මේක දරාගන්න බෑ: - කුඩා තේ වතු හිමියෝ
ඔය කියන තරම් වැටීමක් නෑ: - කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ හිටපු සභාපති
ශ්‍රී ලංකාව තුළට අපනයන ආදායම රැගෙන එන කර්මාන්ත අතරින් තේ කර්මාන්තයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. වාර්ෂිකව ඩොලර් මිලියන ගණක් රට තුළට රැගෙන එන තේ කර්මාන්තය ගෙවී ගිය වසර කිහිප තුළ අභියෝගය රුසකට මුහුණ පෑවේය. එකක් පසුපස එකක් ලෙස පැමිණි අර්බුද ඊට හේතුවයි. ඉකුත් සතියේ එම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන බව පෙනී ගියේය. ඊට හේතුව වූයේ තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් පහත වැටීමයි.
රුපියලේ අගය ඉහළ යාම ප්‍රමුඛව තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම යන හේතූන් මත මෙලෙස මිල පහළ වැටීම සිදුව ඇති බව කර්මාන්ත ශාලා හිමියෝ සඳහන් කරති. ඒ අනුව සාමාන්‍ය කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ පරිමාවක පැවති තේ මිල පසුගිය සතිය වනවිට රුපියල් 1000ක පමණ අගයක් ගෙන ඇතැයි වර්තා විය.
ඊට සාපේක්ෂව තේ දලු කිලෝවක මිල පහළ වැටී තිබුණි. ඒ අනුව පසුගිය මාසවල රුපියල් 250ක, රුපියල් 260ක පමණ අගයක පැවති අමු තේ දලු කිලෝවක මිල රුපියල් 165ක පමණ අගයක් දක්වා පහළ වැටී තිබුණි. කෙසේ වෙතත් විවිධ ප්‍රදේශවල මෙය තවදුරටත් පහළ වැටී ඇති බවද වාර්තා පළවූ අතර රුපියල් 150ට වඩා අඩු අගයක් අමු තේ දලු කිලෝවක් සඳහා සටහන් විය.
රුපියල ශක්තිමත් වීම මත ඩොලරයෙන් ආදායම් ලබන තේ කර්මාන්තය මෙවන් ගැටලුවකට මැදිව ඇති බව කර්මාන්තයේ නියුතු ප්‍රජාව පෙන්වා දෙයි. කෙසේ වෙතත් අපනයනයකරුවන්ගේ සිට කර්මාන්ත ශාලා හිමියන්, මහා පරිමාණ සහ කුඩා පරිමාණ වතු හිමියන් දක්වා මෙම ගැටලුව විවිධ විසිර පවතී.
ඒ අතරිනුත් මේ හරහා ප්‍රබල ලෙස බලපෑමට ලක්වී ඇත්තේ කුඩා තේ වතු හිමියන් බව කියැවේ. ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසීමට කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා සම්බන්ධ කරගතිමු.
''අපේ රටේ අමු තේ දලු නිපදවන කුඩා තේ වතු හිමියන් ලක්ෂ 5කට වඩා සිටිනවා. ඔවුන් වටා සෘජුව සහ වක්‍රව සපයන ලක්ෂ 25කට වඩා වැඩි ජනතාවක් සිටිනවා. අමු තේ දලු මිල කඩාවැටීම මෙම කර්මාන්තයට ඉතා බරපතළ ප්‍රශ්නයක්. අපිට මතකයි මීට මාස කිහිපයකට ඉහත, ඩොලරය ඉහළ යාමත් ලෝකයේ පැවති විවිධ තත්ත්වයෙනුත් එක්ක තේ මිල ඉහළ ගියා. රුපියල් 400ක් පමණ වෙන තෙක් ඉහළ ගියා. නමුත් අද වෙනකොට අපේ තේ දලු කිලෝවක මිල රුපියල් 150–100 දක්වා පහත වැටිලා. මෙය කිසිසේත්ම කුඩා තේ වතු හිමියන්ට දරා ගන්න බෑ.''
