ලබන මාසය වනවිට රටේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කළේය. 2022 වසර අග දක්වා දිගින් දිගටම උද්ධමනය ඉහළ ගිය අතර ලොව උද්ධමනය ඉහළ රටවල් දහයේ ලේඛනයේ ශ්‍රී ලංකාව සඳහා ඉඩක් වෙන්ව තිබූ බව අපට මතකය. උද්ධමනය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හුදෙක් කොරෝනා වසංගතයටම ලඝුකළ නොහැකි වූ අතර රට තුළ නිසි ආර්ථික සැලැස්මක් නොමැතිවීම මෙයට හේතුව බව ආර්ථික විශ්ලේෂකයෝ පැවසූහ.
එසේ වුවද මේ වනවිට වැඩිවූ උද්ධමනය ''රිවර්ස්'' වෙමින් පවතින අතර ආහාර උද්ධමනය පසුගිය මාස 10 තුළදී සියයට 90.8කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පසුගියදා ප්‍රකාශ කර තිබුණි. 2022 සැප්තැම්බර් මාසයේ 94.9ක්ව තිබූ ආහාර උද්ධමනය 2023 ජූනි මස අවසානය වනවිට සියයට 4.1කින් අඩුවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. පසුගිය සැප්තැම්බර්වල 96.9ක්වූ ආපනශාලා හා හෝටල් උද්ධමනයද 15.9කින් පහළ වැටී තිබේ. සියයට 105.4ක ඉහළ මට්ටමින් තිබූ ප්‍රවාහන උද්ධමනයද මේ වනවිට සියයට -3 දක්වා අඩුවී තිබෙන බව ප්‍රකාශ කරන මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ උද්ධමනය අඩු කිරීමට මහ බැංකුව ගත් ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බවකි. උද්ධමනය දිගටම තනි ඉලක්කමක මට්ටමේ තබා ගැනීම තම අභිප්‍රාය බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙලෙස උද්ධමනය ඉහළ යාම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් වන බවට පුරෝකතනයක් වන අතර ආර්ථිකය අගැයීමේ ක්‍රියාවලියේදීද ධනාත්මක පිළිගැනීමක් ඇතිවන්නක් බව පැවසිය යුතුය. රටක උද්ධමනය තනි ඉලක්කමේ මට්ටමට පැවතිය යුතුය යන්න පොදු පිළිගැනීමක් වෙයි. උද්ධමනයේ පහළයාම රටේ පොදු ජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි යහපත් බලපෑමකට හේතුවිය යුතු බව සමාජ විශ්ලේෂකයන් පිළිගත් මතයකි. එහෙත්, අපේ රටේ මෙලෙස උද්ධමනය පහළයාම පොදු ජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි ධනාත්මකව බලපානවාද යන්න සාකච්ඡාවට භාජනය විය යුතු කරුණකි. බොහෝ දෙනාගේ අදහස වනුයේ උගත් මහ දැනුමුත්තන් කෙසේ පුරාජේරු කතා කළද මේ තාක් තමනට යහපතක් සිදුවී නොමැති බවය. පැදුරේ ඉඳල අපි කොහොමද බිමට වැටෙන්නේ? යැයි ඔවුහු අසති.
ජනතාවගේ ආහාර පරිභෝජනය වේල තුනෙන් එක වේලකට පත්වීම, දරුවන්ගේ මන්දපෝෂණය සියයට 60ක් දක්වා වර්ධනය වීම මෙන්ම ගන්නා ආහාරවල පෝෂණ පදාර්ථ අවම වීම යනු හේතු නිසා පොදු ජනතාව විපතට පත්ව සිටින බව පෙනෙන්නට තිබේ. දවසේ වැඩි කාලයක් ලිපේ ගින්දර නිවී තිබියදී උද්ධමනය පහළයාම අහවල් දේකටදැයි ඔවුහු විමසා සිටිති. මෙය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ කතාවකි. පොදු මහජනතාවට තම ඉහළ යන ජීවන බර සැහැල්ලු කරගත හැකිනම් උද්ධමනය ඉහළද පහළද යන්න පිළිබඳ ඔවුහු තැකීමක් නොකරති.
මේ වනවිට තවත් රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා නියෝගයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙයින් රටේ ආර්ථික තත්ත්වය ගැන යම් විග්‍රහයකට අවතීර්ණ වීමට පහසු වෙනවා ඇත. ජාත්‍යන්තර ක්‍රියාවල්වලදී මෙම දත්තයන් ප්‍රයෝජනයට ගෙන යම් යම් පුරෝකතනයක් ඉදිරිපත් කිරීමට හැකිවුවද මෙම සංඛ්‍යාලේඛන මගින් ජනතාවගේ ජීවන පැවැත්ම නගා සිටුවීමට කටයුතු සිදුවෙන්නේ නම් මැනවි. දැනට වසර 10කට පෙර පැවැති සංගණනයේදී රටේ දරිද්‍රතාව සියයට 40කින් පමණ වැඩිවී ඇති බවට තොරතුරු අනාවරණය වුවද ජනතාවගේ දිළිඳු බව පිටුදැකීම උදෙසා කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට වගකිවයුත්තන් උනන්දු වූයේ නැත. සමෘද්ධිය වැනි කෙටිකාලීන සහනාධාර වැඩසටහන් දියත් කර යම් ජනකොටසකට තාවකාලික සහනයක් සැලසුවද එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පිටිවහලක් ලැබී නැත. දැනට සිදුකිරීමට යෝජිත ජන සංගණනයෙන්ද විශාල මුදලක් වැයකරනවා මිස එයට සාපේකෂව ජනතාවට යහපතක් සිදුවේදැයි සිතීම උගහට වෙයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනුව 2023 වසරේ පළමු කාර්තුවේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 11.5 කින් හැකිලී ඇති බව වාර්තා වේ. නොකඩවා ආර්ථික වර්ධන වේගය සංකෝචනය වූ පස්වන අවස්ථාව මෙය බව දැනගන්නට තිබේ. මෙයට හේතුව කාර්මික, නිෂ්පාදන හා ඉදිකිරීම් සේවා ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කිරීම බව කියැවේ. කාර්මික අංශය සියයට 23.4කින් ඉදිකිරීම් සියයට 8.5කින් හා සේවා අංශය සියයට 5කින් ආදී වශයෙන් සංකෝචනය වීම මෙම ආර්ථික වර්ධනය අඩාලවීමට හේතු වී තිබෙන බව පැවසේ. ලෝක බැංකුව කියන්නේ මේ වර්ෂයේ අපේ ආර්ථික වර්ධනය ඍණ 4.2කින් හැකිලෙන බවය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස මෙම හැකිවීම ඍණ 3ක් වනු ඇති බවටය.
කෙසේ වුවද මෙම තත්ත්වයට සමගාමීව උද්ධමන පහළ බැසීම කෙසේ ජනතාවට බලපානු ඇතිද යන්න ගැටලුකාරී වෙයි. 2023 වර්ෂය ආරම්භයේ සිට උද්ධමනය පහළ යන්නේ නම් එයින් රටේ ආර්ථිකය යම් පමණකට හෝ ප්‍රසාරණයට පත්විය යුතුය යන්න මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයකි. එසේ නොවන්නේ නම් එහි කොතනක හෝ වරදක් ඇතිද යන්න පිළිබඳ සැකයක් නිර්මාණය වෙයි. ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල පවසන පරිදි සෑහෙන තරම් ආර්ථිකය හැකිලෙයි නම් උද්ධමනය තනි ඉලක්කමකට ගැනීමේ ඉලක්කයෙන් යහ ප්‍රතිඵලයක් ළඟා කරගත හැකිද යන ගැටලුව මතුවේ. කෙසේ හෝ සංඛ්‍යාත්මකව මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුවද රටේ ආර්ථිකය ආපස්සට ගමන් කරන්නේ නම් බලාපොරොත්තු වන සංවර්ධනය ඉටු නොවනවා ඇත.
