2023 ජුලි 01 වන සෙනසුරාදා

විසුමක් නැති අස්වැසුම

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 291

 අස්වැසුම ක්ෂණික ඇමතුම් 1924 

රටට අස්වැසිල්ල පතා ආණ්ඩුව රැගෙන ආ ''අස්වැසුම'' සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හේතුවෙන් රටේම සැනසිල්ල අහිමිවේද? අස්වැසුමෙන් රටම කැළඹී ගිය සති අන්තයේදී අප විමසා බලන්නට සූදානම් ඒ පිළිබඳ තතු විත්තියයි.

අස්වැසුම කරළියට පැමිණියේ සමෘද්ධි, වැඩිහිටි දීමනා සහ වකුගඩු රෝගීන්ට ගෙවන දීමනා ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක වූ වෙනත් සුබසාධක ගෙවීම් ක්‍රමවල නව ප්‍රවේශයක් ලබාදෙමිනි. අරම්භයේදී ''අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයැදුම්පත්‍ර මිලියන 3.7ක් ලැබුණි. පසුව සිදුකරනු ලැබීය සමීක්ෂණයෙන් අනතුරුව අයැදුම්පත් මිලියන 3.3ක් තෝරා මේ සඳහා සළකා බැලීමට තීරණය කළේය.

ඒ අනුව පසුගියදා සිදුවූයේ අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභියාචනා සහ විරෝධතා දැක්වීම්වලට යටත්ව මිලියන දෙකක නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි. රටේම සැනසිල්ල බිදීගිය අස්වැසුම අර්බුද නිර්මාණය වූයේ මින් අනතුරුවයි. අස්වැසුම නාම ලේඛනයේ නම ඇතුළත් නොවූ රටපුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අභියස විරෝධතා පාන්නට වූහ. මෙම සිදුවීමත් සමග රටේ දේශපාලනය සහ රාජ්‍ය තන්ත්‍රයට කැළඹී ගියේය.

මේ සම්බන්ධව නිලධාරීන් අතරේ පවතින ගැටලුව පළමු අවබෝධ කර ගැනීම වටියි. අප වෙත දැන ගැනීමට ලැබුණු පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා අස්වැසුම දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදුව තිබේ. කෙසේ වෙතත් අස්වැසුම තෝරාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටලුව නිර්මාණය වූයේ මේ පළමු අදියරේ සිට බව පැහැදිලිය.

ආරම්භයේදී මෙහි සමීක්ෂණ කටයුතු සිදුකිරීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ. ඔවුන් පනතේ අඩංගු වගන්ති කිහිපයක් සංශෝධනය කළයුතු බවට ආණ්ඩුවට කොන්දේසි පැනවීම හේතුවෙනි. පසුව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ඇතිව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ විසිහත්දාහක පමණ පිරිසකගේ සහායෙන් මෙම සමීක්ෂණය සිදුකිරීමට බලධාරීහු කටයුතු කළහ.

අද වනවිට ඇතැම් පාර්ශ්ව සඳහන් කරන පරිදි මෙම ගැටලුව උග්‍ර වීමට හේතු වී ඇත්තේ මූලික අවස්ථාවේ ඇතිවූ මෙම ගැටලුකාරී තත්ත්වයන්ය. කෙසේ වෙතත් මූලික අවස්ථාවේදී මෙම සමීක්ෂණය මගහැර වෘත්තීය කණ්ඩායම් මේ වනවිට නැවතත් කරළියට පැමිණ සිටියි. ඔවුන් පවසන්නේ මෙවන් දෙයක් සිදුවිය හැකි බවට තමන් මුලසිටම අනතුරු හැඟවූ බවකි. කෙසේ වෙතත් මෙම නිලධාරීන් සහ බලධාරීන් අතර ගැටලුවක් ඇති බව ඕනෑම නිරීක්ෂකයකුට පෙනී යයි.

