2023 ජුලි 01 වන සෙනසුරාදා

රුසියාවේ සහායෙන් ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්!

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 116

ලෝකයේ රටවල් බොහෝමයක් මේ වනවිට වඩාත් කාර්යක්ෂම නව බලශක්ති ප්‍රභව වෙත සංක්‍රමණය වී හමාරය. දිනෙන් දින වැඩිවන විදුලි ඉල්ලුම සහ ඒ සඳහා ගෙවිය යුතු ඉහළ මිල හේතුවෙන් වඩාත් කාර්යක්ෂම බලශක්ති ප්‍රභවයක් කරා යාමේ අවශ්‍යතාව අප රටටද දැන් වඩාත් දැනී තිබේ. ඒ සඳහා සුදුසු විකල්පයක් ලෙස ලංකාවටත් න්‍යෂ්ඨික බලාගාරයක් ලබාගැනීමේ පියවර ඇරුඹී තිබේ.

ඒ අනුව න්‍යෂ්ඨික බලාගාර සම්බන්ධයෙන් ප්‍රකට රුසියානු සමාගමක් වන රොස්ටාම් සමඟ මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ගිවිසුම් ගතවීමට මූලික පියවර ගත් බව රුසියාවේ ලංකා තානාපතිනිය  පසුගියදා තහවුරු  කළාය. රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ටාම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව රුසියාවේ පැවති සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී ප්‍රකාශයට පත්කර තිබුණි. මෙම ආයතනය න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සඳහා උපකරණ, ඩිජිටල් නිෂ්පාදන, විවිධ නව්‍ය න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන නිෂ්පාදන සිදුකරන ආයතනයකි. රුසියාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 20%ක් පමණ එම රොස්ටාම් ආයතනය විසින් සම්පාදනය කරනු ලැබේ. මේ වනවිට ඔවුන් ලොවපුරා රටවල් 11ක සමාගම් 34ක් සමඟ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද සමත්වී ඇත.

රුසියාව ආසියා කලාපයේ න්‍යෂ්ටික බලය සඳහා සහාය දැක්වීම මේ වනවිටත් අරඹා හමාරය. ඔවුන්ගේ දායකත්වය ලද බංග්ලාදේශයේ පළමු න්‍යෂ්ටික බලාගාරය වන, ගිගා වොට් 2.4-GW බලයෙන් යුතු රූප්පූර් - Rooppur බලාගාරය ලබන වසරේ වාණිජ ක්‍රියාකාරීත්වයට පිවිසීමට අපේක්ෂා කරයි. එය Rosatom වෙතින් ලද VVER-1200 ප්‍රතික්‍රියාකාරකවලින් සමන්විතය. බංගලිදේශය න්‍යෂ්ටික බලාගාර 2ක් තැනීමට බලාපොරොත්තුවේ. මේ හැර අපේ කලාපය තුළ ඉන්දියාව සතුව ප්‍රතික්‍රියාකාරක 23ක් ද, පකිස්තානය සතුව 6ක් ද පවතී. එම ජාලයට ශ්‍රී ලංකාවද හවුල් කරගනිමින් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් මෙරට ඉදිකිරීමට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසාද දේශය සමඟ හෙළිකළේ දැනටමත් ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක් ලබාගැනීමේ   මූලික පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට රුසියාව විසින් යෝජනාවක් සමඟ අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර තිබෙන බවත් රාජ්‍යයන් දෙකක් අතර ක්‍රියාත්මක වන වැඩසටහනක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩල සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා කීවේය. මේ වනවිට මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත් කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ රුසියාව ඉදිරිපත් කර ඇති යෝජනාව මතය. මේ වනවිට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට රුසියාව ඉදිරිපත් කළ සැලසුම් අධ්‍යයනය කරමින් සිටී. මේ අනුව 2032 වනවිට රුසියාවේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාව සිය පළමු න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

වසර 2040-43 පමණ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කල්පැන අත්හැරීමට සිදුවීමත්, රට තුළ අඛණ්ඩ පාදක බලශක්ති ගබඩාවක අවශ්‍යතාව පැවතීමත් ඒ සඳහා අප අත්සන් තබා ඇති අන්තර්ජාතික ගිවිසුම් අනුව වඩාත් පිරිසුදු කාබන් ශූන්‍ය බලශක්ති ප්‍රභවයක් සොයාගැනීමේ අවශ්‍යතාව මතුවීමත් සමඟ ලෝකයේ මේ වනවිට ඒ සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රමුඛ විකල්පයක් වන න්‍යෂ්ටික බලශක්තිය කෙරේ අවධානය යොමුකිරීමට අපට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි. 

මෙහිදී මහා පරිමාණ බලාගාර වෙනුවට අපේ රටේ ආකාරයට කුඩා බලාගාර කිහිපයක් ගැන වැඩි අවධානයක් යොමුව ඇති බව මහාචාර්ය රෝසා කියයි. මෙගාවොට් 100ක ජනන ධාරිතාවක් ඇති කුඩා මොඩියුලර් ප්‍රතික්‍රියාකාරක - SMR හෝ පාවෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයන් හෝ පාවෙන බලාගාර වෙරළ සහ වෙරළ ආසන්නව මුහුදේ ස්ථාපනය කිරීමට ඇති හැකියාව ගැන දැනටමත් සලකා බැලෙමින් පවති. රුසියානු රජය වෙතින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇත්තේ වඩාත් සුබදායක යෝජනා මාලාවකි. මෙහිදී අවශ්‍ය තාක්‍ෂණය ඔවුන් විසින් සපයනු ලබන අතරම, මානව සම්පත් පුහුණුව මෙන්ම විශේෂයෙන්ම න්‍යෂ්ටික අපද්‍රව්‍ය නැවත සැකසීමේ තාක්ෂණය රුසියාව සතුව ඇති නිසා න්‍යෂ්ටික අපද්‍රව්‍ය ආපසු ගැනීමටද ඔවුන් එකඟ වී ඇත.
දිනෙන් දින වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ලොව ඕනෑම රටකට පරමාණු ශක්තිය යොදාගැනීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත. ඉන්දියාව ඒ මත පිහිටා තම රට තුළ මේ වනවිටත් කලක් ආන්දෝලනයට ලක්වූ කුඩන්කුලම් ඇතුළු න්‍යෂ්ටික බලාගාර 23ක් ඉදිකොට ඇත. තවත් 17ක් හැදීමට නියමිතය. ඒ අන්දමටම ශ්‍රී ලංකාව තුළද න්‍යෂ්ටික බලාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා රටක් වශයෙන් අපටද අයිතියක් ඇත. දැනුම සහ තාක්ෂණය නිවැරදි ආකාරයෙන් යොදාගෙන, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම දැන් අපටත් තවදුරටත් සිහිනයක් නොවේ. වර්තමානය වනවිට ලෝකයේ රටවල් 37ක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 443ක් මඟින් මෙගාවොට් 393,335ක විදුලිය උත්පාදනය වෙමින් පවතියි. මේ වනවිට රටවල් 19ක, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 52ක් අලුතින් ඉදිවෙමින් පවතියි. එමඟින් අපේක්ෂිත විදුලිය උත්පාදනය, මෙගාවොට් 55,276ක් පමණ වෙයි.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02