''වෙලාව දවල් 12.00ට විතර ඇති. තුන්වැනි තට්ටුවේ උඩ නාන කාමරයක් හදන්න වුවමනායි කියලා සර් ඩ්‍රයිවර් එක්ක උඩට ගියා. දෙන්නා සෝපානයෙන් තමයි උඩට ගියේ. මම පඩිපෙළ නැගලා ගියේ. සර් ඩ්‍රයිවර් එක්ක පහළට එන්න සෝපානයට නැග්ගා. මම පඩිපෙළේ පහළට එද්දි ශබ්දයක් ඇහුණා. දුවගෙන ගිහින් බලද්දී සෝපානය කඩා වැටිලා. දොරක් පැත්තකට විසිවෙලා. සර් සහ ඩ්‍රයිවර් දෙන්නාම බිම වාඩිවෙලා වගේ හිටියා.''
විදුලි සෝපානය කඩා වැටීමෙන් හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය පී.එම්.බී. සිරිල් මහතාගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී වෛද්‍ය සිරිල් මහතා යටතේ සේවය කළ හෙදියක වූ ප්‍රමිලා කාවින්දි එසේ පැවසුවාය.
හිටපු ඇමතිවරයකු වූ වෛද්‍ය පී.එම්.බී. සිරිල් මහතා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ ඔහුට අයත් නිවෙසක පදිංචිව සිටියේය. තෙමහල් නිවෙසක් වූ එහි දෙවැනි මහල ඔහුගේ වාසය වූ අතර බිම් මහල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරිණි. එහි සේවය සඳහා එක් හෙදියකද වූවාය. ඊට අමතරව බොහෝවිට එම නිවෙසේ රැඳී සිටියේ හිටපු ඇමැතිවරයාගේ රියැදුරු මහතාය.
මෙම නිවෙසේ තුන්වැනි මහලේ නාන කාමරයක් ඉදිකිරීමට අදහසක් තිබී ඇත. ඒ සඳහා අවශ්‍ය ස්ථානය මැන බැලීම සඳහා වෛද්‍යවරයා සමඟ රියැදුරු මහතා තෙවැනි මහලට ගොස් තිබුණේ නිවෙසට පිටින් තිබුණු විදුලි සෝපානය මගිනි. උඩුමහලේ මැනුම් කටයුතු අවසන්ව නැවත පහළට යන අදහසින් ඔවුන් දෙදෙනා සෝපානයට නැගී ඇත. එතැන රුඳී සිටි හෙදිය පඩිපෙළ දිගේ පහළට පැමිණෙමින් සිටියදී දෙවැනි මහලේදී විශාල ශබ්දයක් ඇසී තිබිණි. එළියට පැමිණ විපරම් කිරීමේදී විදුලි සෝපානය කඩා වැටී වෛද්‍යවරයා හා රියදුරා බිම වාඩිගෙන සිටිනු ඇය දැක තිබුණාය. වහාම කෑගසා අසල්වැසියන් රුස්කර ඔවුන්ගේ උදව්වෙන් වෛද්‍යවරයා ඇතුළු දෙදෙනා හම්බන්තොට රෝහලට ගෙනයාමට කටයුතු කෙරිණි. මේ අකරතැබ්බය සිදුවී ඇත්තේ ඉකුත් 25 වැනිදා දහවල් 12.00ට පමණය.
හම්බන්තොට රෝහලෙන් කරාපිටිය රෝහල වෙත මාරුකර යැවූ දෙදෙනා එම රෝහලට ඇතුළත් කොට තිබුණේ පස්වරු 6.00ට පමණය. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය සිරිල් මහතා රාත්‍රී 8.00ට පමණ මියගොස් තිබුණි. මිය යනවිට ඒ මහතා 83 වැනි වියේ පසු විය.
මෙම මරණය පිළිබඳව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී වෛද්‍ය සිරිල් මහතාගේ බිරිය ධර්මා කුරුප්පු (79) මහත්මිය මෙසේ කීවාය.
''අපි දෙන්නා සිරිබෝපුර ගෙදර දෙවැනි මහලේ ඉන්නේ. අපිට පුතාලා හයදෙනෙක් ඉන්නවා. හතර දෙනෙක් විදෙස් ගතවෙලා. දෙන්නෙක් කොළඹ පදිංචියි. ඊයේ දවල් ලොකු ශබ්දයක් ඇසුණා. ටිකකින් අපේ ඩිස්පෙන්සරියේ හෙදිය ඇවිත් කීවා සෝපානය කඩා වැටිලා මහත්තයයි රියැදුරුයි රෝහලට රැගෙන ගියා කියලා. රෑ දැනගත්තේ මහත්තයා මියගියා කියලා.''
මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා නිගමනය කළේ උසකින් වැටීම නිසා කොඳුඇට පෙළට සුසුම්නා ශීර්ෂයට හා හෘදයට සිදුවූ බහුවිධ තුවාල නිසා මරණය සිදුව ඇති බවකි.
මෙසේ කඩා වැටී තිබූ සෝපානය නිවසින් පිටත සවිකළ එකක් වුවද එය මගී භාවිතය සඳහා භාවිත වූ එකකි. එය නිවෙස අලුත්වැඩියාව සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉදිකළ එකක් නොවන බවට හම්බන්තොට පොලීසිය වාර්තා කළේය.
මිය යනවිට 83 වැනි වියේ පසුවූ හිටපු ඇමැතිවරයා 1940දී දෙවුන්දර ප්‍රදේශයේදී පටබැඳි මද්දුම බදුගේ සිරිල් නමින් උපත ලැබීය. අම්බලන්තොට වඳුරුප්ප රෝහලේ හා ගොඩකවෙල රෝහල්වල සේවය කොට ඇති ඒ මහතා වෛද්‍යවරයකුව සිටියදීම දේශපාලනයට පිවිසී ඇත. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා යටතේ 1977 වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් ජයග්‍රහණය ලැබීය. ඒ අනුව 1977 සිට 1994 දක්වාම වෛද්‍ය සිරිල් මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළේය. ලුණුගම්වෙහෙර වාරි ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේද ඒ මහතාය.
වෛද්‍ය සිරිල් මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන සමයේ සූරියවැව විද්‍යාලය, රන්මුදුවැව විද්‍යාලය, බඳගිරිය මහා විද්‍යාලය ඇතුළු පාසල් 36ක් ස්ථාපිත කොට ඇත. අවසන් වතාවට 2020 වසරේදී මහ මැතිවරණයට එජාපයෙන් තරග කිරීමට සමත් වුවද එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දවලින් 1%ක ප්‍රතිශතයක් පමණක් ලබාගැනීමට සමත්ව තිබුණි.
I සමන්ත ප්‍රදීප් විල්තෙර