පසුගිය කාලයේදී සිදුවූ මිල වැඩිවීම ආණ්ඩුවේ දක්ෂතාවයකින් සිදුවූවක් නොවන බව ලාල් ප්‍රේමනාත් මහතා වැඩිදුරටත් කියා සිටියි. බොහෝ කලක සිට ආණ්ඩු තේ කර්මාන්තය කෙරෙහි වගකීමෙන් මිදී කටයුතු කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. තේ අපනයන අතින් ශ්‍රී ලංකාවේ පසුගාමී වීමට හේතුව එය බව ඔහු කියා සිටියි. එසේම පසුගිය කාලයේ ඇතිවූ පොහොර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් තේ අස්වනු සැලකිය යුතු පරිමාවකින් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
''හරියට කළොත් මාසෙකට අක්කරයකින් කිලෝ 1000ක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් ඒක කිලෝ 150ත් 200ත් දක්වා කඩා වැටිලා තියනවා. පොහොර මිල අධික ලෙස වැඩි වුණා. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලින් ඉන්න මිනිස්සු අසරණ වෙලා හිටියෙ. යම්කිසි සහනයක් වුණේ තාවකාලික හේතු නිසා තේ මිල ඉහළ යෑම. තවදුරටත් මේ තත්ත්වය පවතින්නෙ නෑ. ඒ නිසා අපේ කර්මාන්තය විශාල වශයෙන් කඩා වැටෙනවා. මේ සඳහා ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෑ. මේ කර්මාන්තයෙන් උපයන මුදල්, කර්මාන්තයේ දියුණුවට වියදම් කරන්න ඕනෑ. මේ විදිහට ගියොත් වැඩි කලක් දරාගන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නෑ.''
තේ කර්මාන්ත ශාලාද පසුගිය සමයේ විදුලි ගාස්තු ඉහළයාම ඉන්ධන මිල ඉහළයාම ආදී අර්බුද හේතුවෙන් පීඩා විඳිමින් සිටියේය. නිෂ්පාදන වියදම් ඉහළ යාම සම්බන්ධ ඔවුහු දිගින් දිගටම මැසිවිලි නගන්නට වූහ. එහෙත් මේ දක්වා එම ගැටලු සඳහාද විසඳුම් ලැබී නොමැත.
මේ අතර මිල පහළ යාම පිළිබඳව කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න මහතාගෙන්ද අප තොරතුරු විමසා සිටියෙමු.
“තේ මිල බැහැලයි කියල කිව්වට, 2022 මාර්තු මාසේ තේ මිල වැඩිවෙන්න ඉස්සෙල්ලා තේ වෙන්දේසියේ මිල සාමාන්‍ය තිබුණේ රුපියල් 650යි. ඩොලර් එක රු.360ට රු.365ට ගියාම තේ මිල රුපියල් 1500ට විතර වැඩි වුණා. දැන් නැවතත් රුපියල් 1000ට විතර මිල පහළ වැටිලා තියෙනවා. රු.650ට සාපේක්ෂව ඒක වැඩියි. නමුත් ඩොලර් එක රුපියල් 365ට තිබුණ අවස්ථාවට වඩා ඒ මිල අඩුයි.''
ජයන්ත කරුණාරත්න පෙන්වා දෙන්නේ 2022 වසරේ ආරම්භයට සාපේක්ෂව තවමත් තේ වෙන්දේසියේදී ඩොලර්වලින් වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙන බවයි. ඩොලරයේ අගය වෙනස්වීම මත ලබන රුපියල් ප්‍රමාණය අඩු වුවද තවමත් තේ කිලෝවක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය සාපේක්ෂව යහපත් මට්ටමක පවතින බව ඔහුගේ පැහැදිලි කිරීම අනුව පෙනී යයි.
''තේ වෙන්දේසියේ මිල සාමාන්‍යයෙන් ඒ දවස්වල තිබුණු ඩොලර් ගාණට වඩා තාමත් වැඩියි. මෙතනට විදේශීය වෙළෙඳ පොළවල්වලින් බලපෑමක් ආව කියලා කියන්න බෑ. ඩොලර් අඩු වැඩිවීම හා සම්බන්ධ එකක් තමා මේක.''
කෙසේ වෙතත් රුපියල්වලින් මිල අඩුවීමට සාපේක්ෂව, කිසිදු වියදම් අඩු වීමක් සිදුව නොමැති බව කර්මාන්තයේ නියුතු බොහෝ පාර්ශ්ව පෙන්වා දෙයි. වතු හිමියෝ පොහොර මිල, කෘමිනාශක මිල, ශ්‍රමය සඳහා ගෙවන මිල ගණන් පිළිබඳ දිගින් දිගටම මැසිවිලි නගමින් සිටිති. අනෙක් පසින් කර්මාන්ත ශාලා හිමියෝ ඉන්ධන විදුලි ගාස්තු සහ නිෂ්පාදන පිරිවැය පිළිබඳ මැසිවිලි නගමින් සිටිති. මේ අයුරින් තේ කර්මාන්තය යම් අර්බුදයක් කරා ගමන් කරමින් පවතින බව පැහැදිලිය.
I චමිඳු නිසල් ද සිල්වා