ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණ්‍ය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් පසුගිය 05දා සිට පහත හෙලා ඇති බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඛණ්ඩව පහළ දැමූ දෙවැනි අවස්ථාව මෙය විය. 2023 මැයි මස 31 දිනද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 250 කින් අඩුකර තිබේ. මේ අනුව පෙනී යන්නේ මැයි සහ ජූනි මාසවලදී සති පහක් තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 450 කින් පහළ දමා ඇති බවය.
මෙලෙස පොලී අනුපාතිකය පහළ හෙලීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක්ද සහ එය සත්‍ය වශයෙන් ගනුදෙනුකරුවාට ලැබේද යන්න සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි. රටේ පොලී අනුපාතිකය පිළිබඳ තීරණ ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගිනි. එහිදී තීරණය කරන පොලී අනුපාතික මායිමේ රඳවා ගැනීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු වෙයි. පොලී ප්‍රතිලාභ මහජනතාවට ලැබෙන්නේ වාණිජ බැංකුවල පාලක මණ්ඩල ගන්නා තීරණ අනුවයි. වාණිජ බැංකු ස්වකීය බැංකුවල තැන්පතු හා ණය පොලී අනුපාතික නිත්‍ය පහසුකම් අනුපාතික ආශ්‍රිතව තීරණය කෙරේ. මෙහිදී වාණිජ බැංකු අතරද තරගකාරීත්වයක් ඇති නිසා ඒවා අතර වුවද පොලී ප්‍රතිශතවල සමානකමක් ඇතිවෙයි.
නිත්‍ය පොලී අනුපාතිකය ඉහළ මට්ටමක තිබියදී ස්ථාවර තැන්පතුවලට ගෙවන පොලිය 25% පමණ සීමාවේ තිබුණු අතර ඉතුරුම් තැන්පතුවල පොලියද 10% මට්ටමේ තිබුණු බව අපට මතකය. මේ නිසා පොදු මහජනතාවට බැංකුවල මුදල් තැන්පත් කර එයින් සෑහෙන ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලැබුණි. විශ්‍රාමික සේවක ප්‍රජාව සහ මධ්‍යම පාන්තික ජනතාව බැංකුවල පොලී ආදායමෙන් ජීවත් වූ බව අපට මතකය. මෙලෙස බැංකු පොලී මට්ටම අඩු වූ නිසා ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය. එහෙත් පොලී අනුපාත නියාමනය කිරීමේදී මහ බැංකුව තීරණ ගෙන ඇත්තේ පුද්ගලයන් ගැන සලකා නොව රටම පොදු වශයෙන් සලකමිනි.
ණය සඳහා 25% - 30% පමණ පොලියක් අයකිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ප්‍රාග්ධනය සපයා ගැනීම දුෂ්කර විය. අලුතින් ව්‍යාපාරවල ආයෝජනය කිරීම අඩුවිය. ඒ නිසා ණය පොලිය අඩු කිරීම කාලීන අවශ්‍යතාවක් විය. විශාල පොලියකට අරමුදල් සපයාගෙන ආයෝජනය කිරීමෙන් වාසි ලබාගත නොහැකි විය. ආනයන භාණ්ඩ නිෂ්පාදනයේදී පිරිවැය ඉහළ යාම නිසා ජාත්‍යන්තර තරගකාරීත්වයට මුහුණදීම දුෂ්කර විය. ඒ නිසා ණයකරුවන්ට සහන සැලසීම මගින් රටේ නිෂ්පාදනය ඉහළ නංවා ආර්ථිකය නගා සිටුවීම මහ බැංකුවේ අරමුණ වූ බව පෙනේ.
