''අස්වැසුම'' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ පැනනැගුණු වියවුල් සහගත තත්ත්වය එලෙසම පැවතුණි. පසුගිය සතියේ වාර්තා වූ පරිද්දෙන් ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 6ක් පමණ බලධාරීන් වෙත ලැබී තිබුණි. විරෝධතා 8,000කට අධික සංඛ්‍යාවක් ගොනුව ඇතැයි වාර්තා විය. එමනිසාම අස්වැසුම ප්‍රතිලාභ අහිමිවුවත් පහසුවෙන් වසාලන්නට නොහැකි වන බැව් පෙනී ගියේය.
කෙසේවෙතත් අස්වැසුම සම්බන්ධ ජූලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව බලධාරීහු සඳහන් කළහ. ඒ අනුව එළඹෙන සඳුදා දින මෙම අස්වැසුම සම්බන්ධ තීරණාත්මක දිනයක් වනු ඇත. කෙසේ වෙතත් රජයේ දිගින් දිගටම කියා සිටින්නේ අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන වඩාත් සාධාරණ ප්‍රවේශයකින් ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවකි.
අස්වැසුම අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය සම්බන්ධව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගියදා අදහස් දක්වා තිබුණි.
''ප්‍රායෝගික විසඳුම් සෙවීම, ඉතාමත් සානුකම්පිතව මේ පිළිබඳ සලකා බැලීම වැදගත්. ජනාධිපතිතුමත් ඉතා පැහැදිලිව ප්‍රකාශකරල තිබුණා ඔවුන්ගේ දුක්ගැනවිල්ල සානුකම්පිතව සලකා බලන්න කියලා. වැදගත්ම දේ බොහෝ දෙනා කිව්වා මේ ඉදිරිපත් කරලා තියෙන ලැයිස්තුවල විශාල වශයෙන් නුසුදුස්සන් ඉන්නවා කියලා. හැබැයි විරෝධතා ලැබිලා තියෙන්නේ තියෙන්නේ හත් දහස් අටසීය හැත්තෑපහක්. ඒක ඉතාමත් සුළු සංඛ්‍යාවක්.''
විරෝධතා ඉදිරිපත් කිරීම සමාජ වගකීමක් බවට මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. නිර්නාමිකව විරෝධතා ඉදිරිපත් කිරීමටද හැකියාව පවතින බවයි. එසේම අභියාචනා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදු කළේය.
''අභියාචනා පරීක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථිරවම සේවය කරන වගකිවයුතු නිලධාරීන් තමා යොදාගන්නෙ. එය ඉතාම වගකීමෙන් සිදුවන්නෙ. ඔවුන් සකසන ලැයිස්තුව තමයි බොහෝවිට අවසාන ලැයිස්තුව බවට පත්වන්නෙ. ඒ නිසා ඒ වගකීම තියෙන අත්දැකීම් තියෙන නිල වශයෙන් මේ කටයුත්තට බැඳිලා ඉන්න නිලධාරීන් තමා ඒ සඳහා තෝරා ගන්නෙ.''
රජය විසින් මෙලෙස කරුණු දක්වන ලැබූවද අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධව සැලකිය යුතු විවේචන දේශපාලන පක්ෂ සහ වෘත්තීය කණ්ඩායම් දිගින් දිගටම ඉදිරිපත් කරමින් සිටියි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති මේ අතරින් ප්‍රමුඛ විය. පසුගියදා පානදුරේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජූලි සමෘද්ධි දීමනාව පවා අවදානමට ලක් වී ඇති ඔවුහු සඳහන් කළහ.
''පහුගිය 4 වැනිදා ලිපියක් එවලා තියෙනවා. අස්වැසුම සුබසාධන ක්‍රියාවලිය ජූලි පළමු වැනිදා ඉඳලා ක්‍රියා කරන්න සැලසුම් කරලා තිබ්බා, ඒ නිසා මෙතෙක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරගෙන ආපු සුබසාධන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම තාවකාලිකව හිටවන්න කියලා.
අස්වැසුම ප්‍රතිලාභ ජූලි පළමුවැනිදා ඉඳලා ගෙවන්න ආණ්ඩුවට පුළුවන් කමක් නෑ. ආණ්ඩුව ඒක අවුල් කරගත්ත. ඒක නිසාම අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. සමෘද්ධි සහනාධාර ගෙවීම ප්‍රමාද කරන්න එපා. ජූලි පළවැනි සතියේ ඉඳලා එම සහනාධාර ගෙවන්න කටයුතු කරන්න කියලා.''
කෙසේවෙතත් ජූලි සමාජ සුබසාධක, සමාජ ආරක්ෂක දීමනා නොලැබී යන තත්ත්වයක් උද්ගත වී ඇති බවට එල්ල වන චෝදනාව වගකිවයුත්තන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතර පසුගියදා මාධ්‍ය වැඩසටහනකට සහභාගී වූ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එච්.ඩී. කමල් පත්මසිරි මහතා මෙම වැඩසටහනේ ඉදිරිය සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි.
