නින්දට වැටුණු පළා බබා කූද්දන්නට කෙනෙක් නැතුවාය. එහෙත් පළා බබා පිළිබඳ දුක්ගැනවිලි සේම මන්ත්‍රණ කුමන්ත්‍රණ ද බොහෝය. පළා බබා යන අන්වර්ථ නාමයෙන් දේශපාලන කරළියේ කවුරුත් හඳුන්වන පළාත් සභා ක්‍රමය පිළිබඳ තරමක් ආන්දෝලනාත්මක පුවතක් පසුගිය සතියේ අප වෙත වාර්තා විය. එම පුවතට අනුව කියැවුණේ පළාත් ඇමැති බලතල සහ කාර්යයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවකි.
මෙම පුවතට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ 2017 වසරේ සිට අක්‍රිය වී පවත්නා පළාත් සභාවල කටයුතු සක්‍රිය කිරීම සඳහා මෙම සැලසුම ක්‍රියාවේ යොදවනු ඇති බවකි. මෙම යෝජනාවට අනුව පළාත් සභාවල ස්ථාපනය කර තිබූ අමාත්‍යංශවල විෂය කාර්යයන් හා බලතල ඒ ඒ පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පැවරීමට නියමිතය. කෙසේවෙතත් මේ හා සම්බන්ධ කිසිදු නිල දැනුම්දීමක්, ප්‍රතික්ෂේප කිරීමක් හෝ සාකච්ඡාවක් ඉකුත් සතිය තුළ නිරීක්ෂණය නොවුණි. එහෙත් නොනිල මට්ටමෙන් යම් යම් දෑ සිදුවූවා විය හැකිය.
සාමාන්‍යයෙන් පළාත් සභාවක විධායකය බවට පත්වන්නේ මහ ඇමැතිවරයා සහ පළාත් අමාත්‍ය මණ්ඩලයයි. ඒ අනුව පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව තවත් අමාත්‍යවරුන් 4 දෙනකු පත්කිරීමට ප්‍රතිපාදන පවතී. පැතිර යන ආරංචි අනුව ආණ්ඩුව මේ සූදානම් වන්නේ පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පළාත් සභාවල අමාත්‍යවරුන්ගේ බලතල ඒ ඒ පළාත්වල පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ගෙන් සුදුස්සන් තෝරා ඔවුනට පැවරීමටයි. කෙසේවෙතත් පළාත් සභා විසිර යාමෙන් පසු පළාත් ඡන්ද මේ දක්වා නොපැවැත්වීම හේතුවෙන් පළාත් සභා අමාත්‍යවරුන් හා ප්‍රධාන අමාත්‍යවරයාගේ බලතල ආණ්ඩුකාරවරයා මගින් මෙතෙක් ක්‍රියාත්මක කෙරිණි.
කෙසේවෙතත් මේ හා සම්බන්ධ නෛතික ක්‍රියාවලිය අතිශය සංකීර්ණ එකක් වනු ඇත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්ථාපිත පළාත් සභා කෙරෙහි මෙම තීන්දු ඍජුව බලපානු ලබයි. විවෘත, සංවෘත සහ සමගාමී යන ලැයිස්තු තුනක් හරහා පළාත් සභා විෂය කාර්යය බලතල නීත්‍යානුකූලවම වෙන්කොට දක්වා තිබේ. එම නිසාම පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ඇතැම් පනත් පවා නැවත පළාත් සහාවල සම්මත කර ගැනීමට සිදුවේ. එවන් වටපිටාවක් තුළ පළාත් සහා බලතල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරීම ව්‍යවස්ථා අර්බුදයකට පවා හේතු විය හැකිය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම යෝජනාවේ නීතිමය තත්ත්වය ගැන ජනාධිපති කාර්යාලය මේ වනවිට නීතිපතිවරයාගෙන්ද උපදෙස් පතා ඇත. එසේම ඉදිරි සතියේ ආරම්භ වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදීද ශ්‍රී ලංකාවේ පළාත් සභා පිළිබඳ නියත වශයෙන්ම කථිකාවක් නිර්මාණය වනු ඇත. මෙම සංචාරය නිසාම උතුරේ දේශපාලනඥයෝ ද පළාත් සභා ක්‍රමය පිළිබඳව මේ දිනවල විශේෂ අවධානයකින් පසුවෙති.
ඒ අනුව නෛතික කරුණු පසෙකින් තැබූ විට මෙය දේශපාලන වශයෙන් අති සංවේදී ජාතික සහ ජාත්‍යන්තර මාතෘකාවකි. පළාත් සභා ක්‍රමය තුළ සිදුකෙරෙන ඕනෑම පරිමාවක වෙනස්කමක් පිළිබඳ පාර්ලිමේන්තු විපක්ෂයට අමතරව උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ, දමිළ ඩයස්පෝරාව, තමිල්නාඩු දේශපාලනය සහ ඉන්දීය මධ්‍යම රජයද මැදිහත්කරුවන් වනු ඇත.
