2023 ජුලි 22 වන සෙනසුරාදා

ටියුෂන් තෝරා ගැනීමත් ලේසි නෑ

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 142

අද නගරවල වගේම ගමේත් ටියුෂන් පන්තිවල දහස් ගණන් සිසුන් ඉගෙන ගන්නවා. නොතේරෙන විෂයයන්ගෙන් ගොඩ යාමට බහුලව දරුවන්ට උපකාරී වන්නේ ටියුෂන් අධ්‍යාපනයයි. විෂයයන් ගණනාවක් සතියට හැදෑරිය යුතු දරුවාට ඒවා එක වරකින්ම අවබෝධ කරගන්නට අමාරු විය හැකියි.  ජනප්‍රිය උපකාරක පන්තිවලට ගිහින් සමත්වීම වැඩිදෙනාගේ සිහිනයක්. මේ නිසා උපකාරක පන්ති වලට අද වනවිට විශාල ඉල්ලුමක් ලැබී තිබෙනවා. මේ නිසා පාසල දෙවැනි තැනට වැටිලා වගෙයි පෙනෙන්නේ.  පසුගිය වර්ෂ කිහිපය ඇතුළත උපකාරක පන්ති ව්‍යාපාරික මට්ටමින් වර්ධනය වී තිබෙනවා. පුවත්පත්, රූපවාහිනී දැන්විම් වගේම පෝස්ටර් බැනර් ආදියත් ටියුෂන් ගුරුවුරු පන්ති ගැන ප්‍රචාරය කිරීමට භාවිත කරනවා. මෑතක සිට සමාජ මධ්‍යවලත් මේ ප්‍රචාරණය සිදුවෙනවා. නමුත් පන්තියක් තෝරා ගැනීමට පෙර සිසුන් වගේම දෙමාපියන් ද කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් විය යුතුයි. තමන්ට හරියටම හරියන ටියුෂන් පන්තියක් තෝරාගත යුතුයි. එහෙම නොවුනොත්  බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නෑ. ඒ වෙනුවට සිදුවන්නේ කාලයත් මුදලුත් නාස්ති වීමයි.

පන්තියේ කොපමණ සිසුන් ඉන්නවාද?

හොඳ ප්‍රතිඵල පෙන්වන ජනප්‍රිය ගුරුවරයෙක්ගේ පන්තියක් වුවත් ළමුන් දහස් ගණනක්   සිටින පන්තියක ඉගෙන ගැනීමේ දී අමාරු විෂයය කරුණු    එක්වරම අවබෝධ කර ගැනීමට දුර්වල ළමුන්ට අපහසු වන්න පුළුවන්. ඒ ඔවුන්ට විශේෂ අවධානයක් යොමු කිරීමට ගුරුවරයාට අපහසු වීමයි.   මේ නිසා එවැනි සිසුන් තවතවත් දුර්වලවීමට ඉඩ තිබෙනවා. එතරම් සිසුන් නැති පන්තියකදී දරුවාගේ තත්ත්වය   අවබෝධ කරගැනීමට ගුරුවරයාට පහසුයි.

සුදුසුකම් මොනවද?

සමහර ගුරුවරු ජනප්‍රිය වුණත් අධ්‍යාපන සුදුසුකම් නැතිවෙන් ඉඩ තිබෙනවා. සමහරු උපාධිය අසමත් වුණත් උපාධිය ගැන පෝස්ටර්වල යෙදීම දැකගන්න පුළුවන්. සමහර විශ්වවිද්‍යාල සිසුන් පවා එසේ උපාධිය සඳහන් කර ටියුෂන් දෙන අවස්ථා තිබෙනවා.  මේ නිසා ගුරුවරයාගේ සුදුසුකම් ගැනත් හොයලා බලන්න ඕනේ.

මෙයට පෙර ප්‍රතිඵල

පන්තියට යන දක්ෂ සිසුන් කොහොමත් ඉහළින් සමත් වෙනවා. වඩාත් සලකා බැලිය යුත්තේ දුර්වල සිසුන් ගොඩදැමීමට හැකියාව ඇති ගුරුවරු ගැනයි. එවැනි ගුරුවරුන් ගැන තොරතුරු දැනගත හැක්කේ කලින් පන්තියට ගිය සිසුන්ගෙන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙනුයි. 

ගුරුවරයාගේ විනය‍ සහ පන්තියේ වටපිටාව

අද තරුණ අපචාර ගැන බහුලව අහන්න ලැබෙනවා. මේ නිසා ගුරුවරයා ඉගැන්වීමට දක්ෂ වූ පමණින් එම පන්තිය තෝරාගැනීම වෙනුවට ඔහුගේ චරිතය ගැනත් සොයාබැලීම දෙමාපිය වගකීමක්. හොඳ විනයකින් යුතුව උගැන්වීම වගේම පන්තියේ වටපිටාව සිසුන්ට ගැලපේ ද කියාත් විමසා බැලිය යුතුයි. අද තරුණ සිසුන් මත්ද්‍රව්‍යවලට ගොදුරුකර ගැනීම වගේ දේවල් ද නිතර සමාජයේ අහන්න ලැබෙනවා.  

ගෙදර සිට පන්තියට කොපමණ දුරද?

නිවසේ සිට දුරින් පිහිටි නගරයේ ඇති පන්තිවලට දරුවන් යැවීම ඔවුන් වෙහෙසකරවන වැඩක් වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා ළමුන්ට හොඳින් ඉගෙන ගැනීම අපහසුවීමට පුළුවන්. ඒ නිසා නිවසට ආසන්න හොඳ පන්තියක් තෝරාගැනීම වඩාත් ප්‍රතිඵලදායකයි.