► මහ බැංකුව හොඳ පාලනයක් කළා
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මිල හා වේතන) නිරෝෂා දිසානායක පවසන්නේ උද්ධමනය පහළ බැසීම ජනතාවගේ ඇඟට නොදැනෙන බවට සමහරුන් දරන මතය පදනම් විරහිත බවය. එසේම උද්ධමනය අඩුවන බවට පුරෝකතන ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඇති අයිතියට බාධා නොකළ යුතු අතර ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වීම නිසා ඉදිරිය පිළිබඳ පැවසීමට ඔවුනට හැකි බවද ඈ කීවාය.
''භාණ්ඩ හා සේවා මිල පාලනය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඒ හේතුවෙන් උද්ධමනය අඩුවෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව එහෙම පාලනය කරන්නේ නැතිනම් වෙනිසියුලාවේ වගේ සියයට 400ක උද්ධමනයක් අපේ රටේ ඇතිවෙන්න ඉඩ තිබුණා. පාරිභෝගිගකයා වැඩිපුරම පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවල මිල අඩු වූ විට උද්ධමනය අඩුවිය හැකියි. උදාහරණයක් වශයෙන් වැඩිපුර පරිභෝජනය කරන හාල්වල මිල අඩුවූ විට උද්ධමනය අඩුවිය හැකියි. එහෙත් ලුණු පැකට්ටුවක මිල අඩුවූවා යැයි උද්ධමනය අඩුවන්නේ නැහැ. එයට හේතුව එය අවම වශයෙන් පාවිච්චි කරන ද්‍රව්‍යයක් වීමයි.
මහ බැංකුව අප සමඟ මිත්‍රත්වයෙන් ක්‍රියා කරනවා. දෙපාර්ශ්වයේම මතවල සමතුලිතතාවක් තිබෙනවා. කාගේවත් බලපෑමකට අපි රාජකාරි කරන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වුණාට අපි වෙනස් වන්නේ නැහැ. දේශපාලනඥයන්ට ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙත් අපට පදනමක් නැතුව නිවේදන නිකුත් කරන්න බැහැ. අපි නිර්ණායක ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර නිර්ණායක මත පමණයි. එහෙම නැතුව අපට පමණක් වෙනස් නිගමනවලට එන්න බැහැ.
2022 වසරේ අදාළ මාසය සමඟ සංසන්දනය කරලයි 2023 එම මාසයට අදාළව දත්ත ඉදිරිපත් කරන්නේ. 2022 ඉහළම උද්ධමනයක් පැවැති වසරක්. එය හා සංසන්දනය කරන විට 2023 උද්ධමනය පහළ බැසීම කැපී පෙනෙන ලෙස දිස්වෙනවා. මේ නිසා තමා 2023 මේ වනවිට උද්ධමනය අඩුවෙන බව ප්‍රකාශ වෙන්නේ. ඒත් ජනතාව බලාපොරොත්තු වන්නේ උද්ධමනය අඩු වනවිට එයට සමාන්තරව මිල මට්ටම පහළ යාවි කියලා. එහෙත් එම අදහස ප්‍රායෝගික නැහැ. ඒ මොකද උද්ධමනය කියන්නේ මිල ඉහළයාමේ වේගය මැනීමයි. එහිදී සිදුවන්නේ මිල ඉහළ යාම අඩුවීමක් මිස මිල පහළ යාමක් නොවෙයි.
උද්ධමනය මැනීම සඳහා මිල ගණනය කෙරෙන්නේ කොළඹ නගරය තුළින්මය යන්නද වැරදි අදහසක්. ඒ මොකද කොළඹ පාරිභෝගික මිල දර්ශකය සඳහා කොළඹ කොළඹ නාගරිකය තුළත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහා දිස්ත්‍රික්ක 25ම මිල ගණන් ගන්නා නිසා, ඒ අනුව කොළඹ පමණක් නොව පිට පළාත්වලත් භාණ්ඩ හා සේවා මිල ගණන් සලකා බැලෙනවා. මේ දෙඅංශයේම උද්ධමන අනුපාතිකය වෙනස් විය හැකියි. ඇතැම් විට නගරයට වඩා ගම්බද අනුපාතිකය අඩුවන්න පුළුවන්. ඇතැම් භාණ්ඩවල වැඩිවන අවස්ථාද තිබෙනවා. භාණ්ඩ 135 සලකා බැලෙන අතර සතියකට වරක් සති දෙකකට වරක් මාසයකට වරක් හෝ කාර්තුවකට වරක් ආදී වශයෙන් මිල ගණන් ලබාගන්නවා. වෙනස්විමේ සම්භාවිතාව අනුව මාළු, මස්, බිත්තර, හාල්, පොල්, එළවළු වර්ග ආදියේ මිල සතිපතා ගන්නවා. කුළු බඩු වර්ගවල මිල ගන්නේ සති දෙකකට වරක්. ධාන්‍ය වර්ග මසකට වරක්ද ගොඩනැගිලි ද්‍රව්‍ය කාර්තුවට වරක්ද ආදී වශයෙන් මිල ගණන් ගන්නවා. මේ සියල්ල සලකා බලා කරන බර තැබීම් පාදක කරගෙන තමා උද්ධමනය මනින්නේ.
