2023 ජුලි 22 වන සෙනසුරාදා

හිමිවරු නැතිව පාළුවූ පන්සල්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 191

දිවයින පුරා පිහිටි විහාරස්ථාන 84ක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසූ බවට සඳහනක් පසුගියදා වෙබ් මාධ්‍යවල පළකර තිබුණි.

මේ තත්ත්වයට හේතු වශයෙන් සඳහන් වන්නේ දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම, මාර්ග අපහසුතා, විහාරස්ථාන ගරා වැටීම, සංඝ පරම්පරාවල අභ්‍යන්තර ගැටලු, නීතිමය ගැටලු සහ යටිතල පහසුකම් හිඟය වැනි කරුණුයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන අනුව රටපුරා ඇති විහාරස්ථාන ගණන 12,335කි. ඒ අතරින් භික්ෂූන් නැති විහාර ගැන නිශ්චිතව දන්නේ නිකාය පාර්ශ්වවල නායක හිමිවරු වෙති.

මේ ගැන දැනගැනීමට අප බෞද්ධ කටයුතු කොමසාරිස් කීර්ති සිරිබද්දනට කතා කළෙමු. ඔහු සඳහන් කළේ මෙම සංඛ්‍යාලේඛන වැරදි බවත් එසේ නිශ්චිතව සංඛ්‍යාමය අගයක් පැවසීමට නොහැකි බවත් එම තත්ත්වය විටින්විට වෙනස් වන බවත්ය. ''භික්ෂුන් වහන්සේ නැති පන්සල් තිබෙනවා. බොහෝවිට ඒ පන්සල් අයිති නායක හාමුදුරුවරු භික්ෂුන් වහන්සේ නැති විහාරවලට භාරකාර හිමිවරු එවීම සිදුකරනවා. සමහරවිට ටික කාලෙකින් ඒ හිමිවරු ආපසු යාම සිදුවෙනවා. මේ නිසා කලින් කලට භික්ෂූන් වහන්සේ නැති පන්සල් ඇතිවෙනවා.'' අද අපට දක්නට ලැබෙන්නේ නගරයේ මහා පන්සල් තව තවත් සුපිරි ලෙස ගොඩනැගිලිවලින් පිරෙන බවකි. ඒවායේ අත්වැල්වලට පවා රන් ආලේප කරන බවද දැකගත හැකිය. ඒ අතර තවත් විහාරස්ථාන දහස් ගණනක ස්වාමින් වහන්සේලාට දානෙ වේලවත් නිසි පරිදි නොලැබේ. ඒ අතර ගම්වල සමහර විහාර පාළුවට ගොසිනි. ඒ ගැන අප සමඟ කලකට පෙර පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියෝ මෙසේ පවසා සිටියහ.

“අද සමාජය දරුණු වෙලා. ගහමරා ගන්නවා. ඒ වගේම අන්ත අසරණ දුප්පත් බෞද්ධයන් ඉන්නවා. ඔවුන් ගැනත් සොයාබැලිය යුතුයි. බෞද්ධ සමාජය නගාසිටුවීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කළොත් මේ විහාරස්ථානත් දියුණුවට පත්වෙනවා.”  සාමනේර හිමිවරුත් සමඟ ලංකාවේ සිටින භික්ෂු සංඛ්‍යාව 43,122ක් පමණ වෙති. උපසම්පදා නොවුණු භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව 20,354ක් වන අතර උපසම්පදා වුණු භික්ෂුන් සංඛ්‍යාව ,22768ක් බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අතර දැන උගත් වැඩිහිටි භික්ෂුන් වහන්සේ සංඛ්‍යාව 15,000කට ආසන්න බව මැදගම ධම්මානන්ද නායක හිමියෝ පැවසූහ. මෙසේ පන්සලක් භික්ෂු වාසයකින් තොර වන්නේ කෙසේදැයි දැනගැනීමට අප කතාකළේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන්ටය.

''පන්සල්  හාමුදුරුවරු නැතිව තිබුණත් ඒවාට අයිතිය තිබෙන හිමිවරු සිටිනවා. මෙසේ භික්ෂූන් වහන්සේ නැතිව දක්නට ලැබෙන පන්සල්වල අයිතිය බොහෝවිට පවතින්නේ වෙනත් පන්සලකටයි. ඒවා පාරම්පරිකව එකට සම්බන්ධව පවතිනවා. එසේ හිමිකම තිබෙන පන්සලේ නායක හිමියන් භික්ෂූන් නැති පන්සලට හිමිවරු පිටත්කර යැවීම සිදුකළ යුතුයි. ඒවායේ පැවිදි කිරීමට කුලදරුවන් නැති නිසා හාමුදුරුවරු අඩුවෙන්න පුළුවන්. වෙනත් පන්සලක වැඩි භික්ෂු පිරිසක් සිටියත් අර පන්සලට පැමිණ වාසය කිරීමට අපහසුයි. අයිතියක් නැති නිසා. එසේ වැඩ වාසය කරනවා නම් නායක හිමිනම කැමති විය යුතුයි. දායකයන්ද කැමැති විය යුතුය. නැත්නම් පැමිණෙන හාමුදුරුවන්ට නිදහසේ කටයුතු කිරීමට නොහැකි වෙනවා. ප්‍රධාන පෙළේ විහාරස්ථානවල නම් හාමුදුරුවරු නැති අවස්ථා ඇතිවන්නේ නැහැ. බොහෝවිට මෙවැනි තත්ත්ව ඇතිවන්නේ දුර බැහැර පොඩි පන්සල්වලයි.'' සමහර පුරාවිද්‍යාත්මක අගයක් සහිත විහාරවල පවා භික්ෂු වාසයකින් තොරව පවතින අතර අවස්ථා අපට දැකගැනීමට ලැබී ඇත. මාවනැල්ල දනකිරිගල විහාරයේ භික්ෂු වාසයක් නැත්තේ එහි අයිතිය සම්බන්ධ නඩුවක් පවතින හෙයිනි. කෑගල්ල ගනේගොඩ රජමහා විහාරයේද කිසිදු භික්ෂු වාසයක් නැත. කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරයේද බොහෝ අවස්ථාවල භික්ෂු වාසයකින් තොරව පවතින අවස්ථා දැකගත හැකිය. මහනුවර නගරය ආසන්නයේ පිහිටි සමහර කුඩා විහාරවලද භික්ෂු වාසයක් නැති අවස්ථා ලියුම්කරුට දැකගැනීමට ලැබී තිබේ. මේ නිසා උක්ත විහාරවලට නිදන් හොරුන්ගේ අතවර නිරන්තරව සිදුවේ. 

