2023 ජුලි 15 වන සෙනසුරාදා

මහනුවර චමෝදි මැරුණද? මරාගත්තද?

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 164

සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සැපයුම් රෝහල් ආශ්‍රිත ගැටලු, ඖෂධ හිඟය හා ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග මෙන්ම ඒවා භාවිතයේ අනිසි විපාක ගැන දිගින් දිගටම තොරතුරු වාර්තා වේ. සීටී ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, නිර්වින්දන ඖෂධ නිසා වූ බරපතළ සිදුවීම් සහ අක්ෂි ශල්‍යකර්මවලට පසුව භාවිත කළ ඖෂධ නිසා වූ තත්ත්වයන් මෑත කාලයේ බරපතළය. මේ නිසා ඇතැම් රෝගීහු රෝහල්ගත වීමට හා ප්‍රතිකාර ලැබීමට පවා මැලිකමක් දක්වති. සංකීර්ණ විෂයක් වන සෞඛ්‍ය සේවය පිළිබඳ සෙසු ජනතාවට අවබෝධයක් ඇතත් නැතත් ඖෂධ නියාමන ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින බව දකින්නට ලැබේ.

එවැනි ගැටලු ගණනාවක් අතරමැද සෞඛ්‍ය සේවයේ අක්‍රමවත් බව පෙන්වන ප්‍රශ්න සහගත තවත් මරණයක් වාර්තා වූයේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ආශ්‍රිතවය. මෙහිදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ චමෝදි සංදීපනී ජයරත්න (21) නැමැති තරුණියකි. එම තරුණියගේ ළඟම ඥාතීන් පවසන්නේ ඇයට ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ පසුව ලබාදුන් එන්නතක් විෂ වීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වූ බවය. එබැවින් එම මරණය සැක සහිත බව කියමින් පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට ඇගේ ඥාතීහු කටයුතු කළහ.

මහනුවර යටිනුවර ප්‍රදේශයේ පිහිටි පොත්තපිටිය අලගල්ල ග්‍රාමයේ පදිංචිව සිටි චමෝදි සංදීපනී කොත්තුවක් ආහාරයට ගැනීම රෝගී තත්ත්වයට හේතු වී ඇතැයි කියති. ඒ පසුගිය 9 වැනිදාය. එයින් ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් ඇය කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරිණි. එදින එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලටම අයත් ගිලන් රථයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට රුගෙන ගොස් ඇත. තරුණියගේ මවද ඇය සමඟම ගොස් තිබුණු අතර චමෝදි පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට තිබුණේ එදින පෙරවරු 9.00 ට පමණය. අනතුරුව පස්වරු 12.30 ට පමණ 7 වාට්ටුවට යොමු කළ තරුණියට ටික වෙලාවකට සේලයින් ලබා දී තිබුණි. අනතුරුව එම වාට්ටුවේ රාජකාරියේ නිරත හෙදියක විසින් ඇයට එන්නතක් ලබා දී ඇතැයි පැවසේ. එසැණින් ඇය ''අම්මේ ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ අත කකියනවා වගේ..'' යැයි කියා ඇතැයි පැවසේ. ඒ එදින සවස 3.00 ට පමණය. දැරියගේ අපහසුතාවය සම්බන්ධයෙන් මව විසින් හෙදිය දැනුම්වත් කොට තිබූ අතර එහිදී හෙදිය පවසා ඇත්තේ ''මේක ටිකක් සැර ඉන්ජෙක්ෂන් එකක්. ඕක හරියයි'' කියාය. ඒ අතරතුර තවත් එන්නතක් රෝගී තරුණියට ලබා දීමට හෙදිය ක්‍රියා කොට තිබුණි. 

එය ලබා දී තත්ත්පර කිහිපයක් ඇතුළත ''අම්මේ මගේ ඇස්වලින් සැරක් එනවා'' යැයි කියමින් සේලයින් බෝතලය අතට ගත් චමෝදි දිවගියේ වැසිකිළිය දෙසටය. ඇය පසුපසින් මවද දුව ගියාය. ඒ වන විටත් තරුණිය සින්ක් එකට ඔළුව තබාගෙන බර වී සිටියාය. ඒ වන විටත් ඇයගේ අතපය නිල් පැහැ ගැන්වී තිබිණි. ඒ සමඟම තරුණියගේ කටින් සෙම පිටවී තිබූ අතර මවගේ කෑගැසීම හමුවේ හෙදියන් කිහිප දෙනකු එතැනට දුවගෙන පැමිණ රෝගී තරුණිය වාට්ටුවට උස්සාගෙන පැමිණ ඇතැයි කියති. ඒ සමඟම තරුණියගේ පපුව තෙරපා යම් හදිසි ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කළද ඇය දෑස් නොඇරම මෙලොවින් සමුගෙන තිබුණි. 

මේ හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය මෙසේ කීවාය.

