2023 ජුලි 15 වන සෙනසුරාදා

නෑ කියන පවුල්වලට බෑ කියන එළුවෝ

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 121

අඩු ආදායම්ලාභී පවුල්වල දිවි සරි කරන්නට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිළිබඳ වර්තමානයේ සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ අතර පසුගියදා අපට දැනගන්නට ලැබුණේ අඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වීමට යන බව කියැවෙන පුවතකි. මෙම පුවත තරමක් සුවිශේෂී වූයෙන්, ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට අපි තීරණය කළෙමු.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගිය ජූලි 9 වැනිදා සංවිධානය වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රන්න වාඩිගල ප්‍රදේශයේදීය. මෙම වැඩසටහන යටතේ වසර පහක් තුළ එළුවන් 70,000ක් අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීමට නියමිතය. එක පවුලකට එළුවන් තිදෙනකු ලබාදීම මෙම ව්‍යාපෘතිය හා සිදුවන බව පසුගියදා අනාවරණය විය.

ග්‍රාමීය ප්‍රදේශවල විරුකියාවෙන් පෙළෙන එළු පාලනය කැමති තරුණයන් අතර මෙම එළුවන් බෙදාදීම සිදුකරන බව සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් පවසා තිබුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාය. පසුගිය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය වාර්තා කර තිබූ පරිදි මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වැය කිරීමට යෝජනා වී තිබුණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය සමයේ පෙන්වාදී තිබූ ආකාරයට මෙරට තුළ එළු පාලනය පුළුල්ව සහ විධිමත් ආකාරයකින් සිදු නොවේ. ඒ නිසාවෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කිරීමට මෙරට වෙළෙඳපොළට සිදුව තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ එළු පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් යටතේ සිදුවුවහොත් එම තත්ත්වය වෙනස් වනු ඇත.

එළු පාලනය පිළිබඳ සැලකීමේදී එළු කිරි සහ එළු මස්වලට අමතරව, එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය කිරීම තුළින්ද ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකියාවක් පවතී. මේ සඳහා සුදුසු එළුවන් වර්ග හඳුනාගෙන, විධිමත් සහ විද්‍යාත්මක වැඩපිළිවෙළක් යටතේ එළු පාලනය මෙරට තුළ සිදුකළ කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. පමාවී හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම කටයුත්තට අත ගැසීමට තීරණය කිරීම අගය කළ යුත්තකි.

සත්ව පාලනය පිළිබඳ සැලකීමේදී එළු පාලනය යනු සාපේක්ෂව පහසුවෙන් සිදුකළ හැකිය. කුඩා ඉඩ කඩක වුවද ඒ සඳහා ප්‍රමාණත්ය. එළුවන් දැඩි සත්ව කොට්ඨාසයක් වීමත් බොහෝ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීම ඊට හේතුවකි. එසේම මෙම සත්ව විශේෂය හැසිරවීමේ පහසුව නිසාවෙන්, ගෘහාශ්‍රිතව මෙම කර්මාන්තය සිදු කිරීමට ගොවීන්ට හැකිය. පැටවුන් පෝෂණය කිරීමේ කටයුත්තද වෙනත් සත්තු පාලනයන්ට සාපේක්ෂව තරමක් පහසුය.

ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන වර්ගයේ එළු විශේෂ මගින් වැඩි ආදායමක් උපයා ගත හැකියාවක් පවතී. ඒ අනුව මෙම වර්ගවලට අයත් උසස් තත්වයේ එළු විශේෂ අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් සිටී. මෙම වසර අවසන් වනවිට එළුවන් 70,000ක් ලබාදෙන අතර 2024 වසරේදී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවනු බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර තිබුණි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල එළු පාලනය ඉතා හොඳින් සිදු කළ හැකිය. එහෙත් එළු පාලනය සඳහා වඩාත් ගැළපෙන දිස්ත්‍රික්ක පළමු අදියරේදී තෝරා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරයි. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 ක්‍රියාත්මක වීම ඇරඹුණි. එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදාදීම පසුගියදා සිදුවිය.

කෙසේ වෙතත් වාර්තා වන පරිදි මෙම ව්‍යාපෘතිය විශේෂත්වය නම් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් බෙදාදීමට සහ එළු පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාදීම පෞද්ගලික අංශයේ සහයෝගයද රජය විසින් ලබා ගැනීමයි. එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන විධිමත්ව ගොවීන්ගෙන් මිලදී ගැනීමට ද මෙම ආයතන මැදිහත් වනු ඇතැයි කියැවේ. ඒ අනුව මෙහිදී ක්‍රියාත්මක වන්නේ නැවත මිලදී ගැනීමේ (Buy Back) ක්‍රමවේදයකි.

මෙය හරහා ගොවීන් සඳහා වෙළඳපොළ සුරක්ෂිත වනු ඇතැයි අපේක්ෂා කර කළ හැකිය. මෙහිදී සිහිපත් කළ යුත්තේ මෙරට බොහෝ ගම්බද ප්‍රදේශවල සහ මුස්ලිම් ජනයා අතර මීට දශක කිහිපයකට ඉහතදී එළු පාලන සාර්ථක ආදායම් මාර්ගයක්ව පැවති බවයි. වෙළෙඳපොළ සුරක්ෂිත බවක් නොවීම සහ නිවැරදි තාක්ෂණික දැනුම නොතිබීම හේතුවෙන් ග්‍රාමීය ජනයා මෙම කටයුත්තෙන් බැහැර වී තිබේ. එවන් වටපිටාවක් තුළ රජයේ මෙම මැදිහත්වීම එළු පාලනය සම්බන්ධව සාධනීය තත්ත්වයක් යැයි අවසානයේ සඳහන් කළ හැකිය.

I  චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02