2023 ජුලි 08 වන සෙනසුරාදා

ඉතින් ආයුබෝවන් මුතුරාජා ගරු...

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 129

මෑතකදී වැඩිපුරම කතාබහකට ලක්ව ඇති ඇතා වූ මුතුරාජා මේ වනවිට සිටින්නේ තායිලන්තයේ රජයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේය. දැන් මේ ඇතා ජාත්‍යන්තර අවධානයට ලක්වූ හස්තියකු බවට පත්ව සිටී. මේ ඇතා ලංකාවට තායිලන්තයෙන් තෑග්ගක් ලෙස ලැබුණේ 2001 ජනවාරි 8දාය. අපට රටක් බලා කියා ගැනීම තබා අලියකුවත් හරියට බලාගන්න බැරි බව සනාථ කරමින් මේ ඇතා ආපසු තායිලන්තයට ගුවන් මගින් රැගෙන යාම ජූලි 02 වැනිදා සිදුවිය. තායිලන්ත රජයේ මැදිහත්වීම මත ඇතා ප්‍රවාහනයට විශේෂයෙන් සකසන ලද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදාගත් අතර ඇතා ආපසු සියරටට කැඳවා ගැනීමට තායිලන්ත රජය රු. මිලියන 200ක් පමණ වැයකළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ඒ අතරම ලංකාවේ සමහර හීලෑ අලි ඇතුන්ට කරන හිංසා ගැන ලෝක අවධානයද යොමුවෙමින් තිබේ.

තායිලන්තයේ සමාජ මාධ්‍යවල කතිකාවක් නිර්මාණය වී ඇත්තේ එරටින් තිළිණ කළ අනෙක් ඇතුන් දෙදෙනා වන තායිරාජා සහ කණ්ඩුලද තම රටට ගෙන්වා ගන්නා ලෙසයි.  ඒ තරමට ලංකාවේ සත්ව හිංසනය ගැන එයට ජනතාව තුළ අප්‍රසාදයක් ගොඩනැගී තිබේ. නමුත් තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායම තායිරාජා සහ කණ්ඩුල පරීක්ෂා කර එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක බව තායිලන්තයට වාර්තා කර ඇත. 

කටුනායක සිට තායිලන්තයේ චියං මායි දක්වා පැය හයක ගුවන් ගමනකින් සිය උපන් රටට ළඟාවූ මුතුරාජා දැන් හඳුන්වන්නේ සක්සුරින් යන තායි නමිනි. ගුවන් ගමන සඳහා මුතුරාජා සූදානම් කිරීම සහ පුහුණු කිරීම පසුගිය මාස කිහිපයක පමණ සිට දෙහිවල    සත්වෝද්‍යානයේ ඇත්ගොව්වන් සහ තායිලන්ත ඇත්ගොව්වන් විසින් සිදු කෙරිණි. ඌ ගුවන් මගින් ගෙනයාමේදී රැඳවීමට සකස් කළ යකඩින් තැනූ විශේෂ කුඩුවක මේ පුහුණුවීම් සිදුවිය. මේ යකඩ කුටිය බරින් මෙට්‍රික් ටොන් 5කි.
''මුතු රාජා'' වයස අවුරුදු 29ක තරුණ හස්තියෙකි. කිලෝග්‍රෑම් 4000ක් පමණ බර මුතු රාජාගේ උස අඩි නවයකි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ ඇතාට සිදුවූ අකටයුතුකම් ගැන විශාල කතාබහක් සිදුවු අතර සත්ව අවිහිංසා සංවිධාන ඒ ගැන උගේ බාරකාරත්වය දරන අලුත්ගම කන්දේ විහාරයට සහ වනජීවි දෙපාර්තමේන්තුවට, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දන්වා සිටියද බලධාරින්ගේ අවධානයක් යොමුවූයේ නැත. පසුව මෙරට තායිලන්ත තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඇතා විහාර භාරකාරත්වයෙන් ලබාගෙන ඌ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රැඳවීමට කටයුතු කෙරිණි.

මාස හයක පමණ කාලයක් සත්වෝද්‍යානයේ සිදුකළ ප්‍රතිකාරවලින් අනතුරුව ඇතාගේ පසුපස පාදවලට ඉහළින් තිබූ තුවාල දෙක 90%ක් පමණ සුව කිරීමට හැකි වූ බව පශු වෛද්‍ය නිලධාරිනී මධූෂා පෙරේරා සඳහන් කර සිටී. තායිලන්තයේදී ඇතාගේ ආබාධයට ලක්ව ඇති ඉදිරි පාදයට ජල චිකිත්සක ප්‍රතිකාර ලබාදීමට සැලසුම් කර තිබේ.

තායිලන්ත රාජකීය පවුලේ පරිත්‍යාගයක් ලෙස මුතුරාජා සහ කණ්ඩුල ඇත් පැටවුන් දෙදෙනා තායිලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණියේ 2001දීය. උත්සවාකාරයෙන් පිළිගත් ඇත් පැටවුන් දෙදෙනා එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විහාර දෙකකට ලබා දුන්නාය. කණ්ඩුල ඇත් පැටවාගේ භාරකාරත්වය ලබාදුන්නේ කැලණිය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ටය. මුතුරාජා ඇත් පැටවාගේ භාරකාරත්වය එවකට අලුත්ගම කන්දේ විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත හිමියන්ට සන්නස් පත්‍ර මගින් ලබා දී තිබුණි. කන්දේ විහාරයේ සිටි මුතුරාජා මුල් කාලයේ පළපුරුදු ඇත්ගොව්වකු විසින් රැකබලා ගෙන ඇත. පසුකාලයක හස්තියා බලා ගැනීම ලොරි රියැදුරකුට භාර දී ඇති බව පරිසරවේදීහු පවසති. ඔහු අලි බලන ශාස්ත්‍රය නොදන්නා නිසා මුතුරාජා හිතුවක්කාර හැසිරීමක් දක්වා ඇති බව වාර්තා විය. මේ නිසා කෝපයට පත් ලොරි රියැදුරා විසින් මුතුරාජාට දරුණු වදහිංසා පමුණුවමින් සතාට කායික තුවාල පවා ඇතිකොට තිබුණු බව පැවසේ.

මීට වසර දෙකකට පමණ පෙර එක්තරා පෙරහරකට සහභාගි වන මුතුරාජාගේ ගමන් විලාසය දුටු පරිසවේදීන් කණ්ඩායමක් එම සතා අපහසුවෙන් ගමන් කරන බව නිරීක්ෂණය කර තිබේ. තව දිනක ඔවුන් දැක ඇත්තේ මුතුරාජාගේ පාදවලට කටු මාංචු සහිත දම්වැල් දමා ඇති බවයි. නුපුහුණු ඇත්ගොව්වා විසින් මුතුරාජා හීලෑකර ගැනීමට දරුණු ලෙස වධ දී ඇති බව පරිසරවේදීන්ට දැන ගැනීමට ලැබුණි. මේ නිසා සතා පීඩාවකින් ගතකරන බව අවබෝධ කරගත් RARE (Rally for Animal Rights and Environment) සංවිධානය ප්‍රමුඛ සත්ව ලෝලීන් සහ සත්ව හිමිකම් සංවිධාන මුතුරාජා ගැන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මේ සතා ගැන ඔවුන්ට වගකීමක් නැති බවයි. අවසානයේ පරිසරවේදීන්ට සිදුව ඇත්තේ හස්තියා මෙරටට තෑගිකළ තායිලන්ත බලධාරීන් ඒ ගැන දැනුවත් කිරීමටයි. සමාජ මාධ්‍යවලින්ද මේ හස්තියා ගැන විශාල කතිකාවක් නිර්මාණය විය. තායිලන්තයේ තරුණ පෙළත් එරට සමාජ මාධ්‍යවලත් මුතුරාජා ගැන විශාල වශයෙන් අවධානය යොමු කළහ. තායිලන්ත තානාපති බලධාරින් හස්තියා පරීක්ෂා කර බලා ඒ වනවිට ඇවිද ගැනීමටවත් නොහැකිව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ හස්තියා 2022 වසරේ නොවැම්බර් 9දා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන පැමිණියහ. ඒ වනවිට ඉදිරි පාදය දුර්වලව පැවති අතර ශරීරයේ පිටුපස පාදයට ඉහළින් ගෙඩි දෙකක් නිසා දැඩි වේදනාවෙන් ඌ පසුවිය. එමෙන්ම වලිගයද ආසාදනයට ලක්ව තිබුණි. සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (සත්ව සෞඛ්‍ය හා පෝෂණ) පශූ වෛද්‍ය චන්දන රාජපක්‍ෂගේ උපදෙස් මත දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරීනි මධූෂා පෙරේරා ඇතුළු කණ්ඩායමක් ‘මුතුරාජා’ සුවපත් කිරීමට වෙහෙසුණහ.   

