2023 ජුලි 15 වන සෙනසුරාදා

හිරුගෙන් පණ ලබන බොල්ගොඩ බෝට්ටුව

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 67

පසුගිය කාලය පුරාවට රට තුළ පැවැති විවිධ අර්බුදකාරී තත්ත්වයන් සංචාරක කර්මාන්තයටද ප්‍රබලව බලපෑවේය. නමුත් මේ වනවිට ක්‍රමක්‍රමයෙන් සංචාරකයන් මෙරටට පැමිණීමේ යම් වැඩිවීමක් දක්නට ඇත. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ නියැලෙන ජනතාවට මඳ අස්වැසිල්ලක් ලැබී තිබේ. විදේශ සංචාරකයෝ නිදහසේ පරිසරයට විඳින්නට වැඩි කැමැත්තක් දක්වති.

මේ වනවිට සංචාරකයන් වඩාත් ප්‍රිය කරන බෝට්ටු ගමනාගමන සේවයක් බොල්ගොඩ ගඟේ ක්‍රියාත්මක වේ. විශේෂත්වය වන්නේ මෙම බෝට්ටු ක්‍රියාත්මක වන්නේ සූර්ය බලයෙන් වීමයි. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ අවන්ත අතපත්තු මෙම සංකල්පයේ හිමිකරුවා වේ.

''තාක්ෂණය පැත්තට මගේ තිබුණු කැමැත්ත සහ ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යන්න තිබුණු ආසාව නිසා 2013 වසරේදී සූර්ය බලයෙන් බලශක්තිය ලබාගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ ව්‍යාපාරය පටන්ගත්තේ විදෙස් රටවලින් පැනල් ගෙන්වා ඒවා මෙරට සවි කිරීමෙන්. 2015 වසරේදී අප රටේ සූර්ය බලයෙන් බෝට්ටු ක්‍රියාත්මක කිරීම පරීක්ෂණ මට්ටමින් ආරම්භ කළා.'' යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අවන්ත අතපත්තු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව 2018 වසරේදී සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන පළමු යාත්‍රාව නිෂ්පාදනය කෙරුණි. එතැන් සිට ඔවුන් පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යමින් 100% ක් සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන 100% ක් ලාංකික නිෂ්පාදනයක් වන යාත්‍රා නිපැයුම ආරම්භ කර ඇත. මේ වනවිට දේශීය අවශ්‍යතා සඳහා බෝට්ටු නිෂ්පාදනය කරන අතර බංග්ලාදේශය, අප්‍රිකාව, ඉන්දියාව වැනි රටවලටද අපනයනය කිරීමේ අවස්ථාව උදා වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔවුහු පුරෝගාමී වී සිටිති.

ශ්‍රී ලංකාව හොඳින් හිරු එළිය පවතින රටකි. මේ අනුව බෝට්ටුවක වහළය සම්බන්ධයෙන් ගත් කල එහි ප්‍රමාණය වැඩිය. ඒ අනුව යාත්‍රාවේ වහළය මත සූර්ය පැනල සවිකර බලශක්තිය ලබාගැනීමට කටයුතු කිරීමෙන් වැඩි වාසියක් ලබාගැනීමේ හැකියාව පවතී.

බෝට්ටුවේ ඇති තාක්ෂණික තත්ත්වය ගැන සැලකිලිමත් වුවහොත් ඒ සඳහා ඉන්ධන අවශ්‍ය වන්නේ නැත. සූර්ය බලශක්තියෙන් දහවල් කාලයේදී නිෂ්පාදනය කරනු ලබන විදුලිය බෝට්ටුවේ ඇති විශාල අධි තාක්ෂණික බැටරියට ගබඩා කිරීමේ පහසුකම් ලබා දී ඇත. ඒ හරහා යාත්‍රාවේ විදුලි මෝටරය ක්‍රියාත්මක වේ. ධීවර යාත්‍රාවක් හෝ වෙනත් යාත්‍රාවක් ක්‍රියාත්මක කිරීමට භූමිතෙල්, පෙට්‍රල් වැනි ඉන්ධන අවශ්‍ය වුවද මේ යාත්‍රාව සඳහා එවැනි කිසිවක් අවශ්‍ය නොවේ. ඉන්ධන පිටනොවන නිසා කිසිදු පරිසර හානියක්, ජල හානියක් සිදුවන්නේ නැත. මෙම යාත්‍රාවෙන් විශාල ශබ්දයක්ද නිකුත් නොවේ. එමගින් ජලජ ජීවීන්ට අහිතකර බලපෑම් ද සිදුවන්නේ නැත. ඒ අනුව මෙය පරිසර හිතකාමී යාත්‍රාවකි.

''බෝට්ටුව මිලදී ගන්නා කෙනකුට මූලික වියදම හැරුණාම අමතරව මුදලක් වැය වන්නේ නෑ. සංචාරක ගමන් බිමන්වලට යොදාගනු ලබන ඩීසල් බෝට්ටුවක් සඳහා දිනකට ඉන්ධන සඳහා විශාල මුදලක් වෙන් කිරීමට සිදුවෙනවා. නමුත් එවැනි වියදමක් මෙම යාත්‍රාවට දැරීමට සිදුවන්නේ නෑ. එමෙන්ම කිසිදු දුමාරයක් පවා නොමැතිව නිදහසේ පක්ෂීන් වැනි සතුන් පවා ළඟටම ගොස් නැරඹීමේ හැකියාව තිබෙනවා. මෙයින් සතුන් නිරීක්ෂණය කිරීමේ හැකියාව වැඩිපුර පවතිනවා. ඒ නිසා මෙම යාත්‍රාවෙන් පරිසරය නැරඹීමට සංචාරකයන් බොහෝ කැමතියි. දහවල් කාලයේදී හිරු එළිය පවතිනවා නම් දහවල් පුරාවට එම සූර්ය බලයෙන් බෝට්ටුව ක්‍රියාත්මක කරගන්න පුළුවන්. දහවල් කාලයේදී ගබඩා කරගත් විදුලිය මගින් රාත්‍රී කාලයේදී පැය හතරක් කාලයක් කිලෝමීටර් හැටක පමණ දුරක් යාත්‍රා කළ හැකියි. මෙය සංචාරක ගමනාගමනයට කදිම ඉතා සුවපහසු යාත්‍රාවක්. මෙම යාත්‍රාව තුළ සාදයක් වුණත් පැවැත්විය හැකියි. යාත්‍රාව තුළ සංගීතය රසවිඳිය හැකි පහසුකම්ද සලසා තියෙනවා.'' යැයි වෛද්‍ය අවන්ත අපොන්සු මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඒ අනුව මේ වනවිටත් මෙම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන යාත්‍රාව සඳහා වැඩි කැමැත්තක් ලබා දී ඇත්තේ සංචාරකයන් සහ විනෝදකාමී ජනතාවය. මේ දක්වා බොල්ගොඩ ගඟේ මෙම යාත්‍රාව සඳහා වැඩි ඉල්ලුමක් ලැබී ඇත්තේ කුඩා සාද පැවැත්වීමටය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් යාත්‍රාවටම ලබා දී තිබේ. ඇතැම් සංචාරකයන් රාත්‍රී කාලයට බොල්ගොඩ ගඟේ යාත්‍රා කිරීමට කැමතිය. ඒ අනුව යාත්‍රාවේ ඇති විදුලි එළියෙන් රාත්‍රී අසිරිය විඳගත හැකිය. වැඩි විස්තර 0711692567 – 0703727241 අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

(විශේෂ ස්තූතිය ව්‍යාපෘති ඉංජිනේරු කල්හාර හතුරසිංහට)

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