2023 ජුලි 08 වන සෙනසුරාදා

මහ මුහුද මැද පෙරළුණු බෝට්ටුවේ පැය 05 ක් එල්ලී දිවි බේරාගත් ධීවරයෝ

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 203

කළුතර කටුකුරුන්දේ බෝට්ටු අනතුර මෙරට සිත්සතන්වල පැලපදියම් වූ අමතක නොවන මතකයක් වෙයි. එයට හේතුව එය සාමාන්‍ය අනතුරකටත් වඩා බරපතළ ඛේදවාචකයක් වීමය. එය අවසන් වූයේ බෝට්ටුවක ගමන් ගත් 12 දෙනකුට ජීවිත අහිමි කරවමින් 33 දෙනකු රෝහල් ගත කරවමිනි. ධීවර යාත්‍රා මුහුදේ ගිලී අතුරුදන් වීම ඉන්දියාවේ සාමාන්‍ය සිදුවීමක් වුවත් අපේ රටේ එය කලාතුරකින් සිදුවන සිදුවීමකි. මේ කියන්නට යන සිදුවීමේ විශේෂත්වය වගේම බිහිසුණු බව පසක් වනුයේ එය සාමාන්‍ය අනතුරකට වඩා බිහිසුණු වීමයි.  

රටට බත සපයන ගොවියා වගේම මත්ස්‍ය සම්පත මෙරට පාරිභෝජනයට සපයන ධීවරයා දහසකුත් අභියෝග මැද ඉටුකරන මෙහෙය සුළුකොට තැකිය නොහැකිය. අභියෝග රුසක් මැද ඔවුහු සිය ජීවිකාව ගෙන යති. ඔවුන් මුහුදු ගොස් රුකියාව කර නැවත පැමිණෙන තෙක් ඔවුන්ගේ දරුමල්ලෝ මුහුද දෙස බලා සිටිති. මහමග අනතුරක් කරදරයක් වුවහොත් උදව්වට හව්හරණට කවුරුන් හෝ අපට සොයාගත හැකිය. එහෙත් මහ සයුර මැද දිවි ගෙවන ධීවරයන්ට යම් අනතුරක් වුවහොත් ඔවුන්ට සහාය ඉල්ලීමට සිටින්නේ දෙවියන් පමණකි. අප මේ කියන්නට යන්නේ ධීවර පිරිසකට මහ සයුර මැද දෙවියන් හමුවුණු සිද්ධියක් පිළිබඳ කතාවකි. 

තංගල්ල ධීවර වරායේ බෝට්ටුවකට මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවූයේ මෑතකදීය. ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය තංගල්ල පරාක්‍රම පාරේ පදිංචි ඒ.ඒ. චමිල් රොෂාන් ප්‍රියන්තට අයත් එක්දින යාත්‍රාව මුහුද මැදදී අනතුරකට ලක්වූයේ ඉකුත් 29 වැනිදාය. සැතපුම් 17 ක පමණ දුරකින් මහ මුහුද මැදදී මසුන් ඇල්ලීමට දැල් එලද්දී යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්විය. දෝෂයට ලක් වී මුහුද මැද නතරව තිබූ යාත්‍රාව දියවැලකට හසුවූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙනි. දියවැලකට හසුවී යාත්‍රාව පෙරළුණේ ඒ වනවිට යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනාවද මුහුදේ ගිල්ලවමිනි. 

මසුන් ඇල්ලීම සදහා යාත්‍රාවේ ගමන් කරමින් සිටියේ තංගල්ල පදිංචි 48 හැවිරිදි ජේ.ඒ. ප්‍රදීප් ප්‍රියංක නමැති ධීවරයකු සහ 40 හැවිරිදි ප්‍රසාද් චමින්ද කුමාර නම් ධීවරයෙකි. මේ වනවිට වේලාව අලුයම 12 පසුවී මිනිත්තු 30 ක් පමණ ගෙවී අවසන්ය. අනතුර පිළිබඳව බෝට්ටුවේ හිමිකරුට දැනුම් දෙන්නට ධීවරයන් දෙදෙනා කටයුතු කළ අතර හිමිකරු පවසා ඇත්තේ බේරාගැනීමට තවත් බෝට්ටුවක් රුගෙන තමා පැමිණෙන බවයි. එහෙත් එසේ කියා වැඩි වේලාවක් ගතවන්නට ඉඩ නොතබමින් දියවැලකට හසුව බෝට්ටුව පෙරළිණි. දියවැලට හසුවූ ධීවර දෙදෙනා මුහුදේ එහා මෙහා විසි වී ගියේ කිසිවක් සිතාගත නොහැකිවය. පෙරළුණු බෝට්ටුව අසලට අමාරුවෙන් පීනාගෙන විත් එහි කොටසක් තනි අතකින් අල්ලාගන්නට ධීවර දෙදෙනා සමත් වූයේ ඉන්පසුවය. මුහුදේ බියකරු රුලි නගන හඬ පමණක් ඇසෙයි. ගොම්මන් යාමයේ ධීවර දෙදෙනා තනි අතකින් බෝට්ටුවේ එල්ලී සිටියේ පැය පහකට අධික කාලයක් ජීවිතයත් මරණයත් අතර මාරක සටනක් කරමිනි. උදෑසන 7 පමණ වනවිටත් ඔවුන් බේරාගැනීමට කිසිවකු නොමැතිව බෝට්ටුවේ එල්ලී සිටින්නට ඔවුන්ට සිදුවිය. 

