2023 ජුලි 22 වන සෙනසුරාදා

එන්න මා ප්‍රියේ... යමු පෝට් සිටියේ

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 261

කොළඹ වරාය නගරයේ (Port City) අලුතින් කළ වෙරළ තීරයේ එක් කොටසක් මීට වසරකට පෙර මහජනතාවට නැරඹීමට අවස්ථාව උදාවිය. එහි ඉතිරි කොටසද පසුගියදා මහජනතාවට විවෘත වුණි. ඒ අනුව මේ වනවිටත් එම අලුතින් ඉදිවුණු කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයෝ බොහෝමයක් පැමිණෙමින් සිටිති.

කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයකින් විහිදී ඇති මෙම කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා වැඩිවශයෙන් පැමිණීමට කැමැත්ත දක්වන්නේ කුඩා දරුවන්ය. ඒ අනුව තම මව්පියන් සමඟ වෙරළ තීරයට පැමිණෙන කුඩා දරුවන් සිතේ හිටියට නිදහසේ වෙරළ තීරයේ සෙල්ලම් කරනා අයුරු වෙරළ තීරයට පිවිසෙන ඕනෑම කෙනකුට දැකබලාගත හැකිය.

මේ දිනවල කොළඹ නගරයේ පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් වෙරළ තීරයට යාමට හොඳම කාලය වනුයේ සැන්දෑ කාලයයි. මේ සඳහා තම වාහනයකින් යාම ඉතා පහසුය. එයට හේතුව වන්නේ කොළඹ වරාය නගරය පිවිසුමේ සිට මෙම කෘත්‍රිම වෙරළ තීරය දක්වා යාමට යම්කිසි දුර ප්‍රමාණයක් ගෙවීමට සිදුවීමයි. කෘත්‍රිම වෙරළ නැරඹීම සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැත.  ඒ නිසාම තම දරුවන්ට කෘත්‍රිම වෙරළ නැරඹීමට වෙරළ ක්‍රීඩා මෙන්ම ජල ක්‍රීඩාවලට සහභාගි වෙමින් එහි විනෝදාස්වාදය ලබාගැනීමේ හැකියාව ලැබී ඇත.

''මේ වෙරළ තීරය දකින්නට අවස්ථාව ලබාදීලා තියෙනව කියල අපිට ආරංචි වුණා. ඒ නිසා මමත්, බිරිඳත් අපේ කුඩා පුතාවත් එක්කගෙන මෙය බලන්නට ආවා. ඇත්තටම මේක හොඳ අත්දැකීමක්. මුහුදේ වගේ මෙතන එතරම් තදට රුල්ල ගහන්නේ නැහැ. ඒ නිසා පුතා ආසාවෙන් වෙරළේ සෙල්ලම් කළා. මෙතනට එනතුරු මේ තරම් හොඳ තැනක් කියල නම් අපි හිතුවේ නැහැ. පුතා ගොඩාක් සතුටු වුණා. ඇත්තටම මේක හොඳ අවස්ථාවක්.'' යැයි මාලබේ සිට පැමිණි අරවින්ද මහතා දේශයට පැවසීය.

සාමාන්‍ය මුහුදු තීරයේ මෙන් මෙම කෘත්‍රිම මුහුදු තීරයේ තදට රැල්ල නොගැසීම හේතුවෙන් කුඩා දරුවන්ට තමන් කැමැති අයුරින් සෙල්ලම් කිරීමේ අවස්ථාව උදාවී ඇත. අපි වෙරළ තීරයට යනවිටත් වෙරළ තීරයේ මෙන්ම කෘත්‍රිමව සෑදූ මුහුදු කොටසේදී වැඩිහිටියත් මෙන්ම කුඩා දරුවන් මුහුදේ නාමින්, සෙල්ලම් කරමින් ප්‍රීතිවන අයුරු දැකබලා ගත හැකි විය.

මේ අතර වෙරළ ක්‍රීඩා මෙන්ම ජල ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා සුළං ගැසූ කුඩා බෝට්ටු කීපයක්ද වෙරළ තීරය පසෙකින් නවතා තිබුණි. එවැනි සුළං බෝට්ටු කිහිපයක්ම කෘත්‍රිම මුහුදේදී එහා මෙහා යාමද දක්නට ලැබුණි.

''කෘත්‍රිම වෙරළ තීරයේ මේ කොටස විවෘත කළාට පස්සෙ මේ දවස් කිහිපය ඇතුළත සෑහෙන පිරිසක් මෙතනට එනවා. අපි ජල ක්‍රීඩා කිහිපයක්ම සූදානම් කරලයි තිබෙන්නේ. සුළං ගැසූ මුහුදේ ඇති විශාල බෝලය ඇතුළත සෙල්ලම් කිරීමට පැයකට රුපියල් දාහක් අපි අයකර ගන්නවා. සුළං බෝට්ටුවක් පැදීමට පැයකට රුපියල් දෙදහසක් අය කරනවා. එවැනි විවිධ ජලක්‍රීඩා හා වෙරළ ක්‍රීඩා කිරීමට අවශ්‍ය නවීන ක්‍රීඩා උපකරණ අපගේ කුටියෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා එවැනි ජල ක්‍රීඩා කිරීමේ උනන්දුව ඇති වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ට මෙය කදිම අවස්ථාවක්'' යැයි ජල ක්‍රීඩා පුහුණුකරුවෙක් දේශයට පැවසීය.