''ලේඛනයක් ප්‍රසිද්ධකරලා තියෙනවා. දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, ග්‍රාම නිලධාරී කාර්යාලයකම මේ ලේඛනය ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. මේකට හොඳ ප්‍රතිචාර තියෙනවා. හැබැයි මේක අවසාන ලේඛනය නෙවෙයි. ජනතාව දැනගන්න ඕනා මේ අය සුදුස්සොද නුසුදුස්සොද කියලා.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ජූලි මාසයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිය ඉලක්කය බවයි.
''ජූලි මාසය තමා අපේ ඉලක්කය. ජූලි 10 වැනිදා වනවිට අපි අවසන් කරනවා අභියාචනා සහ විරෝධතා ලබාගැනීම.''
පැහැදිලි කිරීම අනුව පෙනී යන්නේ අභියාචනා ලබන අතර එම අභියාචනා පරීක්ෂණ පරීක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සක්‍රීයව ක්‍රියාත්මක වන බවකි. ඒ අනුව මෙම මස අවසානයේදී ''අස්වැසුම'' කලින්ම දීමනාව ගෙවීමට හැකිවනු ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය අපේක්ෂා කරයි.
මේ අතර අස්වැසුම සම්බන්ධ දේශපාලන වේදිකාවේද දිගින් දිගටම ගැටුම් නිර්මාණය වෙමින් තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් මේ හා සම්බන්ධව පලකරන්න ආණ්ඩුවේ පොදු මතයට පරස්පර අදහසකි. විශේෂයෙන්ම මේ පිළිබඳව දිගින් දිගටම හඬ නැගූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් පවා සිදු කළේය.
''අද වෙනකොට අස්වැසුම ගෙනැල්ලා තියෙන්නේ. බොහොම බලාපොරොත්තු ඇතුව. වැඩි ගාණක් වියදම් කරලා නුසුදුසු අය ඉවත් කරලා සුදුස්සන්ට ලබාදෙන්න කියලා පටන් ගත්තු අස්වැසුම වැඩපිළිවෙළත්, අද අස්වැසුමක් නැති තැනට පත්වෙලා තියෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයේ අවධානය මේ පිළිබඳ යොමු වෙන්න ඕනෑ. අපි කොච්චර කිරි දෙව්වත් වැඩක් නෑ ඒකට ගොම දාගත්තොත්. ආණ්ඩුව රටේ ආර්ථිකයත් රට යම් තැනකට යොමු කරමින් ඉන්නවා. නමුත් අස්වැසුම තුළ ඉතාම නොසුදුස්සෝ විශාල ප්‍රමාණයකට සහනාධාර ලබාදෙන ගමන්, අන්ත දුගී පිරිසකට මේ සහනාධාරය නොලැබී ගිහිල්ලා තියෙනවා.''
කෙසේ වෙතත් විපක්ෂ කණ්ඩායම් පොදුජන පෙරමුණට මෙන්ම ජනපති ඇතුළු බලධාරීන්ටද මෙම වැඩසටහන පිළිබඳ චෝදනා කරයි. අස්වැසුම සම්බන්ධ පොහොට්ටුවේ ප්‍රකාශ සාධාරණ නැතැයි ජාතික ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද පසුගියදා පවසා තිබුණි.
''අද පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇමතිවරු තඩිබානවා මේ සමීක්ෂණය කරපු නිලධාරීන්ට. තරුණ තරුණියන්ට. ඉතින් පහුගිය අප්‍රේල් මාසේ පාර්ලිමේන්තුවේදී මේ පනත සම්මත වෙන වෙලාවේ ඒගොල්ලො ඔක්කොම මේකට සහයෝගය ලබා දුන්නනේ. අද කතා කරන ජගත් කුමාරලා, ලක්ෂ 20ට මේ පිරිස අඩු කරනවා කියලා පාර්ලිමේන්තුවට පනත ගෙන එද්දී සහයෝගය ලබා දුන්නා අනුමත කළා.''
මේ අතර සමගි ජන බලවේගයද කියා සිටින්නේ අස්වැසුම සම්බන්ධ ආණ්ඩුවේ සියලු දෙනා වගකීම දැරිය යුතු බවකි.
දේශපාලන කාරණා කවරක් වෙත මේ හා සම්බන්ධ කඩිනම් විසඳුමක් ලැබීම පොදු මහජනතාවගේ මහ ජනතාවගේ අපේක්ෂාවයි. අභියාචනා අවසන් වීමෙන් පසුව ජූලි මස අවසන් වනවිට අස්වැසුම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකිවේද? අපි බලා සිටිමු.
I චමිඳු නිසල් ද සිල්වා