ජීවිතය ගැන තිබූ අවසාන බලාපොරොත්තුවත් නැතිවීමට ඔන්න මෙන්න තිබූ වේලාවක දුරකින් යම් එළියක් දිස්වූයේ අපේක්ෂාවේ දෑස් දල්වමිනි. ඒ වික්‍රම 02 කියන බහුදින යාත්‍රාවය. එය මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවකි. වික්‍රම 02 කියන යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවර පිරිස ඒ වනවිට ගොඩබිම බලා එමින් සිටියහ. බෝට්ටුවක් අල්ලාගෙන මුහුදේ පාවෙමින් සිටින දෙදෙනා දැක වික්‍රම යාත්‍රාවේ ධීවරයන් ඉදිරිපත් වී එම ස්ථානයට ගොස් ධීවර දෙදෙනාගේ දිවි බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දරා තිබිණි. 

“මේ සිද්ධිය වුණේ 30 වැනිදා උදේ 7 ට විතර. අපි මාළු අල්ලාගෙන එන අතරමගදී  බෝට්ටුවක් පෙරුලී දෙන්නෙක් මුහුදු රළ සමඟ පොර බදමින් සිටිනවා අපි දැක්කා. අපි ඒ බෝට්ටුවට ළං කළා. අපේ කෙනෙක් මුහුදට පැන්නා. එහෙම පැනලා මුහුදේ ගිලෙමින් සිටි ධීවරයන් දෙදෙනාට කඹයක් විසි කළා. ඒ කඹය අල්ලාගෙන දෙන්නාවම අපේ යාත්‍රාවට නංවාගන්න ලොකු මහන්සියක් ගන්න වුණා. අපිට ඒ දෙන්නාවම බේරාගන්න ලැබීම සතුටක්.”  

රුදුරු දල රළ පෙළ ගැන ධීවරයෙක් එදා බිහිසුණු මතකය අවදි කළේ එසේය. එලෙස බේරාගත් ධීවරයන් දෙදෙනා එදිනම තංගල්ල ධීවර වරායට රැගෙන එන්නට ධීවරයෝ කටයුතු කළහ.

“30 වැනිදා අලුයම 1 ට විතර බෝට්ටුවෙන් මට ඇමතුමක් ආවා බෝට්ටුව මුහුද මැද කැඩුණා කියලා. ඊටපස්සෙ මම ඒ ගැන නාවික හමුදා හදිසි ඇමතුම් අංශයටයි, ධීවර කාර්යාලයටයි දැන්වුවා. මම මෙහෙන් බෝට්ටුවක් ලෑස්ති කරගෙන යන්න හදනකොට ඇමතුමක් ආවා මිරිස්සේ බෝට්ටුවකින් අපේ දෙන්නාව බේරගෙන එනවා කියලා. ඒත් ගිලු‍ණු බෝට්ටුවත් එන්ජිමත් ගොඩගන්න බැරිවුණා. දැල් ආම්පන්න එක්ක මුළු අලාභය රුපියල් ලක්ෂ 20 ක් විතර ඇති.”

තමන්ට වූ පාඩුව සම්බන්ධයෙන් බෝට්ටුවේ හිමිකරු වූ ඒ.ඒ. චමිල් රොෂාන් ප්‍රියන්ත පැවසුවේ එලෙසය. 

මෙලෙස දියවැලක් ඉදිරියේ මහ සයුර තරණය කරමින් පැය 5 ක් බෝට්ටුවේ එල්ලී මහා සංග්‍රාමයක් සිදු කර නැවත මේ ගොඩබිමට පැමිණෙන්නට මෙම ධීවර දෙදෙනා වාසනාවන්ත වූහ.

I සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02