අස්වැසුම ආණ්ඩුවේ අභ්‍යන්තරික දේශපාලන ක්‍රියාවලිය තුළ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති බව මේ වනවිටත් පැහැදිලි වෙමින් තිබේ. නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම් ආදී පොහොට්ටුවේ ප්‍රධානීන් මෙම ක්‍රියාවලිය සම්බන්ධව විවේචනාත්මක අදහස් පළකරනු දක්නට ලැබේ. ඔවුන් මෙම ක්‍රියාවලිය අසාර්ථක බව සඳහන් කිරීම ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන අර්බුදයේ කොටසක් පැහැදිලිය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශ්ව දිගින් දිගටම කියා සිටින්නේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අවසාන ප්‍රතිලාභී නම් ලැයිස්තුව නොවන බවයි. ඒ සඳහා අභියාචනය කිරීමට හෝ විරෝධය පෑමට හෝ හැකියාව ඇති බවත් මේ වනවිට දිගටම අවධාරණය කරමින් සිටිති. එහෙත් පීඩාවට පත්වූ ජනතාව හෝ විපක්ෂ දේශපාලන පක්ෂ මෙම අදහස්වලට ඇහුම්කන් දීමට සූදානම් නැත. තවදුරටත් රටපුරා බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සමෘද්ධි බැංකු වෙත ප්‍රතිලාභ අපේක්ෂිත ජනතාව වැල නොකැඩී ඇදී එමින් සිටිති.

මේ අතර අස්වැසුම අභියාචනා ක්‍රියාවලිය සම්බන්ධවද බොහෝ විවේචන ඉදිරිපත් වී තිබුණි. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙම අභියාචනා අයැදුම්පත් පිරවීම දරිද්‍රතාවයෙන් පෙළුණ පවුල්වල ජනතාවට පහසු නොවන ප්‍රබලවම නැඟුණු චෝදනාවයි. එසේම මෙම අයැදුම් පත්‍රවල ඇති සංකීර්ණ බව පිළිබඳව බොහෝදෙනා චෝදනා කළහ.

කෙසේ වෙතත් මේ වනවිටත් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්‍ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියා සිටීයි. මේ අතර අන්තර්ජාලය හරහා මෙම පෝරමය පුරවාදීම සඳහා මුදල් අය කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. එසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අභියාචනා ලිඛිතව භාර ගැනීමට පහසුකම් සපයා ඇති බව වාර්තා වේ.

වෙච්ච වැරැද්ද නිවැරදි කළ යුතුයි
- පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක

අස්වැසුම යටතේ තේරීමේදී පුංචි නෙවෙයි ඒ ලොකු වරදක් වෙලා තියෙනවා. ඉතින් ඒක හදාගන්න ඕනෑ. සමෘද්ධි නැතිවෙලා අස්වැසුම එන එක ගැන මට කමක් නෑ. නමුත් 2019 දී ලෝක නොබෙල් ත්‍යාගය දිනපු මහා ආර්ථික විද්‍යාඥයෝ කියන්නෙ දුප්පත්කම නැති කරන්න ප්‍රාග්ධනය ලබාදෙන ශක්තිමත් ආයතනයක් අවශ්‍යයි කියලා. ණය වීම වළක්වා ගන්න ඒ ඒ අවස්ථාවලදී දිළිඳු ජනතාවට ආධාර ලබාදෙන අරමුදලක් අවශ්‍යයි කියලා. ඒ සියල්ලම සමෘද්ධි ව්‍යාපාරය තුළ තියෙනවා. ඒ නිසාම මේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යන එක ඉතාමත්ම හොඳයි.

අස්වැසුම සම්බන්ධ සමහර නිර්ණායකවලට මම එකඟ නෑ. බැංකු කියලා මේ අය හොයලා තියෙන්නෙ ප්‍රධාන බැංකු. මේ බැංකුවල දුප්පත් මිනිස්සු නෑ. මේ අය ඉන්නේ ගම්වල පුංචි බැංකුවල සහ ස්වෙච්ඡා සංවිධාන ආයතනවල. කීප දෙනෙක් කියල තිබුණ විදුලි බිල බලන්න කියල. ඒක හොඳ නිර්ණායකයක් තමයි. නමුත් ඒක උඩම යැපෙන්න. හොඳ නෑ. මෙතන වරදක් වෙලා තියෙනවා ඒක නිවැරදි කරන්න ඕනෑ.