කෘත්‍රිම වෙරළ තීරයේ මේ වනවිටත් නිමි ඇඳුම්හල් සහ ආපනශාලා ඉදිකර තිබේ. ඇතැම් අවන්හල් සහ කඩසාප්පු තවමත් ඉදිවෙමින් පවතින බව දක්නට ඇත. විවිධ චිත්‍රවලින් හැඩකරමින් කඩසාප්පු සුන්දර කරනා තරුණ චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙක්ද මෙහිදී දක්නට සිටියහ. වෙරළ තීරයේ කොටසට ඇතුළු වන කොටස ඈතක සිට දකින්නකුට ඒ විචිත්‍රවත් චිත්‍රවලින් දකිනා ආකර්ෂණීය බව ඇසට ගෙන එන්නේ අපූරු දසුනකි.

කොළඹ වරාය නගරය තවමත් ඉදිවෙමින් පවතී. ගාලු පාරේ ඇති ඇතුළුවීමේ පිවිසුමේ සිට මෙම  වෙරළ තීරය දක්වා ගමන් කරද්දී අතරමඟදී දකින්නට ලැබෙන්නේ තවමත් ඉදිවෙමින් පවතින මෙම කොළඹ වරාය නගරයයි. අව්රශ්මිය ගැන නොසිතා ඉදිකිරීම්වල නිරත වන ඉංජිනේරුවන් මෙන්ම කම්කරුවන් පසුකර යමින් කෘත්‍රිම වෙරළ තීරයට පිවිසෙන කොටසේ එක් පසෙක ඇත්තේ රථගාලය.

නිදහසේ හිඳ ආහාරපාන ගනිමින් කතාබහ කරනා දෙස විදෙස් සංචාරකයන්ගේ මුහුණුවල ඇත්තේ සැහැල්ලු ගතියකි. එක් කොටසක කෙටි ආහාර අවන්හල්ය. තවත් පසෙක විවිධ වර්ණයේ අයිස්ක්‍රිම්වල රස බැලිය හැකි අයිස්ක්‍රීම් හලකි. දේශීය සංචාරකයන් පමණක් නොව විදේශීය සංචාරකරුවන් බොහෝමයක්ම මෙම අවන්හල්වල ඇති ආහාරපාන රස බලනු දැකිය හැකිය.

මේ අතර බෝපිටිය ජනප්‍රිය විදුහලක ප්‍රාථමික දරුවන්ගේ අධ්‍යාපන චාරිකාවේ එක් ස්ථානයක් ලෙසින් ඔවුන් මෙම කෘත්‍රිම වෙරළ නැරඹීමට පැමිණ සිටීමද සුවිශේෂීය. පෙළින් පෙළට යමින් ඒ කුඩා දරුවෝ මේ අසිරිමත් මුහුදු තීරයේ සුන්දරත්වය අත්වින්දාහ.

''අපි බීච් එකට ආසයි. මේ පාර අපි මේ අලුත් බීච් එක පෙන්නන්න අපේ ටීචර්ලා එක්කගෙන ආවා. පුංචි බෝට්ටු මුහුදේ යනවා. කට්ටිය බීච් එකේ නෑවා. අපි නම් නෑවේ නැහැ. හැබැයි නාන්න ආසයි. ආයෙත් දවසක අම්මයි තාත්තයි එක්ක මම ආයෙත් මේ  බීච් එකට ඇවිත් හොඳට සෙල්ලම් කරනවා.'' යැයි කුඩා දැරියක පැවසුවේ සතුටිනි.

කෙසේ වුවද මෙම කෘත්‍රිම වෙරළ සුන්දරය. නමුත් ඒ සුන්දරත්වය රැකිය යුත්තේ අපිමය. මෙම කොටස විවෘත වී තවමත් දින කිහිපයක් පමණි. නමුත් සාමාන්‍ය වෙරළ තීරයේ මෙන්ම මෙහිදීත් මිනිසුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පරිසර දූෂණය නොවනවාම නොවේ. ඈතින් හරි අපූරු කෘත්‍රිම මුහුදක් දක්නට ලැබුණද තැන් කිහිපයක විසිකෙරුණු හිස් බියර් ටින් කිහිපයක්ද අපිට දකින්නට ලැබුණි. දේශීය විදේශීය ආකර්ෂණය දිනාගත් මෙම කෘත්‍රිම වෙරළ දැකබලා රස විඳිනා අතරේ එය ආරක්ෂා කිරීමද අප සැමගේ යුතුකමක් වන්නේය.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02