2023 ජුලි 01 වන සෙනසුරාදා

මිනී අළුවලි්න් ආභරණ හදන ලංකාවේ කම්හල

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 478

බොරැල්ලේ දේවස්ථානයකටත්, නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකටත් බෝම්බ තැබූ බව කියන සිද්ධියකට සැකපිට විශ්‍රාමික වෛද්‍යවරයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ගිය වසරේදීය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හදිසි රෝගී තත්ත්වයකින් බිරිඳ මියගිය බව හෙළි කළ වෛද්‍යවරයා තවත් විශේෂ අනාවරණයක් කළේය. එනම් ඔහු තම මියගිය බිරිඳට දක්වන අසීමිත ආදරය වෙනුවෙන් තම අතේ පැළැඳ සිටින මුදුව මියගිය බිරිඳගේ මිනී අළු දමා සකස් කර ඇති බවට පවසා තිබේ. එකල මෙම පුවත පුවත්පත්වලින් දුටුවද එය බොහෝ දෙනාට අන්ධභූත විය. මිනී අළු දමා මුදු හදන්නේ කෙසේදැයි අපට ප්‍රශ්නයක් මතුවුණත් මේ ගැන සොයා බැලීමටවත් කිසිවකු උනන්දු නොවනුයේ මිනී අළුවලට දක්වන බිය හේතුවෙනි. 

එලෙස මියගිය තම සමීපතමයන්ගේ භෂ්මාවශේෂ හෙවත් මිනී අළුවලින් ආභරණ සාදන කර්මාන්තශාලා යුරෝපය, ජර්මනිය, ඇමෙරිකාව වැනි රටවල තිබුණද ලංකාවේ තිබෙන එවන් කර්මාන්තශාලාවක් අපට හමුවූයේ මෑතකදීය. ඒ කටුනායක ආයෝජන නිදහස් වෙළෙඳ කලාපයෙනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආර්.කේ.එස්. (RKS) සමාගම හෙට ලොවට සරිලන ස්වර්ණාභරණ හා සිහිවටන නිපදවීමේ ආයතනයකි. මෙම සමාගමේ උපත ලියැවෙන්නේ 1998 වසරේදීය. ඒ මීට වසර 25 කට පෙරය. මේ වනවිට මුළු කර්මාන්තශාලාවේම සේවකයන් 75 ක් පමණ සේවය කරන අතර ඒ සියලු සේවකයෝ ලාංකිකයෝ වෙති. 

මෙම කර්මාන්තශාලාවේ ප්‍රධාන වශයෙන් නිපදවනු ලබන්නේ 925 ගුණාත්මක තත්ත්වයෙන් උසස් රිදී ආභරණය. එමෙන්ම මෙම සමාගම මගින් ගානිමරියානෝ ඉන්ෆිනිටි කියන වෙළෙඳ නාමයෙන් සිහිවටන ආභරණ වර්ගයක් නිපදවයි. තමන්ගේ සමීපතමයන්ගේ මරණයෙන් පසු ඉතිරිවන මානව භෂ්මාශේෂ හෙවත් මිනී අළු මෙම ආභරණය ඇතුළේ බහා සිහිවටනයක් ලෙස ළඟ තබාගැනීමට හැක. මේ සඳහා උනන්දු වන්නෝ බොහෝ දෙනෙක් ඇමෙරිකා යුරෝපා රටවල විදේශිකයෝ වෙති. ඔවුහු තම පවුල්වල සමීපතමයන් මියගිය පසු ආදහනයෙන් ලබාගන්නා අළු රැස් කර ආභරණ සිහිවටන ආදී නොයෙක් දේ නිර්මාණය කර ළඟ තබාගන්නට පෙළඹෙති. මෙම ආභරණ සඳහා යුරෝපය, නෙදර්ලන්තය, ඇමෙරිකාව සහ ජර්මනිය යන රටවලින් හොඳ ඉල්ලුමක් පවතින බව කියයි. සියයට සියයක් නැනෝ තාක්ෂණය භාවිතයෙන් සාදන මෙම ආභරණ සහ සිහිවටන සාදා විකිණීමෙන් වසරකට ඩොලර් ලක්ෂ 15 ක විදේශ විනිමයක් මොවුහු මෙරටට ගෙන එති. ලංකාවේ පාරිභෝගිකයන්ගෙන් මේ සඳහා ඉල්ලුමක් නොමැති බවද එම සමාගම පවසයි.