පවතින අලුත් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය යළි යථාවත් කිරීමේ අරමුණෙන් මහ බැංකුව මෙතෙක් පවත්වාගෙන ආ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට කටයුතු කළ බවය. දැනට ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සෑහෙන තරමින් පහළ හෙලා ඇති අතර, එහි වාසිය මහජනතාවට හිමිවිය යුතු බව ඔහු කියයි. ඒ අනුව මහ බැංකුව ප්‍රකාශයට පත් කළ පොලී අනුපාතවලට ගැලපෙන අයුරෙන් මෙරට රාජ්‍ය වාණිජ බැංකු, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතන ණය පොලී අනුපාතික අඩු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. එසේ නොවුණහොත් මහ බැංකුව එම බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් ප්‍රතිපත්ති විවරණ දැන්වීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පවසා තිබිණ.
2023 වසර සඳහා මහ බැංකුව ඉදිරිපත් කළ 5 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය මෙය වෙයි. නිත්‍ය තැන්පතු පොලී අනුපාතය 11% ක් සහ නිත්‍ය පොලී අනුපාතිකය 12% දක්වා අඩු කිරීමෙන් මහ බැංකුව අපේක්ෂා කරනුයේ මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාතිකය එයට සමගාමීව අඩුවනු ඇත යනුවෙනි. එහෙත් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවලින් මේ සඳහා සාධාරණ ප්‍රතිචාර නොදැක්වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිලාෂ ඉටු නොවන නිසා එයට මැදිහත්වීමට ඔවුන්ට සිදුවනවා ඇත. ඒ බව මහ බැංකු අධිපතිවරයා තරයේ මෙසේ ප්‍රකාශ කරයි.
''වාණිජ බැංකු මේ පොලී සහනය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දිය යුතුයි. 2018 වසරේදීද ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත අඩුවන විට ඒ සහනය ජනතාවට ලැබීම ප්‍රමාද වුණා. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවට එයට මැදිහත්වීමට සිදු වුණා. ඒ වගේම මෙවරත් බැංකුවලින් ඒ දේ සිදුනොවනවා නම් අපි එයට මැදිහත් වෙනවා. හැබැයි අපි මෙතැනදී බැංකුවලටද යම් අවස්ථාවක් දෙනවා. බැංකු වැඩි පොලියට ගත් තැන්පතුවලට කළ වියදම් පියවා ගැනීම සඳහා. ඒ නිසා යම් කාලයක් යන විට පොලී අනුපාත ගැටලුව විසඳේවි.''
මෙලෙස පොලී අනුපාත අඩුවීම නිසා වාණිජ බැංකු රන් ණය පොලී අනුපාතද ඒ අනුව අඩු කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත. එසේම දැනට 34% ක මට්ටමේ තිබෙන ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත 30% දක්වා 4% කින් අඩු කරන බව ඇතැම් බැංකු මේ වනවිට නිවේදනය කර තිබේ.
මේ අනුව අපට පෙනී යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ හෙලීම රටේ සෑම ක්ෂේත්‍රයකටම කල් නොයවා ගලා යා යුතු බවය. එය ප්‍රමාද වීමෙන් රජය අපේක්ෂා කරන ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන අතර, ජීවන බරින් බැටකන පොදු ජනතාවට යම් පමණක හෝ සහනයක් මෙතුළින් ඉක්මනින් ලබා දීම අත්‍යවශ්‍ය බව පෙන්වා දිය යුතුය. මේ පිළිබඳ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයන් දෙදෙනකු ඉදිරිපත් කරන අදහස් මෙසේ වැඩිදුරටත් දැක්වේ.
එදා කළ වැරදිවලට අද වන්දි ගෙවන්න වෙලා
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති සිරිමල් අබේරත්න:
''රටේ උද්ධමනය හා පොලිය අතර ඍජු සම්බන්ධතාවක් තිබෙනවා. උද්ධමනය අඩුවෙන විට පොලියද අඩුවෙනවා. සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු වූ විට පොලී මට්ටම පහළ බසිනවා. රට ආර්ථික වශයෙන් දියුණු වූ විට පොලී මට්ටම අඩුවිය යුතුයි. පොලිය ස්ථාවර වීම වැදගත්. පොලී මට්ටම නිතර පහළ යාම ඉහළ යාම සිදුවෙනවා නම් එය ආර්ථික සංවර්ධනයට අහිතකර වෙනවා. ආයෝජනවලට බලපානවා. තැන්පතු හා ණය පොලී අතර පරතරය අවම විය යුතුයි. පොලිය අඩුවන විට තැන්පතුකරුවන්ට අහිතකර වෙනවා. එහෙත් ණය ගැනීම් වැඩිවෙලා නිෂ්පාදනය ඉහළ යාමට හේතු වෙනවා. එයින් ආර්ථිකයට සිදුවන්නේ යහපතක්. මේ දෙපාර්ශ්වයම එකවර සතුටු කිරීම දුෂ්කරයි. ණය පොලිය වැඩිවන විට ණයකරුවන්ට අහිතකර වන අතර තැන්පතු පොලිය අඩුවන විට තැන්පතුකරුවන් අසතුටට පත්වෙනවා.