කෙසේවෙතත් මෙහිදී අවධාරණය කළ යුත්තේ පළාත් ඇමැති බලතල සහ කර්යයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප කිසිවකු තුළ නිශ්චිත අවබෝධයක් නොමැති බවයි. එම නිසාම මෙහි ව්‍යූහාත්මක හෝ න්‍යායාත්මක පදනම පිළිබඳ නොදැන සාධාරණ විවරණයක් කිරීමට අවකාශ උදා නොවේ. එසේ නමුත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගෙන් තොරව පාලනය වන දේශපාලන වටපිටාවක් නිර්මාණය වී ඇති බවද අමතක නොකළ යුතුය.
ඒ අනුව වඩාත් සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය නම් මැතිවරණ පැවැත්වීමයි. ඒ හරහා සිය අභිමතය පරිදි මහජනතාවට මෙම ආයතයනවල විෂය කාර්යයන් සහ බලතල ක්‍රියාවට නැංවීම සඳහා නියෝජිතයන් තෝරාගත හැකිය. කෙසේවෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඇසෙන තර්ක කිහිපයක් ද වේ. මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැති නම්, දැනට රට තුළ ඉතිරිව සිටින මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම බලතල සහ කාර්යයන් පැවරීම නුසුදුසු වන්නේ ඇයි? මෙය ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලින් ඇසෙන කතාවකි.
කෙසේවෙතත් අවසානයේ සඳහන් කළ යුත්තේ මෙය අතිශය සංකීර්ණ සාකච්ඡාවක පළමු පරිච්ඡේදය බවයි. මෙහි ලප් තැනම ලොප්වීමේ අවදානමක් ද පවතින බව සැබෑය. එහෙත් මෙම යෝජනා විශාල දේශපාලන කාලගෝට්ටියක් නිර්මාණය කළ හැකිය. අපි බලා සිටිමු.
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යම් කියැවීමක් තිබෙන කෙනෙක් විදිහට, මම විශ්වාස කරනවා මේ බලතල පැවරීම ප්‍රායෝගිකව පහසු නෑ කියන එක. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ පළාත් සභාවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඍජුව බලතල පවරල තියෙන්නේ.
මට හිතෙන්නෙ නෑ ඍජුව බලතල පැවරීමකට නම් යා හැකියි කියලා. නමුත් අපට ප්‍රායෝගිකව යම් උපකරණයක් හදාගන්න පුළුවන්. පළාත් සභාව මහජන නියෝජිතයන්ගෙන් තොරව පවතින අවස්ථාවක පළාත් සභා හරහා සිදුවන මහජන සේවා සම්බන්ධ යම් සම්බන්ධීකරණ මැදිහත්වීමක් ඇතිකර ගන්න. මොකද ලංකාවේ දැනට ඉන්නේ මහජන නියෝජිතයෝ වර්ග දෙකයි. එක පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. අනෙක් නියෝජනය ජනාධිපතිවරයා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජන බලවේගය මහලේකම්
පළාත් සභාවල ඇමැතිවරු සතු බලතල කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න බෑ. ඒක ව්‍යවස්ථා විරෝධීයි. ආණ්ඩුවට මේ දවස්වල පොඩි ඔළුවෙ අමාරුවක් හැදිලා තියෙනවා. පළාත් පාලන ආයතනවලත් ආයෙ බලය ගන්න යනවා. ඒකත් නීත්‍යානුකූලව කරන්න බැරි වැඩක්. මේකත් එහෙම වැඩක්.
මේ වගේ දේකට උත්සාහ කළොත් අපි අධිකරණයට ගිහිල්ලා සාධාරණත්වය බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව දැන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරගෙන තියෙනවා. මේ රටේ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් විදිහට පළාත් සභා ආවේ. ආණ්ඩුව උත්සාහ කරනවාද දන්නෙ නෑ ජාතිවාදය අවුස්සලා ආයෙ බලය රඳවා ගන්න. අපි කියන්නේ පළාත් සභා ඡන්දය තියන්න ඕනෑ.
ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් අල්විස්
පළාත් සභා සඳහා බලතල ලබා දී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මෙවැනි යෝජනාවක් සිදුවෙනවා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්න ඕනෑ. එවැනි පනතක් රුගෙන එද්දී එයත් අභියෝගයට ලක් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ. මගේ මතය නම් ජනතාවගේ ස්වෛරීත්වයට බලපෑම් කරන්න මෙවැනි කාරණා සම්බන්ධව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
පළාත් ඇමැතිවරුන් සතුව තියෙන්නේ විධායක බලය. මෙතන කියැවෙන්නේ අමාත්‍යවරුන් සතු ඒ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න කියලා. මෙතැනදී ශ්‍රී ලංකාවේ විධායකයේ ව්‍යුහය සම්බන්ධව ගැටලු වෙනවා. දැනට ආණ්ඩුකාරවරයාට එම බලතල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට ව්‍යවස්ථාවෙන් අවකාශය තියෙනවා.
I චමිඳු නිසල් ද සිල්වා