ආර්.කේ.එස්. සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ රෝලන්ඩ් කාල්ච් ෂොයිබර් මහතාය. 1998 දී ලංකාවට පැමිණ ඇති ඔහු ජර්මන් ජාතිකයෙකි. 

''අපගේ නිෂ්පාදනවලදී 70% ක් අපනයනයට සහ 30% ක් දේශීය වෙළෙඳපොළට සැපයීමට අපිට ආයෝජන මණ්ඩලයේ අවසරය තිබෙනවා. ලංකාවේ මිනිසුන්ගේ විශ්වාස අනුව අපිට තවම එහෙම කරන්න අවස්ථාව ලැබී නෑ. අපට ඉල්ලීම් ලැබිලාත් නෑ. ලංකාවෙන් ඉල්ලීමක් ලැබුණොත් බද්දක් ගෙවා ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්.” යැයි පැවසූයේ ආර්.කේ.එස්. සමාගමේ අධ්‍යක්ෂ කවිතාංජනා මහත්මියයි.

ආර්.කේ.එස්. ආයතනයේ මෙවැනි සුවිශේෂී නිර්මාණ අතර පරම්පරා දෙක තුනක මියගිය සමීපතමයන්ගේ පවා අළු එකට තබාගත හැකි සිහිවටන මුදු ද පාරිභෝගික ඉල්ලීම මත නිර්මාණය කරදීම සිදු කරයි. ඒ වගේම පෙන්ඩනය සහිත මාල නිර්මාණය කිරීමේදී පාරිභෝගික ඉල්ලීම මත වඩාත් නිර්මාණශීලී කර්තව්‍යයන් සිදු කරයි. එනම් මාලයේ පෙන්ඩනයේ පිටු 900 ක පමණ ශුද්ධ වූ බයිබලයේ කොටස් මෘදු කොපියක් ලෙස නැනෝ තාක්ෂණය ආධාරයෙන් ඇතුළත් කර එය කන්නාඩියක් ආධාරයෙන් කියවිය හැකි ලෙස සකස් කර ලබාදීම ආනන්දයෙන් ප්‍රඥාවට යන විද්‍යාවේත් කලාවේත් අග්‍රඵලයක් මුර්තිමත් කරන්නේය. 

මහකොළඹ ආර්ථික කොමිසම සහ විදේශීය ආයෝජන උපදේශන කමිටුව යන ආයතන ඒකාබද්ධ කරමින් 1978 දී ඇරඹි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට මේ වනවිට වසර 45 කි. ආයෝජන සමාගම් 1600 කින් සමන්විත මේ හරහා 485,000 කට පමණ රැකියා ලබාදීම සිදු කර ඇත. අපනයන විවිධාංගීකරණය යටතේ ආයෝජකයන් දිරිගැන්වීමත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ සහාය ලබාදීමත් ජාතික ආර්ථිකය නංවාලීමේ කාර්යයට පිටිවහලක් වන්නේය. මෙරට ප්‍රථම අපනයන සැකසුම් කලාපය වනුයේ කටුනායක ආයෝජන කලාපයයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කටුනායක ආයෝජන කලාපය විවෘත කරමින් පැවසූයේ මාගේ රජයේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රැකියා සම්පාදනය කියාය. මෙවැනි නිර්මාණශීලී කර්මාන්ත හරහා අද තරුණ තරුණියන් භුක්ති විඳිනුයේ එකී දුෂ්කර ව්‍යායාමයේ අග්‍රඵලය නොවේදැයි සැකසහිතය.

“විදේශ ආයෝජනයක් ලෙස නැනෝ තාක්ෂණය යොදාගනිමින් පෞරාණික වටිනාකමක් ඇති කර්මාන්තයක් ජාත්‍යන්තරයට ගෙන යාම සම්බන්ධයෙන් ආර්.එස්.කේ. සමාගම පැසසිය යුතුයි.”

එසේ පැවසූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මියයි.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට ඇත්තේ වසර 3000 කට වැඩි ඉතිහාසයකි. මිනිස් සිරුරේ කාබන්වලින් ආභරණ සාදන කර්මාන්ත ශාලා ද ලෝකයේ තිබේ. ස්විට්සර්ලන්තයේ ක්හර් (Chur) නගරයේ පිහිටා ඇති ඇල්ගොඩැන්සා (Algordanza) ආයතනයත් මෙවැනිම කර්මාන්ත ශාලාවකි. මෙය ආරම්භ කර ඇත්තේ 2004 වසරේදීය. එම ආයතනය මගින් රුසියානු තාක්ෂණය උපයෝගී කරගෙන මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ හෙවත් මිනී අළුවලින් දියමන්ති සාදයි. මිනිස් සිරුරේ කාබන් අඩංගු වන්නේ 18% ක් පමණය. එයින් ආදාහනයෙන් පසුව ඉතිරි වන්නේ 2% ක් පමණි. එම ආයතනය දියමන්ති සෑදීමට යොදාගන්නේ එලෙස ඉතිරිවන කාබන් ප්‍රමාණයයි. එම කාබන් දැඩි පීඩනයකට සහ තාපයකට ලක්කර තැබීමෙන් මෙම ආභරණ සාදයි.

විෂ්ණු දෙවියන්ගේ පාදයෙන්ද, මහා බ්‍රහ්මයාගේ කමණ්ඩාලු භාජනයෙන්ද,  ඊශ්වරගේ ජටාවෙන්ද උපන් පරම පූජනීය ගංගා නම් නදියේ ගලා යන ජල ධාරාවේ හින්දූන් තම මියගිය ඥාතීන්ගේ මිනී අළු පා කිරීම පාරම්පරික සිරිතක් වන්නේය. එමෙන්ම ඇමේසන් වනාන්තරයේ වාසය කරන ගෝත්‍රිකයන් අතර වාරි ගෝත්‍රිකයන් එක් පිරිසකි. මේ කියන්නට යන්නේ ඔවුන්ගේ චාරිත්‍රයක් ගැනය. මෙය පාඨක ඔබට කුතුහලයකින් පිරි පිළිකුල් හැඟීමක් ජනිත කරවුවද එය වාරි ගෝත්‍රිකයන්ගේ චාරිත්‍රයක් වන්නේය. තම වරිගයේ අයකු මියගිය පසු දේහය ආදහනය කරන වාරි ගෝත්‍රිකයෝ එම මියගිය පුද්ගලයාගේ මිනී අළුවලින් සුප් එකක් සාදා සැමදාම පානය කරන්නට පුරුදුව සිටිති. වාරි ගෝත්‍රිකයන් එසේ කරනුයේ මළවුන්ට කරන ගෞරවයක් වශයෙන් සලකාය. කොයි රටේ එසේ වුවත් අපේ රටේ එහෙම නෑ කියන්න අමුතුවෙන් සාක්ෂි අවශ්‍ය නැත. මිනී අළු නැතත් ලිපෙන් ගත් අළු දැමූ මුට්ටියකටත් පරම්පරා දෙක තුනක් භේද බින්න කරවා සමූල ඝාතන කරවිය හැකි තරමට මෙරට බොහෝ දෙනාගේ සිත්සතන්වල මිනී අළුවලට ඇත්තේ භයානක බියකි.

මෙරට කලා කෙතේ අමරණීය වූ රෑස්ස වෘක්ෂයක් වූ මහා ගාන්ධර්වයකු මියගිය පසු ඔහු නමින් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ අසපුවක් නිර්මාණය කිරීමටත් එහි කොටසක ඔහුගේ ආදහනයෙන් ලබාගත් භෂ්මාවශේෂ තැන්පත් කිරීමටත් යෝජනා විය. බොරුල්ලේ පෞද්ගලික මල් ශාලාවක තිබූ භෂ්මාවශේෂ අසපුවෙහි තැන්පත් කිරීමට වසර ගණනාවක් ගතවිය. කිසිවක් නොකියමි. සිතන්නට බොහෝ දේ ඉතිරි කරමි. 

අප සිටිනුයේ පෝලිම් යුගයේ නවතම පෝලිම වන අස්වැසුම පෝලිම් යුගයකය. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මිත්‍යාව පසෙක දා බුද්ධියෙන් බැලුවහොත් රැකියා විරහිත සමාජයකට මෙවැනි නිර්මාණශීලී රැකියා දස දහස් ගණනක් මේ මහ පොළොවේ උපදිනු ඇත.

I සසංක චලන ගිම්හාන

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02