2023 ජුලි 08 වන සෙනසුරාදා

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ වැටුප් අරගලය

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ප්‍රමාණවත් පරිදි නොසිටීම පිළිබඳව ජනතාවට වඩාත් දැනෙන්නට වූයේ මෑතක සිටය. එහිදී වඩාත් උත්සන්න වූ සිද්ධිය වූයේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තරුණයන් 60 දෙනෙකු පමණ පිරිසකගෙන් යුතු කණ්ඩායම් දෙකකට, ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රමාද වීමකට ලක්වීම මත ඔවුන්ගේ එරට රැකියා අහිමි වී යාමේ තර්ජනයකට ලක් වීමයි.

මෙම සිදුවීම පසුගිය මාස දෙක තුළ දෙවරක්ම සිදුවීම නිසා, ඒ පිළිබඳව පුළුල් කතිකාවතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දැඩි කතාබහට ලක්වීමට පටන් ගෙන තිබුණි. එම සිදුවීමත් සමගම ගුවන් නියමුවන්ගේ හිඟය කරළියට පැමිණීම වඩාත් වේගයෙන් සිදුවන්නට විය.

මෙම ගැටලුවේ මූලාරම්භය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන්ගේ වැටුපට සාපේක්ෂව අනෙකුත් විදේශීය ගුවන් සේවා සමාගම්වල, විශේෂයෙන් මැදපෙරදිග රටවල ගුවන් සේවා ආයතනවල සේවය කරන ගුවන් නියමුවන්ට වඩා වැඩි ඉහළ වැටුප් සහ තවත් ආකර්ශනීය ප්‍රතිලාභ රාශියක් හිමි වී තිබීමයි.

එහිදී එමිරේට්ස්, කටාර් වැනි ගුවන් සේවාවල රුපියල් ලක්ෂ 60ක වැනි වැටුපක්, පළමු පංතියේ ගුවන් නියමුවෙකු හට හිමිවන අතර, ඊට අමතරව ඔහු සිය දරු පවුල සමග එරට පදිංචියට යන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නිවාස පහසුකම්, දූ දරුවන් සඳහා අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය වෛද්‍ය පහසුකම්, ප්‍රවාහන පහසුකම් ආදී පහසුකම් රාශියක්ද හිමි වේ. එතැනින් ආරම්භ වූ මෙම වැටුප් ගැටලුව පසුගිය කොවිඩ්-19 වසංගත රෝගී සමය තෙක් දිව යයි.

එම කාලයේදී ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන්ගේ වැටුප් 50%ක් පහත හෙලීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණේ සමස්ත ලෝකයේම ගුවන් සේවා කර්මාන්තය බිඳ වැටීම සැළකිල්ලට ගනිමිනි. එහෙත් මේ වනවිට මෙම කර්මාන්තය යළිත් පැවති තත්ත්වයට ළඟා වී පවතින අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්ට හැර අනෙකුත් දෙපාර්තමේන්තු සේවකයන් හට වාර්ෂික වැටුප් වර්ධක දීමනා සහ අනෙකුත් පාරිතෝෂික දීමනා සියල්ල අඩුවක් නොමැතිව හිමි වී තිබේ. මේ තත්ත්වය නිසා ස්වභාවිකවම වැටුප් විෂමතාවයක් මෙම ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන්ට ඇති වී තිබේ.

එසේම මෙම ගුවන් නියමුවන්ට වැටුප් ගෙවීම ඇමෙරිකානු ඩොලර් මගින් සිදු කෙරෙන අතර, එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි හුවමාරු ශ්‍රී ලංකා රුපියල් අගය ලෙස සලකන්නේ, පවතින මහ බැංකු විනිමය අනුපාතයට වඩා 40%ක් අඩු අගයක් වන රුපියල් 295.00ක් වැනි මුදලකි. මේ නිසාද මෙම ගුවන් නියමුවන්ගේ වැටුප් පරිමාව තවදුරටත් පහත වැටීමට හේතු වී තිබේ.

