යාචකයකුගේ සිට කෝටිපතියකු දක්වා දිගු ගමනක් ගිය මිනිසෙක් ඉන්දියාවේ වෙසේ. දැන් ඔහු ලොව ධනවත්ම යාචකයාය. භාරත් ජේන් නමැති ඔහුගේ ශුද්ධ වටිනාකම රුපියල් කෝටි 7.5ක් බව වාර්තාගතය. මෙම රුපියල් කෝටි 7.5ක (ඩොලර් මිලියනයක) ශුද්ධ වටිනාකමෙන් භාරත් ජේන් හිඟමනෙන් උපයා ඇති මුදල ඉතා අල්පය. ඔහුගේ මාසික ආදායම රුපියල් 60,000ත් 75,000ත් අතර පරාසයක පවතී. එය සැලකිය යුතු මුදලකි.
අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ඉන්දියාවද දරිද්‍රතාවය පිළිබඳ ප්‍රශ්නයෙන් පීඩා විඳියි. එහි වීදිවල යාචකයන් සිටීමද ප්‍රශ්නයකි. යාචකයන් බොහෝවිට සැලකෙන්නේ වෙනත් පැවැත්මක් නොමැති සහ අන් අයගේ පුණ්‍යාධාර මත යැපෙන අසරණ පුද්ගලයන් ලෙසය. කෙසේ වෙතත්, ලොව ධනවත්ම යාචකයා වන භාරත් ජේන්ගේ කතාව මෙම සාම්ප්‍රදායික පිළිගැනීමට අභියෝගයකි.
භාරත් ජේන්ගේ ආරම්භයේ සිට ධනවත් යාචකයකු බවට පත්වූ ගමන සැබවින්ම අසාමාන්‍යය. මූල්‍යමය වශයෙන් දුෂ්කර පවුලක උපත ලැබූ ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වූ අතර එමඟින් ඔහුට ස්ථාවර රුකියාවක් සොයා ගැනීමේ අපේක්ෂාවන් සීමා විය. මෙම බාධා මධ්‍යයේ වුවද, භාරත් ජේන් තම සාම්ප්‍රදායික නොවන වෘත්තිය තුළින් තමාට සහ තම පවුලට ජීවිතයක් නිර්මාණය කිරීමට සමත් විය.
ඔහු වෙනත් යාචකයන්ගෙන් වෙනස් වූයේ අනුන්ගෙන් ධනය රුස් කිරීමට ඇති හැකියාව පමණක් නොව දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ඔහුගේ සූක්ෂ්ම ආයෝජනයන් නිසාය. ඔහුට රුපියල් කෝටි 1.2ක් වටිනා මුම්බායිහි නිදන කාමර දෙකකින් යුත් මහල් නිවාසයක් සහ තානේහි රුපියල් 30,000ක මාසික කුලී ආදායමක් උපයන සාප්පු දෙකක් තිබේ. යාචකයකු ලෙස ජීවිකාව සලසා ගන්නා අතරම එකවරම දේපළ වෙළෙඳාම් ජාලයක් ගොඩනගාගත් භාරත් ජේන්, යාචක ලෝකය තුළ දියුණු වීමට සමත්ව ඇති ආකාරය ඇත්තෙන්ම විශිෂ්ටය.
භාරත් ජේන් බොහෝවිට චත්‍රපති ශිවාජි ටර්මිනස් හෝ අසාද් මයිඩාන් වැනි ප්‍රධාන ස්ථානවල දැකගත හැකිය. ඇත්තෙන්ම ඔහුගේ යාචක ජීවන රටාව පවත්වා ගැනීම ආගන්තුකයන්ගේ ත්‍යාගශීලීභාවය මත රඳා පවතී. පැය 10ත් 12ත් අතර කාලයක් තුළ දිනකට රුපියල් 2000-2500ක් එකතු කර ගැනීමට ඔහු සමත් වෙයි. එය බොහෝ වැඩ කරන පුද්ගලයන් දිගු වේලාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසුව පවා ලබා ගැනීමට අරගල කළ යුතු තරමේ මුදලකි.
භාරත් ජේන් මේ වනවිට විවාහක පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ඔහු කළ කැපවීම ප්‍රශංසනීය වන අතර ඔවුන් දෙදෙනාම තම අධ්‍යාපනය සාර්ථකව නිමකර ඇත. මෙම ජයග්‍රහණය භාරත් ජේන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමීමට ඔහුගේ අධිෂ්ඨානය පිළිබඳ සාක්ෂියකි. නමුත් ඔහු සතු සැලකිය යුතු යාචක ධනය සහ විකල්ප ආදායම් මාර්ග තිබියදීත්, භාරත් ජේන් මුම්බායි නගරයේ වීදිවල හිඟාකමින් සිටිනු දක්නට ලැබේ. නමුත් දැන් මෙතරම් විශාල ධනයක් ඇති අයකු දිගින් දිගටම පාරේ හිඟාකන්නේ මන්දැයි වටහා ගැනීම ප්‍රහේළිකාවකි. ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේද ආයාචනා නොතකා, මෙම කාර්යයේ දිගටම රැඳී සිටීමට ඔහුගේ තේරීම ප්‍රහේළිකාවකි. බොහෝ අය තර්ක කරන්නේ මෙය සිඟාකෑම සඳහා ඔහුගේ කැපවීම සහ ඒ සඳහා ඇති අත්හැර නොගත හැකි පුරුද්ද, හෝ සෙසු යාචකයන් සමඟ ඇති කරගත් ප්‍රජාව පිළිබඳ සමූහ හැඟීම හෝ ඔහුට දානය පිරිනමන පුද්ගලයන් සමඟ ඔහුගේ අන්තර් සබඳතාවලින් ඔහු ලබන චිත්තවේගීය තෘප්තිය යන කාරණා කිහිපයකම එකතුවක් බවයි.
I සුගත් පී. කුලතුංගආරච්චි