ගම්මානවල දායක පිරිස් හිඟ නිසා භික්ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කිරීමට අපහසු වීමද පන්සල් පාළුවට යාමට එක් හේතුවකි. පුසුල්පිටිය විහාරයේ දායක ගම් වැඩි ප්‍රමාණයක් කොත්මලේ ජලාශයට යටවූ අතර දායක පවුල් මහවැලි ඉඩම්වල පදිංචියට ගියහ. එමෙන්ම පන්සල්වල නඩත්තුවට දේපල නැතිවීමද ඒවා පාළුවීමට බලපාන කරුණකි. සමහර දුප්පත් දායකයන්ට විහාරවලට දානෙ වේලක් පිරිනැමීම පවා අද දුෂ්කරව පවතී. මේ නිසා භික්ෂූන් වහන්සේ නමක් නඩත්තු කිරීමට දායකයන්ට නොහැකි වන අවස්ථා දැකගත හැකිය.

දැනට වසර කිහිපයකට පෙර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විහාරස්ථානවල තත්ත්වය පිළිබඳව සමීක්ෂණයක් කළේය. එහිදී හෙළිවුනේ ස්වාමීන් වහන්සේලාට දානය නිසි පරිදි නොලැබෙන, සංඝාවාස හෝ වැසිකිළි පහසුකම් ඇතුළු මූලික විහාරාරාම නැති විහාරස්ථාන 1940ක් ලංකාව පුරා පිහිටා තිබෙන බවයි. එම සොයාබැලීමට අනුව සියලුම අංගවලින් සමන්විත දේශීය හා ජාත්‍යන්තර ආධාර ලැබෙන විහාරස්ථාන සංඛ්‍යාව 3406 කි. එයට මඳක් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 2317ක් පිහිටා තිබේ. කලාතුරකින් දානය ලැබෙන විහාරස්ථානයකට අංග ප්‍රමාණවත් පරිදි නැති විහාර සංඛ්‍යාව 2469කි. බුද්ධශාසන අමාත්‍යාංශය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුයුක්ත භික්ෂුන් වහන්සේලා, ශාසනාරක්ෂක බල මණ්ඩල විසින් මෙම විහාරස්ථාන A, B, C, D, E ලෙස වර්ගීකරණය කර ඇති බවයි. 

පුරාණ රාජධානි යුගයේදී මහරජතුමාගේ හෝ ප්‍රාදේශීය රජවරුන්ගේ හෝ අනුග්‍රහයෙන් කරවූ විහාර රජමහා විහාර යනුවෙන් හැඳින්විණි. රජවරු මේ විහාරවලට ඉඩම්, වස්තු හෝ වෙනත් පරිත්‍යාග පිරිනැමූහ. විහාරවලට ඉඩම් පූජාකරන ලද්දේ අක්කර සිය ගණනිනි. හක්ගෙඩිය පිඹ හෝ ලෝකඩ තම්මැට්ටම ගසා ඒ හඬ ඇසෙන මානයේ ඉඩම් විහාරයට පූජාකිරීම පුරාණ සිරිත විය. එලෙස රාජ්‍ය අනුග්‍රහය ලැබූ විහාර රාශියක් අද වනගත වී තිබේ. නමුත් පසුගිය ඉංග්‍රීසි පාලන යුගයේ විහාරවල පාරම්පරික ඉඩම් විශාල වශයෙන් අයිතිය ඔප්පු කිරීමට අපහසු නිසා  ආණ්ඩුවට අයිති විය. ඉන්පසුව එම පන්සල් නඩත්තුව අපහසු වී ගියේය. උතුරුමැද, උතුරු හා නැගෙනහිර, ඌව, සබරගමුව, වයඹ පළාත්වල විහාර රාශියක් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යති. දානෙ වේල ලබාගැනීම පවා දුෂ්කරය. 

කෙසේ වුවත් සංඝ සංස්ථාවේ නිසි කළමනාකරණයක් මගින් සෑම පන්සලකටම භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටිය හැකි තත්ත්වයක් උදාකර ගත හැකි බව අපගේ විශ්වාසයයි.  අලුත් පන්සල් හදනු වෙනුවට තිබෙන පන්සල් ටික නිසි සේ රුක බලා ගැනීමට බෞද්ධ ජනතාව උනන්දු විය යුතුය.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව I අන්තර්ජාලයෙන්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02