ඊට අමතරව රජය මගින් මෑතකදී පැනවූ උපයන විට ගෙවීමේ බද්ද, මෙම ගුවන් නියමුවන්ගේ වැටුප් වලින්ද කපා ගැනීම නිසා, තවදුරටත් ඔවුන්ගේ වැටුප්වලින් ලක්ෂ 05ක පමණ මුදලක්, එම බදු සඳහාද කපා ගැනීම සිදුවෙමින් පවතී. එනිසා ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනකාරී තත්ත්වය යටතේ මෙම ගුවන් නියමුවන්ට තවදුරටත් මෙම වැටුපෙන් ජීවත් වීම අසීරු කාරණයක් බවට පත් වී තිබේ.

මෙම කරුණු නිසා ශ්‍රී ලන්කන් ගුවන් නියමුවෝ දැඩි අසීරුතාවයකට පත් වී සිටිති. ඒ නිසාම ඔවුන් වැඩි වැටුප් සහ වෙනත් දීමනා, පහසුකම් ඇති ගුවන් සේවා ආයතන වෙත පිවිසීමට පටන් ගෙන තිබේ. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාම සඳහා ගුවන් නියමුවන් 330 දෙනකුගේ සේවය අවශ්‍ය වුවද, දැනට ඒ සඳහා ගුවන් සේවය සතුව සිටින්නේ 250 වැනි ගුවන් නියමුවන් පිරිසක් බව ගුවන් නියමුවන්ගේ සංසදය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහිදී මේ වනවිට පළපුරුදු ගුවන් නියමුවන් 70 දෙනෙකු පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැර දමා ගොස් ඇති අතර, එසේම තවත් එවැනිම පිරිසක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැර දමා වෙනත් ගුවන් සේවා සමග සම්බන්ධ වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් මේ පිළිබඳව විමසූ විට එහි ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයකු පැවසූවේ, තම ගුවන් සේවය පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ගුවන් නියමුවන් පිරිසක් තම ගුවන් සේවය සතුව සිටින බවය. එහෙත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා 06/28 දින ගුවන් තොටුපළෙහි පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන්ම ෆිට්ස් එයාර් (Fits Air) ගුවන් සේවයද, තම ගුවන් සේවාවල පවතින ගුවන් නියමුවන්ගේ හිඟය සඳහා පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් සේවය සඳහා බඳවා ගැනීමට තම අධිකාරියෙන් අවසර පතා ඇති බවකි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජයකාන්ත මහතා, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ගුවන් නියමුවන් ඇතුළු ප්‍රවීණයන් වැළ නොකැඩී මේ වනවිට විදේශ කරා ඇදී යන බවත්, එයට හේතුව මේ රටේ වැටුප් වලට වඩා, විදේශ රටවල වැටුප් පස් හය ගුණයකින් වැඩි වීම බවත්ය. එසේම ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන්ට තවත් වෙනත් රටක වැඩ කිරීම අසීරු නොමැති බවත්, ලෝකයේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය හැම රටටම පොදු එකක් බවත් ප්‍රකාශ කළේය.

මෙම ගැටලුව ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන්ට පමණක් නොව මේ වනවිට ගුවන් ගමන් පාලකවරුන්ට සහ ශ්‍රී ලන්කන් ගුවන් යානා කාර්යය මණ්ඩල සේවිකාවන්ටද බලපාන පරිදි ව්‍යාප්ත වී තිබේ. මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළ ගුවන් සේවිකාවක ප්‍රකාශ කළේ තම ගුවන් යානා සඳහා කාර්යය මණ්ඩල සේවිකාවන් 12 දෙනකු අවශ්‍ය වුවද, දැනට ඒ සඳහා යොමු කරන්නේ 10 දෙනකු පමණක් බවත්ය.

මෙම ක්ෂේත්‍රවල වැටුප ඉහළ මට්ටමක පැවතියද, එම සේවාවල දුර්ලභභාවය, අවදානම, වගකීම, ආදී කරුණු මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අනෙකුත් රටවල් ගෙවන වැටුප් තල කෙරෙහි අවධානය යොමු නොකර කටයුතු කළහොත් ශ්‍රී ලංකාවට නුදුරේදීම මෙම ගුවන් ක්ෂේත්‍රය අහිමි වී යාමේ අවදානමක් පවතින බව මේ වනවිට දිස්වෙමින් පවතී.

I කටුනායක ටී.කේ.ජී. කපිල