මහ බැංකුවේ අරමුණ කවරෙක් හෝ සතුටු කිරීම නොව රටේ ආර්ථික සංවර්ධනයට ගැලපෙන පොලී ප්‍රතිශතයක් ඇති කිරීමයි. ඇතැමුන් පුරුදුවෙලා තියෙන්නේ පොලී ආදායමෙන් ජීවත් වීමටයි. මෙය පහසු ජීවන ක්‍රමයක් වුවත් එයින් රටේ ආර්ථිකයට යහපතක් වන්නේ නැහැ. ආදායම ඉපදවිය යුත්තේ මුදල් බැංකුවල දමා බලා සිටීමෙන් නොව ආයෝජනය කිරීමෙන්. පුද්ගල මට්ටමෙන් සහ ආයතන මට්ටමෙන් හෝ පොලියෙන් ජීවත්වීම සුදුසු නැහැ. මෙය එදා සිට කළ වරදක්. මුදල් කොටස් වෙළෙඳපොළ සහ භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත්වල ආයෝජනය කරලා ලොකු ආදායමක් ලැබීමට පුළුවන්. දියුණු වන රටවල මේ සඳහා වෙනත් අරමුදල් තිබෙනවා. ඒවායේ ආයෝජනය කිරීම බැංකුවල දමනවාට වඩා හොඳයි.
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලට ඉහළ පොලී ප්‍රතිශතයක් ලැබෙනවා. එසේම අවදානමද අඩුයි. ඒ නිසා ඒවායේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරලා මුදල් ආයෝජනය කළ හැකියි. රටේ ජනතාව බැංකුවල මුදල් තැන්පත් කරනවාට වඩා මෙවැනි ආයෝජනවලට යා යුතු වෙනවා. එයින් ආර්ථික වාසි ලැබෙනවා. ලොව දියුණු රටවල ජනතාව මුදල් තැන්පත් කරන්නේ බැංකුවල නොවෙයි. මෙවැනි සුවිශේෂ මූල්‍ය ආයතනවලයි. එහෙත් අපේ රටේ වැඩිපුර පවතින්නේ අවිධිමත් මූල්‍ය ආයතනයි. වැඩි පොලියක් ගන්න මේවායේ මුදල් තැන්පත් කරන අය අමාරුවේ වැටෙනවා. මුදල් ආයෝජනය කරන්නට පෙර බැලිය යුතු වන්නේ ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන ද කියලා. ඒවාට මහ බැංකුවේ වගකීම තියෙනවා. ව්‍යාජ ආයතනවල මුදල් දමන අය අමාරුවේ වැටෙන අතර එම ගැටලු විසඳීම ඇතැම්විට ශ්‍රී ලංකා මහ බැංකුවටද අපහසු වෙනවා.