මේ අතර සත්වෝද්‍යානයේ ප්‍රතිකාරවලට ලක්වන මුතුරාජා බැලීමට කන්දේ විහාරයේ වත්මන් නායක හිමියන් වන කොක්කාවිට විපුලසාර නා හිමියෝ පසුගියදා පැමිණියහ. එහිදී උන්වහන්සේ මාධ්‍යවලට පැවසුවේ මෙවන් කතාවකි. ''මුතුරාජා ඇතා තායිලන්තයට භාරදීමට ක්‍රියාකළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබාදෙන බවට වූ එකඟතාව මතයි. මට මේ ඇතාගේ භාරකාරත්වය ලැබුණේ මීට අවුරුදු හතරකට විතර කලින්. ඇතාගේ කකුලේ සිද්ධිය අවුරුදු 12කට විතර පෙර සිද්ධියක්. මම උපරිමයෙන් උත්සාහ කළා ඊට ප්‍රතිකාර කරන්න. අතීතයේ වෙච්ච දේකට මට වග කියන්න බැහැනේ.''

සිරි ලංකාවේ පුරාණයේ පටන්ම අලිඇතුන් දෙස බලන්නේ ගෞරවයෙනි. එදා අලි පිටරටට විකිණූ අපි පෙරහරවල ගමන් කරන අලි ඇතුන් දෙස සැදැහැ සිතින් බලා සිටියෙමු. රජරට ගොවියන් තම වගා හානිකරන අලින් පවා තුවාල වී සිටින විට උන්ට කන්න බොන්න ලබාදී සුවපත් කිරීමට උත්සාහ කරති. නමුත් පිටරටින් තෑග්ගක් ලෙස ලැබුණු අපේ රටට ආභරණයක් වූ දිගම දළ හිමි මේ හස්තියාට කළ හිංසා නිසා රටට අපකීර්තියක් ලැබුණු අතර දැන් ඌ තම මව්රට බලා ගුවන්ගත අවසන්ය.
තායිලන්තයට සුරක්ෂිතව ගිය මුතුරාජා හස්තියා මේ වනවිට තායිලන්තයේ එකම රජය සතු අලි කඳවුර වන තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ තම නිරෝධායන කාලසීමාව ගතකරමින් සිටී. එය වනගතව පිහිටි කඳවුරකි. 1993දී ආරම්භ කරන ලද එහි දැනට ආසියාතික අලි ඇතුන් 50කට අධික සංඛ්‍යාවක් රැකබලා ගනී. එය ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්ද වේ. මෙම ආයතනය පර් යේෂණ සඳහා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන අතර තායිලන්තයේ රෝගී අලින්ට ප්‍රතිකාර කිරීමේදී ඉදිරියෙන්ම සිටී. මෙම මධ්‍යස්ථානය තායිලන්තයේ අලි ඇතුන්ට පින්තාරු කරන ආකාරය ඉගැන්වූ පළමු ස්ථානය ලෙස සැලකෙන අතර එය තායි අලි වාද්‍ය වෘන්දයේ නිවහනද වේ.

දැනට සෑම දිනකටම දෙවරක් මුතුරාජාගේ තත්ත්වය පිළිබඳ සජීවී ෆේස්බුක් සමාජ මාධ්‍ය විකාශනයක්ද ලබාදෙන අතර එහිදී ලොවපුරා සොබා රසිකයන්ට ප්‍රශ්න ඇසීමටද අවස්ථාව හිමිවී තිබේ.

මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදලින්’ මුදල් වැයකිරීමට තීරණය කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කර සිටී. හස්තියාගේ ආබාධයකට ලක්ව තිබෙන ඉදිරි වම් පාදය සුව කිරීම සඳහා අලි පුනරුත්ථාපන රෝහලකට ඇතුළත් කිරීමට නියමිත අතර ඒ සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදල’ මුදල් මෙසේ වැයකිරීමට නියමිතය.

තායි රාජාට නිසි සැලකීමක් නැති බවට පැතිරෙන කතා නිසා දළදා මාලිගා ඇත් පන්තියට අයත් තායිරාජා හස්තියා දැකබලා ගැනිමට පසුගිය 6දා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පෝජ් හාන්පෝල් ඌ සිටින මහනුවර සුදුහුම්පොළ විහාරයට ගියේය. එහිදී එම ඇතා පිළිබඳ කිසිදු ගැටලුවක් තමන් නොදුටු බවත් ඇතා හොඳ සුවයෙන් සිටින ආකාරය සියැසින්ම දැකබලා ගැනීමට හැකි වූ බවත් තානාපතිවරයා පැවසුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු සායනික විද්‍යා මහාචාර්ය අශෝක දන්ගොල්ල විසින් තානාපතිවරයා වෙත තායිරාජා පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළේය.

I කුසුම්සිරි විජයවර්ධන

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03