මිල වැඩිවීමේ වේගය නිසා උද්ධමනය අඩුවෙද්දී ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන්. මිල මට්ටමට උද්ධමනයෙන් බලපෑම් කරන්නේ නැහැ. ඒවා ස්වාධීනවයි හැසිරෙන්නේ. අන්තර්ජාතික ප්‍රමිතිවලට අනුව තමා අප කටයුතු කරන්නේ. එය කාගේවත් බලපෑම් නිසා වෙනස් වෙන්නේ නැහැ.
► බඩු මිල අඩු නොවේ නම් ජනතාවට වැඩක් නෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ උද්ධමනය පහළ බැස්සද ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නොයෑමට හේතු ගණනාවක් බලපවත්වන බවය. උද්ධමනය තනි ඉලක්කමකට පැමිණයද එයින් ජනතාවට සහනයක් නොලැබේ නම් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇති බව ඔහු කියයි.
''ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය ආකාර දෙකකින් ගණනය කරනු ලබනවා. ඒවානම් කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය සෙවීමේදී කොළඹ නාගරික සීමාව තුළ ස්ථාන 10කින් දත්ත එකතු කරනවා. මෙහිදී භාණ්ඩ වර්ග 426ක් යොදා ගැනෙන කරන අතර, එය 105කට අඩු කරලා කොටස් 12ක් යටතේ සලකා බලනු ලබනවා. මෙය ආහාර සහ ආහාර නොවන යනුවෙන් කාණ්ඩ දෙකකට බෙදනවා. මෙහි පදනම් වර්ෂය 2021 වන අතර, 2019 වසරේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලබාගත් තොරතුරු පදනම් කරගෙනයි ප්‍රකාශයට පත් කරන්නේ. මූලික බර තැබීම සඳහා අවශ්‍ය තොරතුරු 2019 දී සිදුකළ සමීක්ෂණයකින් තමා ලබාගෙන ඇත්තේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය දිවයිනේ සැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදියි සකස් කරනුයේ. එහිදී සෑම දිස්ත්‍රික්කයකම නාගරික ප්‍රදේශවලින් මධ්‍යස්ථාන 3 බැගින් තෝරාගෙන දත්ත රුස් කරනවා. මෙලෙස භාණ්ඩ සහ ආහාර නොවන අංශ අනුව දත්ත ඉදිරිපත් කරනවා. මේ අනුව උද්ධමනය පිළිබඳ නිර්මාපක සැකසීමේදි 2020-21 හා 22 යන වර්ෂවල ජනතා පාරිභෝගික රටාව අන්තර්ගත නොවෙයි. 2019 සමීක්ෂණය මත තමා අද දක්වා තොරතුරු ප්‍රකාශ කරන්නේ. මේ අතීත බර තැබීම නිසා වර්තමාන ජීවන වියදම් තත්ත්වය ප්‍රකාශ නොවන බැවින් ඒවා අදට ගැනීම සාධාරණ නැහැ. හැබැයි ඉතින් මේ තත්ත්වය වෙනස් කිරීම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට තනිව කළ නොහැකි අතර රජයේ සෙසු පාර්ශ්වද සහාය දැක්විය යුතු වෙනවා.
අද ජනතාවගේ ප්‍රශ්නය වන්නේ උද්ධමනය අඩුවීමට සමගාමීව ස්වකීය ජීවන වියදම පහළ නොයාමයි. උද්ධමනය පහළ වැටුණද භාණ්ඩ හා සේවාවල මිල එයට සමගාමීව පහළ නොවැටෙන බවට ඔවුන් චෝදනා කරනවා. ඒ නිසා ඔවුන් මේ උද්ධමනය පහළ යනවා යැයි කියන කතාව පිළිගන්නේ නැහැ. තමන්ට අවශය බඩුවල මිල පහළයාම මිස උද්ධමනය පහළ යාම නොවන බව ඔවුන් කියනවා. ජනතාවගේ පැත්තෙන් මේ කතාවේ යම් සත්‍යතාවක් තිබෙන වග පැවසිය යුතුයි.
2023 පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 50.6ක් වූවා. ජූනි වනවිට එය සියයට 12 දක්වා පහළ වැටුණ බව ප්‍රකාශ වෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 ජනවාරිවල තිබූ සියයට 53.2 වූ උද්ධමනය මැයි මාසය වනවිට 21.1 දක්වා පහළ ගිය බව වාර්තා වුණා. පිට පළාත්වල ලොකු වෙනසක් නොවුණත් ජාතික පාරිභෝගික මිල දර්ශනය අනුව 2023 ජනවාරිවල උද්ධමනය සියයට 53.2 ලෙසද මැයි මාසයේ 21.1 ලෙසද සඳහන්ව තිබුණා.
ජනතාව බලාපොරොත්තු වන්නේ උද්ධමනය අඩු වූ විට තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙයි කියලයි. එහෙම අඩු නොවනවා නම් ඔවුන්ට ඉන් ඇතිවන සෙතක් නැහැ. 2021 පැවැති මට්ටමට මාසික උද්ධමනය අඩුවිය යුතුයි. එහෙත් එලෙස සිදුවන බවක් පෙනෙන්නට නැහැ. ජනතාවට ලැබෙන ආදායම අනුව පවතින භාණ්ඩ හා සේවාමිලට මුහුණ දීමට නොහැකියි. එයට හේතුව වන්නේ උද්ධමනය ඉහළ ගිය විට එයට සමානුපාතිකව ඔවුන්ගේ වැටුප් වැඩි නොවීමයි. එය උද්ධමනය වැඩි කාලේ කළ යුතුව තිබුණු දෙයක්. එසේ නොකර උද්ධමනය අඩු වූ විට ජනතාවට සිදුවන වාසියක් නැහැ. ඒ මොකද ඔවුන්ට වැඩිවූ උද්ධමනයට සමානුරෑපීව වැටුප් සකස් නොවුණු නිසා. උද්ධමනය අඩුවීමෙන් ජනතාවට යහපතක් සිදුවන්න නම් වැඩි වූ උද්ධමනයට සමානුපාතිකව ඔවුන්ගේ වැටුප සකස් වී තිබිය යුතුයි. නැතිනම් ජීවන ශක්තිය වැඩිවිය යුතුයි. මාසික ස්ථාවර වැටුපක් ගන්නා සේවකයන්ගේ පමණක් නොව සෑම දෙනාගේම ආදායම වැඩිවිය යුතු වෙනවා.
2022 වසරේ සැප්තැම්බර්වල උද්ධමනයේ ඉහළ අගය වාර්තා වූවා. ඒ අනුව වැටුප් ලැබිය යුතුයි. එහෙම නොකර මේ සැප්තැම්බර්වල උද්ධමනය පහළ ගියා යැයි ජනතාවට සිදුවන සහනයක් නැහැ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද පවතින ආදායම හා වියදම පිළිබඳ සමීක්ෂණයක් කළා නම් සත්‍ය තත්ත්වය නිරෑපනය වෙනවා. එසේම මිල දර්ශකය තැනිමට උපයෝගී කර ගන්නා සාධකද අදට ඔබින සේ යාවත්කාලීන කළ යුතුයි. එහෙම නැතුව 2019 වර්ෂය පාදක කරගෙන නිකුත් කරන දත්තවලින් නියම තත්ත්වය නිරෑපණය වන්නේ නැහැ.
I යසවර්ධන රුද්රිගු