නේ බැංකුවල ඇති වත්කම්ද අඩුවීමයි. එතැනදි තමා ජනතාවට පාඩු සිදුවන්නේ. ආණ්ඩුව මේ ගැන හොඳින්ම දන්නා නිසා තමා තමුන්ගේ වගකීමෙන් ඉවත්වන්න යන්නේ. ඒ නිසා බැංකුවලටත් පාඩු වෙනවා. කලින් උපයාගත් ලාභවලින් හෝ වෙනත් ක්‍රමවිධි උපයෝගී කරගෙන ඒ පාඩුව පියවා ගන්නවා යැයි කියන්න මේ ආයතනවලට කිසිදු සහතිකයක් නෑ. මේ වගේ පාඩුවක් පියවා ගන්න ඉදිරියට ගෙනා ලාභයක් නැති බව ඔවුන්ගේ ශේෂ පත්‍ර දෙස බැලූ විට අවබෝධ වෙනවා. ඒ නිසා පියවන්න පුළුවන් පාර්ශ්ව වෙත මේ අලාභයේ බර තල්ලු කරනවා. එයින් සිදුවෙන්නේ ඒ බර වක්‍රාකාරයෙන් ආපහු මහජනතාව වෙත පැමිණීමයි.
කොහොම වුණත් දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යා යුතුමයි. ඒ ගැන තර්කයක් නෑ. ඒත් සිද්ධවෙන ක්‍රියාපිළිවෙළටයි විරුද්ධ විය යුත්තේ.''