අත මිට නැතිකමින් කනකර උගසට තබා හෝ කෑම බීම බේත් හේත් මිලදී ගන්නට මිනිසුන් පෙළඹෙති. එවැනි පිරිස් කොතෙකුත් අසීරුතා මැද සිටියත් ඔවුන්ගේ අසරණකම සූරාකන්නට කූඨ වෙළෙන්දෝ මාන බලති. ඒ වෙනුවෙන්ම සටකපටකම් කරන කළුකඩ මුදලාලිලා අද රටපුරා සිටිති.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ක්‍රියාත්මක නොවන්නට කූඨ වෙළෙන්දෝ තවමත් ජනතාව රවටන්නට උත්සාහ ගනිති. 2023 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීගිය හය මාසයට පාරිභෝගික කටයුතු අධිකාරිය මේ සම්බන්ධව සිදුකළ වැටලීම් ප්‍රමාණය 10,000කට අධිකය. මේ ඔස්සේ අධිකරණයට යොමුකළ සැකකරුවන්ට එරෙහිව ලැබී ඇති දඩමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 108ක් ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මෙතරම් අගාධයකට වැටී ඇති සමයක බහුතරයකට සමබල ආහාර වේලක් ගැන සිතීමත් අසීරුව තිබේ. එවන් තත්ත්වයක ආහාර වේලකට පහසුවෙන්ම ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගත හැකිව තිබූ බිත්තරයක මිල පවා දරන්නට බැරි තැනකට ගියේය. අවසානයේ සහන මිලට පැවති බිත්තරය කිලෝ ගණනට කිරා විකිණීමට තීරණය කෙරිණ. මේ ගැහැට අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිලිවල වැඩිම ප්‍රමාණය බිත්තර සම්බන්ධයෙන් ලැබී ඇති බව වාර්තා විය. මේ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ වැටලීම් 10,000 අතුරින් නඩු 1250ක්ම පවරා ඇත්තේ බිත්තර වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බවය. මීට අමතරව වෙළෙඳසල්වල මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් අදාළ වැටලීම්වලින් 30%ක පමණ නඩු ප්‍රමාණයක් හා නියමිත මිලට වැඩියෙන් භාණ්ඩ විකිණීම පිළිබඳවද 30%කට ආසන්න නඩු ප්‍රමාණයක් පවරා ඇති බව එම අධිකාරිය වාර්තා කළේය.
ඇසුරුම් කරන ලද භාණ්ඩ හෝ ආහාර ද්‍රව්‍යවල ස්ථාවර මිලක් සටහන් කොට තිබේ. එවැනි ඇසුරුම්ගත ද්‍රව්‍යවල මිල නගර හෝ ප්‍රදේශ මත මිල වෙනස් වීමක් නොවන අතර දිවයින පුරාම අදාළ මිල යටතේ පමණක් අලෙවි කළ යුතුය. නමුත් එසේ අලෙවි නොකරන වෙළෙඳුන් සම්බන්ධයෙන්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි ලැබී ඇත. හාල්, පිටි, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමේදී වෙළෙන්දෝ විශාල වශයෙන් ජනතාව මුලා කරති. ඒ අනුව අධික ලාභයක් ඉපයීමට ඔවුහු උත්සාහ ගනිති. මෙකී ද්‍රව්‍ය විවිධ මිල ගණන්වලට අලෙවි කරනු දකින්නට හැකිය. එබැවින් ඒ සඳහා මිල ප්‍රදර්ශනය අනිවාර්ය කිරීමට නීතිමය වපසරිය සකසා තිබේ. එකී භාණ්ඩ තරගකාරී මිලට අලෙවි කිරීම හරහා පාරිභෝගිකයන්ට යම් තරමක වාසියක් අත්වීම සුබදායක කරුණකි.
යමක් මිලට ගැනීමෙන් පසුව බිල්පතක් ලබාගැනීම පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය නැත. නමුත් බිල්පතක් ලබාදීමට ව්‍යාපාරික පාර්ශ්වය බැඳී සිටිය යුතුය. අවශ්‍ය කෙනකු එවැනි බිල්පතක් ඉල්ලා සිටි විට නිකුත් කිරීම අනිවාර්යයෙන් සිදුකිරීමට වගබලා ගත යුතුව ඇත. කල් ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයන් නොමග යවා අලෙවි කළ අවස්ථා සම්බන්ධයෙන්ද සැලකිය යුතු තරමේ පැමිණිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබී ඇත. ඒ සම්බන්ධයෙන්ද ගතවූ මාස හයක කාලය තුළ වැටලීම් සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා මෙම අධිකාරිය විශාල මෙහෙයක් සිදුකර ඇත. මේ අතර තත්ත්ව සහතික ලබා ඇතැයි දක්වමින් අලෙවි කරන ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් ඒවායේ දෝෂ හා අක්‍රමවත් භාණ්ඩ බව දක්වමින් ලද පැමිණිලි රාශියකි ඒ අතර ඉදිකිරීම් කර්මාන්තයේ යකඩ කම්බි වැනි දෑ පිළිබඳ පැමිණිලි බහුලය. පරිප්පුවල ස්වභාවික වර්ණය වෙනස් කොට වෙළඳසලට යැවීම සඳහා සූදානම් කරමින් තිබූ ගබඩාවක් පසුගියදා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීමට ලක්කළේය. එහිදී මිනිස් ශරීරයට අහිතකර වර්ණක යොදා පරිප්පු ටොන් 4කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිණ. මෙම වැටලීම උස්වැටකෙයියාව ප්‍රදේශයේදී සිදුකෙරිණ.
පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ප්‍රමිතියෙන් තොර නීති විරෝධී ලෙස ඇසුරුම් කළ රෑපලාවන්‍ය අලේපන තොගයක් අත්අඩංගුවට ගැනිණ. පාකිස්තානයෙන් ගෙන්වා තිබූ මේවායේ සාම්පල 6ක් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කර තිබිණි. එහිදී අනාවරණය වූයේ සමට අහිතකර රසදිය ඒවායේ විශාල වශයෙන් අන්තර්ගත බවය. මෙසේ රසදිය අඩංගු ක්‍රීම් හා ආලේපන පිළිකා ඇතුළු ලෙඩ රෝග ඇතිකරවන බව වෛද්‍ය මතයයි.
පසුගිය සමයේ මෙන්ම තවමත් වෙළෙඳපොළේ බිත්තර හිඟයක් පවතී. මේ නිසාම නිතිපතා බිත්තර සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතී. මේ අතර රුපියල් මිලියන 108ක දඩ මුදල් අතරට වැඩිම දඩ මුදල වූ රුපියල් මිලියනයක දඩ මුදලක් ලබාගෙන තිබුණේද බිත්තර වැඩිමිලට විකිණීම සම්බන්ධයෙනි.
මේ අතර සහල් හා ඇන්ටිජන් පරීක්ෂණ උපකරණ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම වැඩි වී තිබේ. බස්නාහිර හා වයඹ පළාත ආශ්‍රිතව පැමිණිලි හා වැටලීම් බහුලව සිදුකොට තිබෙන අතර 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරි පනත ප්‍රකාරව පාරිභෝගිකයන්ට වෙළඳපොළේදී සිදුවන අසාධාරණකම්වලට එරෙහිව නීතිමය පියවර ගනු ලබයි.
I සමන්ත ප්‍රදීප් විල්තෙර