වර්තමාන රජය රාජ්‍ය ආදායම වැඩිකර ගන්න උත්සාහ කරනුයේ ණය ගෙවීමට විශාල මුදලක් අවශ්‍ය නිසයි. මේ වනවිට රාජ්‍ය ආදායම පසුගිය වසරට වඩා දෙගුණයකින් වැඩි වී තිබෙනවා. පසුගිය සමයේ විශාල ලෙස ණය ගත්තා. ව්‍යාපෘතිවලට වගේම පාරිභෝජනයටද ණය ගත්තා. ඉතින් කවුරු ගත්තත් පවතින රජය ඒවා ගෙවිය යුතු වෙනවා. එදා සිට කළ වැරදිවලට තමා අද අයට වන්දි ගෙවන්න සිදුවෙලා තියෙන්නේ. ඒ සඳහා තමා මේ රජයට බදු ආදායම් වැඩිකර ගන්න පියවර ගන්න සිදුවෙලා තියෙන්නේ. එහිදී ජනතාවට යම් යම් දුෂ්කරතා ඇතිවීම බලාපොරොත්තු විය යුත්තක්. උපයන ආදායමෙන් 5% ක පමණ බද්දක් අය කරන්න සිදුව ඇත්තේ එනිසයි. මෙය දිගටම කිරීමට බලාපොරොත්තු නොවන අතර කෙටි කාලයකට යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා.
බදු ආදායම වැඩිකර ගැනීම සඳහා දැනට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඇතැම් ඒවා දීර්ඝකාලීන සැලසුම්. කෙසේ වුවත් ඉදිරි කාලයේදී රටේ ආදායම මෙයට වඩා ඉහළ නංවා ගැනීමට හැකි වේවි. එය සිතන තරම් පහසු ක්‍රියාවක් නොවෙයි. බදු ගෙවන්නේ නැතිව යම් යම් උපක්‍රමවලින් බදු පැහැර හරින විශාල කොටසක් සිටිනවා. ඒ අය බදු දැලට කොටුකර ගැනීම සිතන තරම් ලෙහෙසි නැහැ. ආණ්ඩුව ඒ පිළිබඳ මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. දැනට අත්විඳින්නට සිදුව ඇති හිරිහැර තාවකාලිකව විය හැකිය. ලොකු කුඩා සැම දෙනාටම කැපකිරීම් කරන්නට සිදුවේවි.''
වාණිජ බැංකු අර්බුදයකට යා හැකියි
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අවධාරණය කරන්නේ භාණ්ඩාගාර බිල්පත්වලට අධි පොලියක් ගෙවා රජය මුදල් ලබාගැනීම විකෘති තත්ත්වයක් නිසා එය වහා නැවැත්විය යුතු බවය. ජනතාවට අඩු පොලියක් ගෙවන අතර රජය වැඩි පොලියට ණය ගැනීම නිසා පොලී අනුපාත පහළ දැමීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගත නොහැකිව ඇති බව ඔහු පෙන්වා දෙයි.
''සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාත අවදානම් සහිත සහ අවදානම් රහිත වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඕනෑම රටක රාජ්‍ය සුරුකුම්පත් අවදානම් රහිතයි. ඒ නිසා බොහෝ දෙනා රජය සමඟ ගනුදෙනු කිරීමට පෙළඹෙනවා. රජයේ පොලියට 'අවදානම් ආන්තිකය' එකතු කරලා වෙළෙඳපොළ පොලිය තැනෙනවා. අද අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළ විකෘතියක් බවට පත්වෙලා තියෙනවා. මේ නිසා රජය ගෙවන පොලිය වෙළෙඳපොළ පොලියට වැඩිවෙලා තියෙනවා.
රජය බොහෝ විට අවශ්‍ය මුදල් ලබාගන්නේ රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකුවලින්. රටේ සාමාන්‍ය පොලී මට්ටමට වඩා ඉහළ පොලියකට රජය ණය ගන්නා විට වාණිජ බැංකු වැඩිපුර පුරුදු වී තිබෙන්නේ මහජනතාවට ණය නොදී වැඩි පොලියට රජයට ණය දීමටයි. අනෙක් අතට රජයට ණය දීම අවදානම අඩුයි. ඒ නිසා සුපිරි ධනපතියන් සමහර දෙනාද භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරනවා. දැන් පොලී අනුපාත නියාමනය කර තිබෙන නිසා බැංකුවලට ජනතාවගෙන් මුදල් ලබාගැනීම අපහසුයි. ඒ නිසා තැන්පතු පහළ ගොස් තිබෙනවා. මේ නිසා වාණිජ බැංකු අර්බුදයකට ලක්වීම නැවැත්විය නොහැකි තැනට පත්වේවි.
