ආර්ථික බංකොලොත්භාවය පසුගිය කාලය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ කරුණකි. ශ‍්‍රී ලංකාව 2021 වසරේ අප්‍රේල් මාසයේ මැද විදේශ ණය ගෙවාගත නොහැකි බව ප‍්‍රකාශයට පත් කළ අතර ණය ආපසු ගෙවන ක‍්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්කරුවෝ ඉදිරිපත් වූහ. දේශපාලන පර්වර්තනය, ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා ණය ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසය වනවිට බංකොලොත්භාවය අවසන් වනු ඇති බව ආණ්ඩුවේ ප‍්‍රධානීහු දැනට ප‍්‍රකාශ කරමින් සිටිති. දෙස් විදෙස් සහාය ඇතිව කරන ලද වෙනස්කම් හේතු කොටගෙන වහාම නැගී සිටින තත්ත්වයකට පත්වීම විශාල ප‍්‍රගතියකි.
2022 හා 23 යන වසර දෙක තුළ ආර්ථිකය 10% ක ඍණ අගයකින් පහතට වැටෙන බව ප‍්‍රකාශ වී තිබේ. පසුගිය අවුරුද්දේ ඍණ 7.4% ක වාර්තාගත පිරිහීමක් සිදුවිය. උද්ධමන වේගය අඩු වී ඇති නමුත් අර්බුද කාලයේ ලක් වූ පිරිහීම ආපසු හැරී නැත. පසුගිය මාසයට සාපේක්ෂව උද්ධමන වේගය අඩු නමුත් විශාල වශයෙන් මිල ඉහළ ගිය භාණ්ඩ හා සේවා ආපසු පැරණි තැනට පැමිණ නැත. බංකොලොත්භාවය අවසන් බව නිවේදනය කරන්නට ඉක්මන් වීම තුළ මෙම පසුබිම සිහිපත් කළ යුතුය.
බංකොලොත්භාවය ප‍්‍රකාශ කිරීම
ආර්ථික බංකොලොත්භාවය ප‍්‍රකාශයට පත්කිරීම කිසිසේත් වාසි සහගත තීරණයක් නොවේ. ව්‍යාපාරික ආයතනයක්, සමාගමක් හෝ පුද්ගලයකුට බංකොලොත්භාවය ප‍්‍රකාශ කිරීම සඳහා අධිකරණ තීරණයක් අවශ්‍ය කෙරේ. මෙහිදී ණය ගෙවිය නොහැකි බව ප‍්‍රකාශ කළ හැක. බංකොලොත්භාවය ප‍්‍රකාශ කරන ලද ආයතනයක හෝ පුද්ගලයකුගෙන් අයවිය යුතු ණය ලබාගැනීම සඳහා අධිකරණ ක‍්‍රියාමාර්ග අනුගමනය කළහොත් නඩු විභාගයක් අවසානයේදී අනිවාර්යයෙන්ම ගෙවන්නට සිදුවේ. අයකර ගැනීම සඳහා දේපළ පවා අත්පත් කර ගැනීමේ බලය අධිකරණයට ඇත.
ආර්ථික අර්බුදයකට ලක් වූ ආර්ජන්ටිනාව ණය ගෙවිය නොහැකි බව ප‍්‍රකාශ කළ පසු ඇමෙරිකාවේ ආයතනයක් අය කරගත යුතු ණය සඳහා නඩු පවරන ලද අතර වත්කම් අත්පත් කර ගැනීමට බලය පවරන ලද සිද්ධියක් ඉතිහාසයේ ඇත. ආර්ජන්ටිනා ගුවන් යානයක් ඇමෙරිකාවේදී අත්පත් කරගත් ණය හිමියන් තම මුදල් ආපසු ගෙවන තෙක් ගුවන් යානය මුදා හැරියේ නැත.
ඕනෑම පුද්ගලයකු, ආයතනයක් හෝ රටක ණය ගැනීම කෙළවර කර ඒවා ආපසු ගෙවිය යුතු අතර ගිවිසුම පරිදි ගෙවීම අත්හැර දැමුවහොත් ජාත්‍යන්තර අධිකරණයේ පවා නඩු පැවරිය හැක. හෙජිං ගිවිසුම අධිකරණ තීරණයක් අනුව තනි තීරණයට නතර කරන ලද ශ‍්‍රී ලංකාවට එම ගිවිසුමට අනුව ගනුදෙනු පියවන්නට සිදුවූ අතර පොලිය හා නඩු ගාස්තු ද ගෙවා දැමීය. ඛනිජ තෙල් සංස්ථාවේ අලාභවලට ඒවා ද ඇතුළත්ය. අද මිල සූත‍්‍රයකට අනුව තෙල් මිලට ගෙවන ජනතාව හෙජිං වන්දි ද ගෙවමින් සිටින බව මතක් කළ යුතුය. ශ‍්‍රී ලංකන් ගුවන් යානා ඇණවුම අවලංගු කිරීම, පෝට්සිටි තාවකාලිකව නතර කිරීම, සැහැල්ලු දුම්රිය සේවය අවලංගු කිරීම යනාදී සෑම අවස්ථාවකම ශ‍්‍රී ලංකාව අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවා ඇත. දැනට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට ආණ්ඩු ගණනාවක් ගත් එම තීරණවල බලපා තිබේ.