මම පිළිගන්නවා මෙතන සහනාධාර ලබාගත් අය අතරේ නුසුදුස්සෝ හිටියා. ඒ වගේම නොලැබුණු සුදුස්සොත් හිටියා. ඒකට කාලාන්තරයක් තිස්සේ හේතු තිබුණා. ඒ අඩුපාඩු හදලා මේ වැඩේ ඉක්මනින් කරන එක තමා හොඳ. දැන් අභියාචනා ඉදිරිපත් කරන්න ලබාදීලා තියෙන කාලය දින විස්සක් කරලා තියෙනවා ඒක හොඳයි.

විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සැලසුම් අධ්‍යක්ෂතුමාගෙ, ග්‍රාම නිලධාරිවරුන්ගෙ, සංවර්ධන නිලධාරිවරුන්ගෙ, සමෘද්ධි නිලධාරීවරුන්ගේ උදව් මේ සඳහා ලබා ගැනීම ඉතාම හොඳයි.

නම නැතිවුණාට කලබල වෙන්න එපා
- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරද්දී අපිට අභියෝග රාශියක් ආවා. මේ ගැසට් නිවේදන සියල්ල අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවසානයේ රෙගුලාසි ක්‍රියාත්මක වෙද්දී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නිවැරදිම කණ්ඩායමට සහනාධාර බෙදාදීම සිදුවිය යුතුයි පොදු මත යටතේ ඡන්ද විමසීමකින් තොරව මේ රෙගුලාසි සම්මත වුණා.

කවුරුහරි මගෙන් ඇහැව්වොත් කීදෙනෙක් මේ වෙනකොට තෝරගෙන තියෙනවද කියලා ඒකට මට පිළිතුරක් ලබාදෙන්න බෑ. අපි අවස්ථාව ලබාදීලා තියෙනවා අභියාචනා විරෝධතා ඉදිරිපත් කරන්න. ඒවා සලකා බැලීමෙන් පස්සේ තමයි නිශ්චිතවම මේ ප්‍රතිලාභ ලබාදීමට සංඛ්‍යාව තෝරගෙන තියෙනවා කියන කාරණය.

වකුගඩු රෝගී දීමනාව ලබන, වැඩිහිටි දීමනාව ලබන, ආබාධිත දීමනාව ලබන අයගේ ලැයිස්තුව තාම ප්‍රකාශයට පත්කරලා නෑ. මේ සතියේ අවසාන වෙද්දී සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඒ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ නිසා තමන්ගේ කියලා දීමනාව ලබාගන්න සුදුසු පුද්ගලයෙක්, යම්කිසි තැනක දැනට නම ප්‍රසිද්ධියට පත්වෙලා නැත්නම් ඒ පිළිබඳ කලබල වෙන්න එපා. අපි ඒ නාමලේඛනය ඉදිරියේදී නිකුත් කරනවා. අයදුම්පත් තුළ ලබාදී තියෙන තොරතුරු අප සතුව තියෙන තොරතුරු සැලකිල්ලට ගෙන තමයි අපි කටයුතු කරන්නෙ.

බොහෝ අය සඳහන් කරා රජයේ රජයේ නිලධාරීන් නිවැරදිව සම්බන්ධ නොකර ගැනීම නිසා මේ තත්ත්වය ඇති වූ බව. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළා. ඔවුන් මේ සමීක්ෂණයට එකඟ කරගන්න අපට නොහැකි වුණා. ඔවුන් එයට මේ සම්බන්ධයෙන් කොන්දේසි පැනෙව්වා. ඒ නිසා රජයට සිද්ධ වුණා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය මේ සඳහා අරගෙන මේ සමීක්ෂණය කරන්න පුළුවන් විධිමත් ක්‍රමවේදයකට, පනතේ සහ ගැසට් පත්‍රයේ සඳහන් කාරණා අනුව එය සිදු කරන්න.

I චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ I අන්තර්ජාලයෙන්