රට තුළ නිර්මාණය වී ඇත්තේ චිකන් හොදියි, ලොසින්ජරයි වැනි එකිනෙක නොපෑහෙන සමාජ ආර්ථික වටපිටාවකි. පසෙකින් උද්ධමනය අඩුවන බවට වාර්තා පළවෙන අතරේ වෙළෙඳ පොළේ බඩු මිල අහස උසට නැග තිබේ. අඩුකළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ මාධ්‍යයේ පුවත් පළවන නමුත් පාරිභෝගිකයන්ගේ පොකට්ටුවට සහනයක් සැලසී නොමැත.
උද්ධමනය පිළිබඳ මෙම මස ආරම්භයේ නිකුත් වූ වාර්තාව දුටුවන් පිනා යන වාර්තාවක් වූ බව පළමුකොට සිහිපත් කළ යුතුය. ඒ අනුව කියැවුණේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සිදුකළ ගණනය කිරීම් අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2ක් වූ බවකි. එහෙත් ජූනි මාසය අවසානයේදී එය සියයට 12 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව කියැවුණි. සැබවින්ම මෙය සතුටුදායක තත්ත්වයකි.
ඊට අමතරව මැයි මාසයේ සියයට 21.5ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේදී සියයට 4.1ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා වාර්තා කර තිබුණි. මැයි මස සියයට 27ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේදී සියයට 16.2 දක්වාද පහත වැටී ඇති බව එම වාර්තාව අනුව හෙළිවිය.
ඉලක්කම් සංඛ්‍යාලේඛන අනුව නම් මෙම තත්ත්වයේ මෙරට ජන ජීවිතය කෙරෙහි සුභවාදී බලාපොරොත්තු දනවන්නක් වූ බව කිව යුතුය. එහෙත් යථාර්ථය ඊට ඉඳුරා වෙනස් බව මුළු රටම දනිති. නිෂ්පාදන සාධකවල මිල අඩුවීම පාරිභෝගිකන් වෙත ගලා නොයාම විපරීත ආර්ථික වටපිටාවක් අප රට තුළ නිර්මාණය වී තිබේ. බලධාරීන්ගේ මැදිහත් වීමට මත සැබෑවට මිල අඩු වූ භාණ්ඩ සහ සේවාවලට අදාළ සහනද අතරමඟ යම් පිරිසක් මංකොල්ල කන බව පෙනී යයි.
මේ සඳහා හොඳම උදාහරණය බේකරි නිෂ්පාදනයි. රුපියල් හයදහස ඉක්මවා ඉහළ ගිය ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහස් නවසීයේ සීමාව දක්වා පහත වැඩී තිබේ. පාන්පිටි, සීනි මිල ගණන්ද පසුගිය මාස කිහිප තුළ අවස්ථා ගණාවක් පහළ ගියේය. මෙම සියලු නිෂ්පාදන සාධක මිල අඩුවීම් බේකරි නිෂ්පාදන කෙරෙහි සෘජුව බලපෑ යුතුය. එහෙත් එවැන්නක් සිදුව නොමැත. කෙසේ වෙතත් මිල අඩුකිරීම පිළිබඳ දේශපාලන සහ වෘත්තීය සමිති නාටක නම් අපමණය.
පාන් බනිස් වර්ග සේම කොත්තු, ආප්ප ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල සැලකිය යුතු අඩුවීමක් වෙළෙඳපොළ තුළ නිරීක්ෂණ නොවේ. කනගාටුදායක තත්ත්වය නම් මෙම මිල අඩු නොකිරීම සාධාරණීකරණය කිරීමටද ව්‍යාපාරිකයන් මැලි නොවීමයි. එහෙත් සැබෑව මෙම පිරිස් පාරිභෝගියන් පෙර මිලට හුරුවී සිටින නිසා තමන්ගේ ලාභය ආරක්ෂා කරගත හැකි වෙතැයි සිතා සිටින්නෝය.