සැප්තැම්බර් වනවිට දැකිය හැකි කෙළවර
ශ‍්‍රී ලංකාව දැනට ගත කරමින් සිටින්නේ ලැබෙන ආදායමෙන් යැපෙන තත්ත්වයකි. ණය ගෙවීම පසුවට කල් තබා ඇති අතර ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ ආකාරයේ සහනාධාර පිරිනමා ඇත. ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව වැනි රටවල් ආධාර කර තිබේ. ඉන්දියාව ලබාදුන් ආධාර ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්න අතර ඉන්ධන මිල දී ගැනීම, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පහසුකම් සපයන ලද අතර ඒෂියන් ක්ලියරිං අනුව ඉන්දියාවට ගෙවිය යුතු ආනයන වියදම් පවා ණයවලට හරවා ඇත.
ඉදිරි මාස කිහිපය තුළ ණය ගෙවීම ආරම්භ කරන අතර පුරුදු පරිදි විදේශ වෙළෙඳාම ලිහිල් කළහොත් බංකොලොත්භාවයේ තරම දැකගත හැකිවනු ඇත. විනිමය සඳහා පනවන ලද සීමා අනුව තාවකාලිකව ශක්තිමත් කරගත හැකි වූ ඩොලර් අනුපාත ණය ගෙවීම ආරම්භ කළ පසු නැවතත් අගය අඩුවිය හැකිය. පොලී අනුපාත ඉහළ යන්නට ඉඩ තිබේ. පනවන ලද බදු ගෙවන ජනතාවට විදුලිය ඛනිජ තෙල් ඇතුළු සියලු අංශවල වියදම ඉහළ නැග ඇති හෙයින් ලබන නොවැම්බර් අයවැය මගින් සහන අපේක්ෂා කිරීම වැළැක්විය නොහැක. සැප්තැම්බර්වලදී බංකොලොත්භාවයෙන් ගැලවෙන නමුත් නැවතත් නොවැම්බරයේදී අයවැය පියවා ගැනීමේ බරපතළ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවේ.
මෙම අවදානම වළක්වන්නට උත්පාදනය නැංවිය යුතුය. කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන්නට ඉඩ දී නිෂ්පාදන වැඩි කිරීම අවශ්‍ය කෙරේ. ශ‍්‍රී ලංකාවේ මූලික ප‍්‍රශ්නය විදේශ විනිමය හිඟය බව පැහැදිලි අතර විනිමය ඉපයීම ඉලක්ක කර අපනයනය දිරිමත් කළ යුතුව ඇත. සංකීර්ණ ගැටලුවලින් මිදෙන බව දක්වන ආණ්ඩුව ඉදිරි පැවැත්ම සඳහා ගෙන ඇති පියවර කුමක්ද?
මෙහෙම වැටුණු රටවල් අද!
පසුගිය වසර දෙසියක කාලය තුළ යුරෝපා රටවලින් හරි අඩක්, අප්‍රිකානු කලාපයේ රටවලින් 40% ක් හා ආසියානු කලාපයේ රටවලින් 30% ක් බංකොලොත්භාවය වරින් වර ප‍්‍රකාශයට පත් කර ඇත. ඉක්වදෝරය දහ වතාවක් බංකොලාත් බව ජාත්‍යන්තර ප‍්‍රජාවට ප‍්‍රකාශ කර තිබේ. බ‍්‍රසීලය, මෙක්සිකෝ, උරුගුවේ. චිලී. කොස්ටාරිකා, ස්පාඤ්ඤය, සහ රුසියාව යන රටවල් මෙම සියවස් දෙක තුළ නම වතාවක් බැගින් බංකොලොක්භාවය ප‍්‍රකාශයට පත් කරන ලද බව සඳහන් කළ යුතු කරුණකි. ජර්මනිය වසර දෙකහමාරක් තුළ අට වතාවක් බංකොලොත් වීමද සැලකිය යුතු කරුණකි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය හා ජපානය ද මෙම තත්ත්වයට පත් වූ අතර ලෝකයේ රටවල් අතර වැටීම් හා නැගිටීම් සාමාන්‍ය බව මෙයින් හඳුනාගත හැක.