''දුව බඩ රිදෙනවා කීවා. බඩඑළිය හා වමනය තිබුණු නිසා සඳුදා කැටපිටිය රෝහලට ඇතුළත් කළා. අඩුවක් නොවුණු නිසා 11 වැනිදා පේරාදෙණිය රෝහලට රුගෙන ගියා. ගිලන් රථයෙන්මයි අරන් ගියේ. උදේ 10.00 ට විතර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළා. 7 වාට්ටුවට දැම්මේ දවල් වෙලා. තුනට විතර සේලයින් එකක් එහෙම දීලා තමයි ඉන්ජෙක්ෂන් එකක් ගැහුවේ. මිසී අනිත් පැත්ත හැරෙන්න කලින් තමයි දුව කීවේ ඇස්වලින් සැරක් එනවා, අත කකියනවා කියලා. ඒ ගමන් දුව වැසිකිළියට දිව්වා. එතන සින්ක් එකේ ඔළුළු තියාගෙන ඉද්දි සෙම ගියා. මම කෑගැහුවම නර්ස්ලා ඇවිත් දුව එක්කගෙන ගිහින් ඇඳේ තිබ්බා. ඊටපස්සේ දුව ආය කතා කළේ නෑ. මම කෑගහලා ඇහුවා ඇයි දුවට මෙහෙම බෙහෙතක් විද්දේ කියලා. එතන හිටිය හැමෝම බයවෙලා හිටියා. හොඳට කතා කරලා හිටපු දරුවා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසා තමයි.''

මෙම මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය මෙන්ම පේරාදෙණිය රෝහල මගින් වෙනම විමර්ශනයක් ආරම්භ කොට තිබුණි. ඒ අතර මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් සිදුකර මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙසේ පවසයි.

''රෝගියෙක් රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබද්දි ඔහු අපේක්ෂා නොකළ විදිහට මරණයට පත්වෙනවා නම් ඒක බරපතළ අර්බුදයක්. ඒක අර්බුදයක් නොවේ කියන්න කාටවත් බෑ. අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයට කියන්නේ මෙතන අර්බුදයක් තියෙනවා කියලයි. මෙතන ගැටලුවක් තියෙන බව පිළිගන්න. එතකොට විතරයි උත්තරයක් හොයන්න පුළුවන්. අපි දකින්නේ අමාත්‍යංශය දිගින් දිගටම ගැටලුවක් අර්බුදයක් නෑ කියන්න උත්සාහ දරන බවයි.''

මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙසේ පැවසීය.

''අපි පසුගිය දිනවල මේ ගැන දිගින් දිගටම පැමිණිලි කළා ජනාධිපති ලේකම් කාර්යාලයට, අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එතනදි සෞඛ්‍ය ඇමැතිවරයා අපහාසයෙන් උපහාසයෙන් අපිට මාධ්‍ය හරහා හිනා වුණා. කතා කළා. අපේ පැමිණිලි අනුව ජනාධිපති ලේකම් කාර්යාලය යම් විමර්ශනයක් සිදු කළා නම් ප්‍රශ්න සහගත ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීම ගැන විමර්ශනයක් කළා නම් මේ මරණය සමහර විට නොවෙන්න තිබුණා. මේ මරණය සිදුවෙනකම්ම අපිට මේ කරුණු කතා කරන්න ජනාධිපති ලේකම් කාර්යාලය අවස්ථාවක් දුන්නේ නෑ.''

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා, ''මේ රෝගියාට ලබා දී ඇත්තේ සෙෆ්ට්‍රිඇක්සෝන් කියන ප්‍රතිජීවක ඖෂධය. මෙය රෝහලේ නිතර භාවිත කරනවා. පසුගිය කාලේ මේ එන්නත් 2700 ක් රෝගීන්ට ලබා දී තිබෙනවා. ලංකාව පුරා රෝහල්වල මෙය භාවිත කරනවා. ඖෂධය නිසා මරණය වූ බවට සැක නෑ. නමුත් කලාතුරකින් වන අසාත්මිකතා කම්පනය නිසා මරණය වෙලාද කියලා සැක කරනවා. පරීක්ෂණ වාර්තා ලැබුණට පසුව එය තහවුරු කළ හැකියි.'' යැයි පැවසීය.

මෙම සැක සහිත සෙන්ට්‍රිඇක්සෝන් ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව පැවසේ. එම ඖෂධය රසායනාගාර පරීක්ෂණය සඳහා රජයේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර තිබේ.

සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්, එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයට ගෙවුණු මාස තුනක කාලය තුළ ඖෂධ විෂවීම නිසා මෙරට රෝගීන් දස දෙනකු මරණයට පත්වූ බවකි. මේ තත්ත්වය ඉදිරියේදී වැඩිවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද ඔහු දැඩිව අවධාරණය කළේය. එබැවින් මේ බරපතළ ගැටලුව සම්බන්ධයෙන් බලධාරින්ගේ ඍජු අවධානය යොමුවිය යුතුව තිබේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර