විවාහය යනු දෙදෙනෙක් අතර වන ශාරීරික හා ආත්මීය බැඳීමකි. දෙදෙනකු විවාහ වන්නේ බොහෝ අපේක්ෂාවන් හිත තබාගෙනය. ජීවත්වන කාලය පුරා දෙදෙනා එක්ව සිටින්නට ඔවුහු අදිටන් කර ගනිති. එහෙත් දිගු කාලයක් එක්ව ජීවත්වන්නට ගත් තීරණය විවිධ නොගැලපීම් මත වෙනස් කිරීමට සිදුවන අතර එවිට සිදුවන්නේ නීතියෙන් වෙන්වීම හෙවත් දික්කසාදයයි. දික්කසාදය බොහෝවිට සම්බන්ධතාවයක අවසානය සනිටුහන් කරන අතර, එය වැඩිහිටියන්ට පමණක් නොව දරුවන් කෙරෙහිද බලපාන්නකි.
1907/19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ 13 වැනි වගන්තිය යටතේ දික්කසාදය ලබාගැනීම සඳහා සනාථ කර පෙන්විය යුතු අවස්ථා 3කි. 1.අනාචාරය (Adultery), 2. ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion) (මෙය සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම සහ අනුමිත ද්වේශ සහගත අතහැර යාම යනුවෙන් අවස්ථා දෙකකි), 3. සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාව (Incurable impotence) එම කරුණු තුනයි.
විවිධ හේතූන් මත විවාහකයන්ට දික්කසාද වීමට අවශ්‍ය වුවද වර්තමානයේ පවතින දික්කසාද නීතියේ සංකීර්ණතාවය හේතුවෙන් දික්කසාදය ලබා ගැනීම සඳහා බොහෝ කාලයක් ගතවේ. විවාහය තුළ තවදුරටත් රුඳී සිටින්නට අවශ්‍ය නොමැති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර ඇත්තේ එහෙයිනි. දික්කසාද නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට කමිටුවක්ද මේ වනවිට පත්කර ඇතැයි වාර්තා වේ.
''දික්කසාද නීති සංශෝධනය අනුව විවාහක යුවළට තවදුරටත් එක්ව ජීවත්වීමට අනවශ්‍ය නම් හෝ අතහැර දමා ගොස් තිබේ නම් ඒ පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැකියි. එමෙන්ම දෙපාර්ශ්වයේම විවිධ සබඳතා, නොගැලපීම්, පිළිබඳවද මෙහිදී සලකා බලනවා. නොයෙකුත් හේතූන් මත දික්කසාද වීමට අවශ්‍ය විවාහකයන්ට සිය කැමැත්තෙන් දික්කසාද ලබාගැනීමට හැකිවන අයුරින් නීති සකස් කරනවා'' යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
නව නීති සංශෝධනය සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ නීතීඥ නිරෑපා සේරසිංහ මහත්මිය:
''අපේ රටේ පවතින දික්කසාද නීතිය සංශෝධනය විය යුතුය යන්න කාලයක සිට කතාබහට ලක්වුණා. දැනට පවතින දික්කසාද ක්‍රියාවලිය සංකීර්ණ සහ දීර්ඝ එකක්. අතීතයේ දික්කසාදය වෙත යොමුවුණේ ඉවසලා ඉවසලා බැරිම තැන තවදුරටත් එකට ජීවත් විය නොහැකි යැයි වැටහී ගියාට පසුවයි. වර්තමානයේ එම තත්ත්වය වෙනස් වෙලා. පවුල් ඒකකය ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්වීම මත දික්කසාද වීමේ ප්‍රවණතාව වැඩියි. දික්කසාදය සඳහා සනාථ කළයුතු සාධක අතරට නොවැටෙන, එහෙත් දෙදෙනාට එකට සිටිය නොහැකි හේතූන් මත දික්කසාදයට පෙළඹෙන අවස්ථා තිබෙනවා. එම හේතු දික්කසාදය සඳහා සනාථ කර පෙන්විය යුතු කරුණු අතරට නොවැටන අවස්ථාවන්හි සත්‍ය හේතු වෙනුවට වෙනත් හේතුවක් ඉදිරිපත් කර දික්කසාද වීමට සිදුවෙනවා. නඩු කටයුතු සඳහා දීර්ඝ කාලයක් ගතවනවා. පළිගැනීමේ හේතු, අපහාස කර ගැනීම් වැනි හේතු, එක් පාර්ශ්වයකට දික්කසාදය අනවශ්‍ය වීම වැනි කරුණු මත නඩු විභාගය කාලයක් පුරා ඇදෙන්නට පුළුවන්. එමෙන්ම අපේ අධිකරණවල නඩු තදබදයක් පවතිනවා. ඒ නිසා වසරකට නඩුවාර තුනක් වැනි ප්‍රමාණයක් තමයි උපරිම වශයෙන් විභාගයට ගැනෙන්නේ. දෙපාර්ශ්වයේම කැමැත්ත අනුව ඇතැම් නඩු කෙටි කාලයකින් අවසන් කරන අවස්ථා තිබෙනවා. ඒ සඳහා වුවත් වසරකට අධික කාලයක් ගතවනවා. ඒ නිසා දික්කසාද නීතිය සංශෝධනය වීම ඉතා වැදගත්. දික්කසාද නීතිය පමණක් නොවෙයි අපේ බොහෝ නීති සංශෝධනය විය යුතුයි.'' යනුවෙන් සඳහන් කළාය.
පෙර කාලයට වඩා වර්තමානයේ දික්කසාද වීමේ වර්ධනයක් නිර්මාණය වී තිබේ. නීතීඥ නිරෑපා සේරසිංහ මහත්මිය සඳහන් කරන පරිදි අගනුවරට ඉතා ආසන්න අධිකරණයක වසරට ගොනු කෙරෙන දික්කසාද නඩු සංඛ්‍යාව 2000කට අධිකය. ඒ අනුව දිවයින පුරා වසරකට කෙතරම් නඩු සංඛ්‍යාවක් ගොනුවනු ඇතිදැයි සිතාගත හැකිය.
මෙවැනි ප්‍රවණතාවක් නිර්මාණය වීමට බලපාන සමාජ සාධක සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා:
''මේ වනවිට ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව තුළ විශාල අර්බුදයක් ඇතිවී තිබෙනවා. අපේ සමාජය සාම්ප්‍රදායික සාංස්කෘතික සමාජයක සිට නවීන නාගරික සමාජයක් දෙසට ගමන් කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව පවතින්නේ එක්තරා සංක්‍රාන්ති සමයක. එක පැත්තකින් සාම්ප්‍රදාය ආරක්ෂා කළ යුතුයි යන මතය සහ වේගයෙන් නවීකරණය විය යුතුය යන මතය අතර අපේ සමාජය දෝලනය වනවා. මෙවැනි පසුබිමක් තුළ බොහෝ අය වෙනත් රටවල් හා ලංකාව සංසන්දනය කරන්න උත්සාහ ගන්නවා. ඔවුන් ආදර්ශයට ගන්නේ බටහිර පවුල් සංස්ථාව. ඔවුනට තමන් කැමති වෙලාවක එකිනෙකාගෙන් වෙන්වී යන්න පුළුවන් නිසා එම සංස්කෘතිය හොඳයැයි යන මතයේ සිටින පිරිස අපේ සමාජයේ අන්තර්ගත පුරුෂාර්ථයන් ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මෙවැනි මතවාද පලවෙන්නෙත් වගකිව යුතු මාධ්‍යවල නොව ඉවක් බවත් නැතිව ලිංගිකත්වය සහ වෛරය වපුරන සමාජ මාධ්‍යවලයි. වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් වපුරනු ලබන අසම්මත ලිංගික ක්‍රියාකාරිත්වයන් කෙරෙහි ඇතැම් පිරිස් උනන්දු වෙනවා. මෙවැනි විකෘති සමාජ තත්ත්වයක් තුළ පුද්ගලයන් හුදෙකලා වෙනවා. වර්තමානයේ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම රුකියාවල නිරත වෙනවා. ඒ නිසා පවුල් සංස්ථාව තුළ තිබිය යුතු අන්‍යෝන්‍ය සහයෝගය, එකිනෙකා අතර ආදරය, රුකවරණය බෙදා ගැනීම වැනි දේ ක්‍රමයෙන් අවම වෙලා. මේ අවම වීමේ හිස්තැන පිරවෙන්නේ අනියම් සබඳතා වැනි දේවල් මගිනුයි. මේ වනවිට ලංකාවේ අනියම් සම්බන්ධතා ගොඩනැඟීම ක්‍රමයෙන් වර්ධනය වෙන බවක් දැකිය හැකියි. මෙවැනි වාතාවරණයක් යටතේ දික්කසාද වීම් සහ දික්කසාද නොවුවත් අතෘප්තකර පවුල් ජීවිත ගෙන යන පිරිස වැඩිවෙලා.'' යනුවෙන් සඳහන් කළේය.
අතීතයේ වැඩි අවධානයක් යොමු වූයේ පවුල් සංස්ථාව වෙතය. බොහෝ ගම් නියම්ගම්හි විවාහ නොවුවද අඹු සැමියන් ලෙස දරුවන් හදාවඩා ගනිමින් යහපත් ජිවිත ගෙවන්නට අපේ පැරුන්නෝ කටයුතු කළහ. දික්කසාදය යන්න ලැජ්ජාවට කරුණක් ලෙස පැරණි සමාජය පිළිගත් හෙයින් එකල දික්කසාද පිළිබඳව වාර්තා වූයේ ඉතාමත් අල්ප වශයෙනි. එහෙත් වත්මනෙහි දික්කසාදය සාමාන්‍ය තත්ත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතී. බොහෝ තරුණ පිරිස් විවාහය සහ පවුල් සංස්ථාවට වඩා ලිංගිකත්වයට ප්‍රමුඛතාවක් දීමට උත්සුක වන බව පෙනේ. බොහෝ විවාහ කෙටි කලකින්ම අවසන් වීමට එයද බලපා තිබේ. දැනට සිදු කර ඇති අධ්‍යයනයන් අනුව පෙනී යන්නේ බොහෝ දෙනා දික්කසාද වන්නේ විවාහ වී කල් ගතවූ පසුව නොව පළමු වසර කිහිපය තුළදී බවයි. වත්මන් තරුණ පරපුර තුළ විශේෂයෙන් ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් විවාහ වී කෙටි කලකින්ම දික්කසාද වන බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. ඇතැමෙක් මෙය විලාසිතාවක් ලෙසද සලකන බව පෙනෙන්නට තිබේ.
මෙයට ප්‍රධානතම හේතුව සමාජය සංකීර්ණ හා සරල බවට පත්වීම යැයි නීතීඥ නිරෑපා සේරසිංහගේ මතයයි.