මෙහිදී කැමැත්තෙන් නමුත් සිහිපත් කළ යුත්තේ මෙම කූඨ ව්‍යාපාරිකන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් මෙරට පාරිභෝගික ආරක්ෂා නීතිය ශක්තිමත් නොමැති බවයි. පාරිභෝගික අධිකාරියට විවිධාකාර පාර්ශ්ව චෝදනා කරමින් සිටීම මීට කදිම නිදසුනකි. එහෙත් පසුගියදාක අප කළ විමසීමකදී පාරිභෝගික අධිකාරියේ නියෝජිතයකු අපට පැවසුවේ වෙනස්ම කතාවකි.
වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම මත මිල තීරණය වීමට අවකාශ ලබාදී ඇති ආර්ථිකයක් තුළ මිල නියාමනට එම අධිකාරිය සැබෑ බලයක් නොවේ. මිල දර්ශක ප්‍රදර්ශනය කිරීම වැනිදෑට සුළු බලපෑමක් කළ හැකි නමුත් මිල පාලනය කිරීමේ හැකියාවක් ඔවුන් සතු නොවේ. බොහෝවිට මෙම අධිකාරියේ නිලධාරීහු තමන් සතු සීමිත නෛතික මෙවලම් එහා මෙහා කරමින් වෙළඳ සාධාරණ පරිසරයක් නිර්මාණයට යම් උත්සාහයක් දරති. එහෙත් සැබවින්ම එය ප්‍රමාණවත් බලපෑම් නොවන බව ඔවුන්ද දනී.
මේ වනවිට සිදුවී ඇති මිල අඩුවීම්වලට සාපේක්ෂව නොවන නමුත් යම් යම් පරිමාණයන්ගෙන් භාණ්ඩ මිල අඩුවී ඇති බවද මෙහිදී පිළිගත යුතුය. එහෙත් ඒ කිසිවක් විධිමත් මිල අඩු කිරීම් නොවේ. බොහෝ මිල අඩු කිරීමට සිදුව ඇත්තේ වෙළෙඳුන්ගේ ගැලවිජ්ජාවටය.
මිල නියාමන ආයතනයක් ඕනෑ
රංජිත් විතානගේ - (සභාපති - පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරය)
''2003 අංක 9ය දරන පාරිභෝගික අධිකාරී පනත මේ තත්ත්වය පාලනය කරන්න මදි. ඒ නිසා අපි යෝජනා කරන්නෙ මේ භාණ්ඩවල නිෂ්පාදන සාධක මිල අඩුකරන අවස්ථාවල, පනවා ඇති බදු අඩුකරන අවස්ථාවල පාරිභෝගිකයන්ට ඒ ලාභය ලැබෙන සහන පිළිබඳ සුපරික්ෂාකාරී වෙන්න ආයතනයක් තිබිය යුතුයි. ඒක ආර්ථික කමිටුවක් වෙන්නත් පුළුවන්. වෙන ස්වාධීන ආයතනයක් වෙන්නත් පුළුවන්.
එහෙම නියාමන ආයතනයක් නිර්මාණය කරන්නෙ නැත්නම් මේ සම්බන්ධ පාලනක් ඇති කිරීමට සිදුකර ගන්නා පියවර බලධාරීන් පැහැදිලි කළ යුතුයි. නියාමන ආයතනයක් ස්ථාපිත කරන්න කියලා තමයි අපි යෝජනා කරන්නෙ.
සංඛ්‍යා ලේඛනවලින් උද්ධමනය කොච්චර අඩුවෙලා තිබුණත් අපිට වැඩක් නෑ. උද්ධමනයේ ඉහළම අගයක් තියලා පාරිභෝගිකයාට හොඳට ජීවත් වෙන්න පුළුවන් නම් අපිට කමක් නෑ. අපි මේ කියන්නේ පඩි වැඩිකරන්න කියලා නෙවෙයි. මේ තියෙන තත්ත්වය යටතේ ජීවත්වෙන්න බඩු මිල අඩු කරන්න.''
I චමිඳු නිසල් ද සිල්වා