වාණිජ බැංකු පසුගිය සමයේ උත්සාහ කළේ තැන්පතු පොලී ප්‍රතිශතය ඉහළ නංවා ජනතාවගේ මුදල් ලබාගෙන ඒවා වැඩි පොලියට භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමටයි. එහෙත් දැන් බැංකුවල ස්ථාවර පොලී අනුපාතිකය 10% දක්වා අඩුවෙලා තියෙන නිසා මුලදී මෙන් තැන්පතු ලබාගැනීම දුෂ්කර වෙලා තියෙනවා. මෙය සිදුවූයේ මසක් වැනි කෙටි කාලයක් තුළයි. 25% තිබූ පොලිය 10%ට බැස්සුවා. දැනට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විදේශවල අලෙවි නොවන නිසා වැඩි වශයෙන් දේශීයව ණය ගැනීමට සිදුවෙලා තිබෙනවා. එහිදී වාණිජ බැංකු තමයි වැඩියෙන් ගන්නේ.
මේ වනවිට රජයට අවශ්‍ය මුදල් ලබාගැනීමේ අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. එයට හේතුව මූල්‍ය අරමුදලේ උපදෙස් නිසා රජයට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට නොහැකි වී තිබෙනවා. එසේම රජයට ණය ලබාගන්නටද නොහැකිවෙලා. ඒ නිසා එකම විකල්පය වන්නේ දේශීය මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමයි. මෙහිදී රටේ පවතින පොලී අනුපාතිකයට වඩා ඉහළ ප්‍රතිශතයක් ගෙවීමෙන් දේශීය ණය ලබාගැනීමට හැකිවෙලා තියෙනවා. මෙලෙස ණය ලබාගැනීමට නම් විශාල පොලී ප්‍රතිශත ගෙවිය යුතුයි. ආණ්ඩුව දැන් සිදු කරමින් පවතින්නේ එයයි. මූල්‍ය වෙළෙඳපොළේ පොලිය තීරණය වන්නේ ඉල්ලුම සහ සැපයුම අනුවයි. එහෙත් මෙහිදී ණයවලට රජය ගෙවන්නේ ඔවුන් නියම කරන පොලියක්. මේ තත්ත්වය හැමදාම පවත්වාගෙන යන්න බැහැ.
පසුගිය දිනවල භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 32% පමණ ඉහළ මට්ටමට ගියා. දැන් 25% ක් තරමට පහළ බැස තිබෙනවා. එහෙත් එයද විකෘති පොලියක්. මේ පොලිය සාමාන්‍ය තත්ත්වයට තබාගැනීමට නම් වෙළෙඳපොළ පොලියට වඩා සුළු වශයෙන් වැඩි පොලියක් තිබිය යුතුයි. බොහෝ දෙනා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්නේ එහි දැමීම අවදානම අඩු නිසයි. පොලී ප්‍රතිශතයට වඩා සලකන්නේ එයයි.
දැන් රටේ උද්ධමනය 12% යි. බැංකු පොලිය 3% - 4% මට්ටමේ තමා තියෙන්නේ. ඒ නිසා දැන් ඇත්තේ ඍණ පොලියක්. ආයෝජනය කරන අයගේ අතින් තමා ගෙවන්න වෙන්නේ. වත්කම්වල ශුද්ධ වටිනාකම අඩුවෙනවා. රටේ ජනතාවගෙන් බහුතරයක් දිළිඳු වීමට මෙයද එක් හේතුවක්. සමාජයේ ඉහළ 10% ප්‍රමාණය ජාතික ආදායමෙන් 55% ක් පාරිභෝජනය කරන අතර පහළම 20% සංඛ්‍යාව පාරිභෝජනය කරන්නේ ආදායමෙන් 4.5% ක්. රටේ ආර්ථිකය හදන්න නම් මෙම තත්ත්වය වෙනස් විය යුතුයි.
I යසවර්ධන රුද්රිගූ