''මිනිස් අයිතිවාසිකම් පිළිබඳ දැක්ම, එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය. ආදරය වත්මන් සමාජය තුළ ඉතා කුඩා තැනකට ලගු වෙලා. පෙර සමාජයේ විවිධ හැලහැප්පීම් ඇති වුවත් ඒවා සාකච්ඡා කර විසඳා ගැනීමට ඔවුන් කටයුතු කළා. රණ්ඩු සරුවල් ඇති නොවන පවුල් ඒකකයක් නොමැති තරම්. ඒත් ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති ආදරය, ගෞරවය මත කතාබහ කොට විසඳා ගැනීමට හුරු වී සිටියා. එම තත්ත්වය ක්‍රමයෙන් සමාජය තුළින් ගිලිහෙමින් තිබෙනවා. වර්තමානයේ දික්කසාදයට යොමු වන බොහෝ දෙනෙක් ආදරය කර විවාහ වූවාට තමන්ට නොගැලපෙන පුද්ගලයකු සමඟ විවාහ වී ඇතැයි කෙටි කලකින්ම වටහා ගන්නවා. ස්මාට් දුරකතන හේතුවෙන් අද බොහෝ දෙනෙක් ලෝකයත් එකක් ගනුදෙනු කරනවා. එතුළින් විවිධ සබඳතා ගොඩ නැඟෙනවා. බොහෝ දෙනෙකුට විවාහ සංස්ථාව පවත්වාගෙන යෑම පිළිබඳ හැඟීමක්, ඉවසීමක් නැහැ. එමෙන්ම එකල කාන්තාවන් රුකියාවන්හි නිරත වූයේ නැහැ. ඔවුන් යැපුණේ තම සැමියාගෙන්. වර්තමානයෙත් එවැනි පිරිසක් සිටිනවා. ඔවුන් කැමති වුණත් අකමැති වුණත් දික්කසාදයකට නොගොස් සියල්ල විඳදරාගෙන ජීවත් වුණා. එහෙත් වර්තමානයේ එම තත්ත්වය වෙනස්. කාන්තාවන්ට ආර්ථික හා සමාජීය නිදහස ලැබී තිබෙනවා. බොහෝ කාන්තාවන් රුකියාවල නිරත වෙනවා. ඒ නිසා ඔවුන් අතීතයේ කාන්තාවන් මෙන් සියල්ල ඉවසා විඳදරාගෙන සිටින්නට සූදානම් නැහැ. එමෙන්ම නාගරික මධ්‍යම පාන්තික මවුපියන් විවාහ වූ දරුවන්ගේ පෞද්ගලික ජීවිතවලට බලපෑම් කරනවා. මෙවැනි කරුණුත් දික්කසාදය කෙරෙහි බලපා තිබෙනවා. දික්කසාද වීමේ ප්‍රවණතාව වැඩි වුණාම එහි පලවිපාක අනාගත පරපුර කෙරෙහි බලපානවා. මවුපියන් අහිමිවීම හා රුකවරණය නොමැති වීම මත ඔවුන් මුහුණ දෙන මානසික ගැටලු විශාලයි. එවැනි තත්ත්වයක් යටතේ එම පරම්පරාව විවාහය යනු සරල ක්‍රියාවලියක් ලෙස සලකන්න පුළුවන්. එක්ව ජීවත් විය නොහැකි නම් දික්කසාදයකට යෑම හොඳයි එහෙත් දික්කසාද නීති ලිහිල් කොට මිනිසුන්ට දික්කසාද වීම පහසුකරනවාට වඩා බිඳවැටෙන පවුල් ඒකක හේතුවෙන් සමාජයට වන බලපෑම සම්බන්ධයෙන්ද රජය කිසියම් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. විදේශයන්හි දික්කසාද වුවත් ඔවුන් එකිනෙකා ගැන, දරුවන් ගැන සොයා බලනවා. එකිනෙකා කෙරෙහි කිසියම් ගරුත්වයත් පවතිනවා. ඒ නිසා දික්කසාදය එරට සමාජයට එතරම් බලපෑමක් ඇති කරන්නේ නැහැ. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයන් අවමයි. වෙන් වූ පසු අනිකා කෙරෙහි කිසි ගරුත්වයක් නැහැ. එකිනෙකා දෙස බලන්නේ සතුරන් ලෙසට. වෙන් වූ පසු දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සමීපව කටයුතු කරන පුද්ගලයන් ඉතා සීමිතයි. මේ නිසා අපේ සමාජයට බරපතල බලපෑමක් සිදුවෙනවා.'' යනුවෙන් සඳහන් කළාය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා