2023 ජුලි 08 වන සෙනසුරාදා

හිතේ ආසාවට ගුවන් යානා සැකිලි හදන මීගමු වැඩකරු

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

ඔහු නමින් එඩ්වඩ් පෙරේරාය. මීගමු නගරයේ ජීවත්වන ඔහුගේ දින චර්යාවේ වැඩි කාලයක් අදටත් වෙන් වී ඇත්තේ ආකෘති ගුවන් යානා සැකසීම සම්බන්ධයෙනි. ඔහු නිස්කලංකයේ තවත් අපූරු ගුවන් යානා ආකෘතියක් හදන්නට උත්සාහ දරයි. එසේත් නැතිනම් දුම්රිය ආකෘතියක් සෑදීමට උත්සාහ ගනී.

එඩ්වඩ්ගේ පියා වූයේ ඒමිස් පෙරේරාය. එක්දාස් නවසිය පනස් ගණන්වලදී ඒමිස් පෙරේරාට ගිනිකෙළි කර්මාන්ත ශාලාවක් තිබුණි. එකල ඔවුන් පදිංචිව සිටියේ කිඹුලාපිටියේය. අදටත් ගිනිකෙළි සෑදීමට ප්‍රසිද්ධ නගරය වන්නේද එයයි. එකල එළිසබෙත් රුජිනගේ පළමු ඔටුනු පැළඳීමේ උත්සවයේදී ගෝල්ෆේස් පිට්ටනියේදී පැවැති ගිනිකෙළි සංදර්ශනයේදී පළමු ස්ථානය දිනාගත් ඒමිස්ට ඒ සඳහා රත්රන් පදක්කමක්ද හිමිව තිබුණි. එඩ්වඩ්ගේ ළමා කාලය ගෙවුණේ එම පසුබිමේය.

''ඒ කාලේ අපිට විදුලිය, දුරකථන පහසුකම් තිබුණේ නැහැ. පාසල් ගියත් මගේ ඔලුවේ හැම මොහොතකම කුමක් හෝ වැඩක නිරත වෙන්නට වැඩි නැඹුරුවක් තිබුණා. මගේ වාසනාවට අපේ ගමේ කොහුමෝල් තිබුණා. වී කොටන තැන් තිබුණා. ඒ කාලේ අපේ කිඹුලාපිටිය ගම හද්ද පිටිසර ගමක්. ඒ කාලේ ගමටම තිබුණේ වාහන දෙකයි. එයින් එකක් අපේ තාත්තට තිබුණ පරණ කාර් එකයි. ඒ හැර වැඩිපුරම කරත්ත තිබුණේ. හදිස්සියටවත් කාටහරි දුරකථන ඇමතුමක් ගන්න ඕන වුණොත්  ඒ අය මීගමුව තැපැල් කන්තෝරුවට ගිහින් තමයි ඇමතුම් ලබාගත්තේ. ඒ නිසා ඒ වගේ පරිසරයක ජීවත්වුණු මම කොහුමෝලේ තිබුණ යන්ත්‍ර සූත්‍ර දිහා හරිම ආසාවෙන් බලාගෙන හිටියා. තාත්තාගේ අතේ එල්ලීගෙන දැවැන්ත යන්ත්‍ර සූත්‍ර වැඩකරන දිහා මම ඒ කාලේ බලාගෙන හිටියා.''

එඩ්වඩ් ඒ අතීතය මතකයට එක්කර ගනිමින් දේශයට පැවසීය. එඩ්වඩ් මූලික අධ්‍යාපනය ලැබුවේ කිඹුලාපිටිය ගමේ පාසලෙනි. පසුව ඔහු මීගමුව මාරිස්ටෙලා විදුහලට ඇතුළත් විය. පාසල් අධ්‍යාපනයට වඩා එඩ්වඩ්ගේ වැඩි කැමැත්ත වූයේ යන්ත්‍ර සූත්‍ර සමඟ වැඩ කිරීමටය. එවැනි දැවැන්ත යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරන අන්දම පිළිබඳව අත්හදා බැලීමටය. ඔහු හිතුවක්කාර තීරණයක් ගත්තේය. උසස් අධ්‍යාපනයට පිවිසෙනවා වෙනුවට ඔහු පාසල් අධ්‍යාපනයට සමු දුන්නේය. එකල ආකාසය දෙස බලා කාලගුණය ගැන කියන්නට තම පියාට තිබූ හැකියාව එඩ්වඩ් දැක්කේ දැනුම් සම්භාරයක් හැටියටය.

කාලයකට පසුව මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන්නට එඩ්වඩ්ට අවස්ථාව ලැබුණි. ඒ ඇණ මුරිච්චි සෑදීමේ කර්මාන්ත ශාලාවකි. එඩ්වඩ් මව්පියන්ගේ අකමැත්තත් සමඟ තම හිතුවක්කාරකමට එම කර්මාන්ත ශාලාවේ සේවයට එක්විය. ටික දවසකින්ම ඇණයක් මුරිච්චියක් කියන දේ ඉතා කුඩා වුවද එය මොනතරම් ඉංජිනේරු ශිල්පීය නිෂ්පාදනයක්දැයි එඩ්වඩ්ට තේරුම් ගියේය.

දිනක් එඩ්වඩ් සේවය කළ ආයතනයේ රියදුරු නොපැමිණීම හේතුවෙන් භාණ්ඩ රැගෙන ඒකල කර්මාන්ත පුරයට යාමට ඔහුට සිදුවිය. ඒ වනවිට ඔහුට රියැදුරු බලපත්‍රයක් තිබුණි. එඩ්වඩ්ද ආයතනයේ අලුත්ම වාහනයෙන් පෙට්ටි රැගෙන ඒකල කර්මාන්ත පුරයට ගියේය. භාණ්ඩ වාහනයෙන් රැගෙන යාමට සේවකයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. නමුත් එඩ්වඩ් ඔවුන් වැළැක්වීය.

''ඒක අලුත්ම වෑන් එකක්. අර සේවකයෝ බඩු බාද්දී වාහනයේ වද්දවාවි යැයි මට බය හිතුණා. එහෙම වුණොත් වාහනයේ හීරීම් වෙනවට මම කැමැති වුණේ නැහැ. ඒ නිසාම වාහනයේ පෙට්ටි සියල්ලම බිමට මමම බාලා දුන්නා. ටික වෙලාවක් මම වාහනය සෙවණ තියෙන තැනක ගාල් කරලා හිටියා.'' එඩ්වඩ් පවසයි.

එඩ්වඩ් නොදැක සිටියද මේ සියල්ල දෙස බලා සිටි පුද්ගලයෙක් සිටියේය. ඔහු ජපන් ජාතිකයෙකි. එඩ්වඩ් ළඟට ගිය ඔහු ''උඹ මේ වාහනයේ ඩ්‍රයිවර් නෙමෙයි නේද...? ලංකාවේ මිනිස්සු අනුන්ගේ වාහන එළවන හැටි මම දන්නවා. කිසිම දේක අරපරිස්සමක්, කිසිම දෙයක් තකන්නේ නැති මිනිසුන් පිරිසක්. උඹේ පිළිවෙළක් තියෙනවා. ඒ නිසා  උඹෙන් මම වෙන චරිතයක් දකිනවා. උඹ කවදාහරි කර්මාන්තයක් කරනවා.'' යැයි ජපන් ජාතිකයා එඩ්වඩ්ට අනාවැකියක් පළ කළේය.

කටුනායක ගුවන් තොටුපොළ පිහිටා ඇත්තේ කිඹුලාපිටියේම ආසන්නයේය. නිරන්තරයෙන් ජනතාවට ගුවන්යානාවල ශබ්දය ප්‍රදේශවාසීන්ට ඇසුණි. කාලයක් තිස්සේ එඩ්වඩ්ගේ සිතේ මේ ඉහළින් පහළින් යන ගුවන්යානා රුඳුණේය. රතිඤ්ඤා සහ අනෙකුත් ගිනිකෙළි සෑදීමට ඉවතලන කඩදාසි අවශ්‍ය වේ. ඒ නිසාම පුවත්පත්, නොයෙකුත් සඟරා එඩ්වඩ්ගේ පියා ගෙන්වා ගබඩා කාමරයේ ගබඩා කර තිබුණි. දිනක් ඔය අතරේ තිබුණ සඟරා කිහිපයක් වෙත එඩ්වඩ්ගේ ඇස යොමු විය. එකල කටුනායකදී විදේශිකයන් විසින් පවත්වාගෙන ගිය ''ගුවන්යානා ආකෘති සමාජයක්'' තිබුණි. ඔවුන් පරිහරණය කළ පොත්පත් පරණ පත්තර කඩෙන් එඩ්වඩ්ගේ පියාගේ කර්මාන්ත ශාලාවට ආ අතර එය එඩ්වඩ්ගේ අතට ලැබිණි.