ආර්ථික විද්‍යාව අනුව පහතට වැටුණු රටක් ප‍්‍රතිසංස්කරණවලින් පසු නැවත යථා තත්ත්වයට පත් කළ හැක. නමුත් මෙම ප‍්‍රතිසංස්කරණ යූ හැඩයේ හා වී හැඩයේ ආර්ථික නැග්මකට හේතුවන බවද මතක් කිරීම වැදගත් වනු ඇත. යූ හැඩයේ ආර්ථික නැගිටීම්වලදී ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාදය, තීරණ නිසි පරිදි නොගැනීම ඇතුළු කරුණු මත ආර්ථිකය බිඳ වැටීමෙන් ජනතාවට එල්ලවන පීඩනය දිගු කාලයක් පවතී. වැටීම යම් කාලයක් එසේ පවතින අතර පසුව වර්ධනයක් සිදුවේ. වී හැඩය අනුව වැටුණු වේගයෙන්ම නැවත නැගී සිටී. වේදනාව දරන්නට සිදුවන කාලයක් නැත. ප‍්‍රතිපත්ති සම්පාදකයන්, ආණ්ඩුවේ වගකිව යුතු අංශ දුබලතා සලකා බලා නිසි විසඳුම් වේගයෙන් හඳුන්වා දෙන අතර එහිදී වර්ධනයක් සිදුවේ. ආයෝජන අවස්ථා ලැබේ.
සැප්තැම්බර් මාසයේ බංකොලොත්භාවයෙන් ගැලවෙන්නට තරම් තද තීරණ ඉක්මනින් ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේද? එයට අවශ්‍ය දේශපාලන බලය රටට පවතින බව කිව හැකිද? ජනාධිපතිවරයාගේ උපායශීලීත්වය රහිතව අද පවතින පාර්ලිමේන්තු බහුතරය ආරක්ෂා කර ගැනීම කිසිසේත් පහසු ක‍්‍රියාවක් නොවේ.
එකතුව හා එකමුතුව කියා දෙන වැදගත් පාඩම්
අර්බුදය කළමනාකරණය කිරීමේදී ආණ්ඩුවේ දක්ෂතාවයට වඩා විපක්ෂයේ සහයෝගය ඉතාම වැදගත්ය. ශ‍්‍රී ලංකාවට ණය ගෙවාගත නොහැකි වීම ආණ්ඩුවක නොව රටක වරදක් බව සඳහන් කළ යුතු වේ. පවතින ආණ්ඩුව හෝ පැවැති ආණ්ඩුව පමණක් නොව නිදහස ලැබූ දිනයේ සිට කරන ලද වැරදිවල ප‍්‍රතිඵලය බංකොලොත්භාවය වශයෙන් රට ඉදිරියේ කඩා වැටිණ. අලුතින් ආණ්ඩුවක් බලයට පත් කර ඔවුන්ගෙන් විසඳුම් ගැනීම වෙනුවට මහජන නියෝජිතයන් එකතු වී උත්තර සෙවීම මෙහිදී වැදගත්ය.
මෑත කාලය තුළ රජයේ ආයතනයක් පෞද්ගලීකරණය කළහොත් එයට විශාල විරෝධයක් ඇත. ටෙලිකොම්, ශ‍්‍රී ලංකන් සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය එබඳුය. අධික පාඩු හෝ කාර්යක්ෂමතාවයෙන් ඉහළට ගෙන එන පසුබිම තුළ එහි ප‍්‍රතිලාභ රටට ලැබේ. ජනතාවට හිස ඔසවන්නට අවස්ථාවක් හිමිවේ. බංකොලොත්භාවයෙන් ගැලවෙන්නට හැකිවේ. තමන්ගේ ආණ්ඩුවකින් රට දියුණු කරන්නට බලා සිටින පක්ෂ දේශපාලනය රටට ඉතිරි කරන වාසිය පැහැදිලි නැත. අස්වැසුම සහන ක‍්‍රමය තුළ විශාල වරදක් තිබිය හැක. සුදුසු පිරිස අත්හැර දමා ඇති බව පෙනේ. රටට කියන්නට කලින් පාර්ලිමේන්තුවේදී එකඟ නොවීම ප‍්‍රශ්නයකි. විශ‍්‍රාම වයස වෙනස් කළ පසු, දේශීය ණය ප‍්‍රතිංස්සකරණය කරන අතරවාරයේ නැගී ආ විවේචන අවසානයේදී රටට තවත් සංකීර්ණ ගැටලු ඇති කර තිබේ.
බලයට පත්වන සෑම නායකයෙක්ම රට හදන්නට එකතු වන හා එකමුතු වන සේ ඉල්ලයි. එම ඉල්ලීම් අවංක ද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. බලයට පත්වූ දිනයේ සිට ඉල්ලීම්, බලකීරීම්, වැඩවර්ජන තුළින් පාලකයන්ට ඇති කරන ප‍්‍රශ්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වෙනම හිතන්නට ඉඩ සලසයි. රටට අවශ්‍ය කරන බව දක්වා අරගලයේදී බල කරන ලද සිස්ටම් චේන්ජ් යන්න ගැන පැහැදිලිව තීරණ ගත යුතුව තිබේ. වෙනසක් ඉල්ලන නමුත් වෙනස ඇති කරන්නට ඉඩ නොදීම සංකීර්ණ තත්ත්වයකි.
I සාරා කන්දෙගොඩ