එඩ්වඩ් ඒ පොත් තම ඇඳ යට තබා නිවැසියන්ට හොර රහසේ ඒ සම්බන්ධයෙන් කියවා බැලුවේය. පසුව ඔහු ''මට ගුවන්යානා ආකෘතියක් හදන්න ඕනේ'' යැයි පියාට පැවසුවේය. ''උඹේ මොළේ හොඳ නැද්ද'' පියා ඇසවේ එලෙසිනි. නමුත් එඩ්වඩ්ගේ බලකිරීමත් සමඟ එඩ්වඩ් තම පියා සමඟ දිනක් කොළඹට පැමිණ කුඩා එන්ජිමක් රුපියල් පනහකට මිලදී ගත්තේය. එකල ඒ මුදල රජයේ සේවකයකුගේ මාසික වැටුපට සමානය.

1975 වසර වෙද්දී එඩ්වඩ් ආකෘති ගුවන්යානයක් සාදා ඉහළට එසවීය. ගුවන්යානා තාක්ෂණය හෝ මේ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු දැනුමක් එඩ්වඩ්ට තිබුණේ නැත. පැරණි ගුවන් යානා ආකෘති සඟරාත්, උනන්දුවත් සමඟ ඔහුගේ හීනය සැබෑවුණි. සුද්දන්ට මෙය කළ හැකිනම් සිංහලයන්ට එය කළ හැකි බව ඔහු විශ්වාස කළේය. ආකෘති ගුවන්යානා සාදද්දී ඔහුට වැරදුණු තැන් අනන්තය. ''වැරුද්දක් නොකළ මනුස්සයෙක් ජීවිතේට කිසිම දෙයක් සාදා නැත'' ඔහු හිතන්නේ එලෙසය.

අද වනවිට එඩ්වඩ් සෑදූ ගුවන් යානා ආකෘති ගණන් කළ නොහැකි තරම්ය. අද ඔහුගේ කාමරය තුළ එවන් විවිධ හැඩයේ විවිධ වර්ණයෙන් යුත් විවිධ ප්‍රමාණයේ ගුවන්යානා ආකෘති බොහෝය. ඒ සියල්ලම ඉහළ නැංවිය හැකිය. ගුවන්යානා ආකෘතිවලට අමතරව ඔහු දුම්රිය එංජින් ආකෘති බොහෝමයක් නිර්මාණය කර ඇත. එක්දාස් නවසිය හැට ගණන්වල මුල් කාලයේදී එඩ්වඩ් ඡායාරෑප ශිල්පය සම්බන්ධයෙන්ද අත්හදා බලන්නට ආස කළේය.

''මට දරුවන් තුන්දෙනයි. දුව ඉන්නේ විදෙස් ගතවෙලයි. පුතාලා දෙන්නත් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. අදටත් මම මේ වැඩ කරන්නේ හරිම ආසාවෙන්. මේ වෙනුවෙන් අවශ්‍ය උපකරණ, විදෙස් රටවලින් ගෙන්වා ගන්නේ. ඒවාට ඉතා විශාල මුදලක් වැයවෙනවා. හැබැයි මේ අලුත් ගුවන් යානා ආකෘතියක් එහෙමත් නැත්නම් දුම්රිය එංජින් ආකෘතියක් සාදා ඒක ක්‍රියාත්මක වෙනවා දකිද්දී ඒ සතුට සල්ලිවලට ගන්න බැහැ. සමහර දවස්වලට යම් නිර්මාණයක් කරල අවසන් කරල ඉහළට එසවෙද්දී සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. දවස් ගණනාවක් පුරාවට කළ මහන්සිය අපරාදේ කියල කෙනෙක්ට හිතේවි. නමුත් ඒ බාධා පසුකරගෙන යන තරමට තමන්ගේ ජීවිතේ හැඩගැසේවි. ජීවිතේ ප්‍රශ්න ආවගමන් අතහරින්නේ නැහැ. යටි හිතෙන් කොහෙන් හරි ''හෙට ආයෙත් බලමු මේක. දවසක හරියනවා යැයි කියල කියාවි. ඒ නිසා මේක මගේ විනෝදාංශයටත් වඩා මේක තමයි මගේ ජීවිතේ සාර්ථකත්වය කරා අරගෙන ගිය මාවත වුණේ.'' යැයි වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන එඩ්වඩ් මහතා දේශයට පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