2023 ජුලි 22 වන සෙනසුරාදා

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

විශ්වාසය භංග වූ තැන ඇත්තේ අවිශ්වාසයයි. සැකයයි. එවන් විටෙක අවිශ්වාසය කොතරම් භයානකද යන්න තීරණය වන්නේ, විශ්වාසය භංග වී ඇත්තේ කුමක් අරබයාද යන්න මතය. අප ඔබ හමුවේ තබන්නට සූදානම් වන්නේ විශ්වාසභංගයක් පිළිබඳ කතාවකි.

මෙම විශ්වාසභංගය රැගෙන ඒමට සූදානම් වන්නේ පුද්ගලයකුට එරෙහිවය. ඒත් විශ්වාසය බිඳීගොස් ඇත්තේ ක්ෂේත්‍රයක් පිළිබඳවය. කිසිවකුට සුදු හුණු ගෑමට අපට අවශ්‍ය නැත. ඇත්ත ඇති සැටියෙන් දැකීම සඳහා ඔබට අවකාශය සැලසීම අපගේ අරමුණයි.

අප කවුරුත් දක්නා පරිද්දෙන් මේ මොහොතේ රජයේ රෝහල් පද්ධතිය සහ එහි භාවිත වන ඖෂධ පිළිබඳ පොදු මහජනතාව තුළ වන්නේ සැකයකි. එම සැකයට මූලබීජය වූයේ රජයේ රෝහල්වල බාල ඖෂධ හේතුවෙන් සිදු වූ බවට කියවුණු රෝගී මරණයි. එහෙත් බාල ඖෂධ පිළිබඳ සත්‍යතාව තහවුරු කළ ආයතනයක් හෝ පුද්ගලයෙක් සොයා ගත නොහැකිය.

වගකිවයුතු යුතු බලධාරීන් කියන්නේ මේවා ඖෂධ නිසා වෙන සිදුවූ මරණ නොවන බවයි. එහෙත් මහජනයාට සිය ඇස් මානේ පෙනෙන්නට තිබෙන මරණ සහ සිදුවීම් බැහැර කළ නොහැකිය. මහජන කැළඹීමක් බවට සෞඛ්‍ය අර්බුදය පත්ව ඇත්තේ බැවිනි. කෙසේ වෙතත් විශ්වාසභංග කතාව දේශපාලනිකය. සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව රැගෙන එන්නේ සමගි ජනබලවේගයයි. රටේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙසින් උද්ගතව ඇති වටපිටාව හමුවේ ඔවුන් එය සිදුකළ යුතුයි.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු පදනම් කරගනිමින් මෙම විශ්වාසභංගය වේගෙන එන බව ඔවුන් කියා සිටී.

විශ්වාසභංග කතාවේ පළමු අදියරේදී, පසුගිය සඳුදා මෙලෙස සඳහන් කළේ සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ය.

''අපි මේ යෝජනාව ගෙනෙන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට විතරක්ම නෙමේ. රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුවට විරුද්ධව. මොකද කැබිනට් එකම මේකට වගකියන්න ඕනේ. හෙට ඉඳන් එකේ සහයෝගය ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම විපක්ෂය සහ සමහර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ඉන්නවා ඒ සියලුදෙනා එක්ක සාකච්ඡා පටන් ගන්නවා.''

මේ අතර ජාතික ජන බලවේගයද ප්‍රසිද්ධියේම විශ්වාසභංග පිළිබඳ කතා කරන්නට විය. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මෙලෙස පවසා තිබුණි.

''සෞඛ්‍ය අමාත්‍යවරයා මින් ඉවත්කොට වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙම ජීවිතවලට වන්දි ගෙවන්න ඕනේ. මොකද මා දැක්කා කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියනවා ඇස් අන්ධ වූ අයට වන්දි ගෙවනවා කියලා. ඇස් දෙකට වන්දි ගෙවන්න පුළුවන්ද? ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය මොකක්ද? ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය පෙනීම විතරයි. එතනින් එහා වන්දියක් නෑ. මේ උද්ධච්ච, ජනතාවගේ ජීවිත පිළිබඳ පයිසයකට මායිම් කරන්නේ නැති පාලකයන් පලවා හරින්න ඕනේ. ඒ නිසා කෙහෙළිය රඹුක්වැල්ලට පමණක් නොවේ මේ ආණ්ඩුවටත් විශ්වාසභංගයක් ගෙන්න ඕනේ.''

විශ්වාසභංගයකින් පසුව සියල්ල යථා තත්ත්වයකට පත් වේ යැයි කීම සාධාරණ නැත. විශ්වාසභංගය දේශපාලන මෙවලමකි. එය රැගෙන ඒම හෝ ජයග්‍රහණය හෝ පරාජය හෝ පවතින්න අර්බුදකාරී වටපිටාවට නිශ්චිත විසඳුම් නොවේ. නමුත් ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමට සහ දේශපාලනික බලපෑමක් ඇති කිරීමට විශ්වාසභංග යෝජනාව වැදගත් වේ.

අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමැතිවරයා කී කතාවද අපට අමතක කළ නොහැකිය. සෞඛ්‍ය සේවයේ අඩුපාඩු රුසක් තිබෙන බව තමන් පිළිගන්නා නමුත් විවිධ බොරු චෝදනා එල්ලකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ මානසිකත්වය කඩා නොවට්ටන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

“ඉස්පිරිතාලෙට යන හැමෝම ආයේ යහතින් එන්නේ නෑ. ඉස්පිරිතාලේ ඉස්සරහ මල් ශාලාවක් තියෙන්නේ ඒකයි.''

කෙසේ වෙතත් මානසිකව කඩා වැටී සිටින්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින පිරිස්ද අසරණ රෝගීන්ද යන්න පෙරළා ප්‍රශ්න කළ යුතු වේ. එසේම මල්ශාලා කතාවද සෞඛ්‍ය ඇමතිවරයකුට කොතරම් තරම් වේදැයි ඇසිය යුතුය. ඇමතිවරයාට කියැවුණු එම කතාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනා තුළ සිත් රිදුම් ඇති කරන්නට සමත්ව ඇත. විපක්ෂයේ විශ්වාසභංගයටත් එයින් ජීවයක් ලැබුණු බව ඉතා පැහැදිලිය.

මේ අතර ආණ්ඩුවේ බොහෝදෙනා මේ විශ්වාසභංග කතාව පිළිබඳ කතා කිරීමට මැළි බවක් දක්වන බවද පෙනී ගියේය. මෙය වර්තමාන තත්ත්වය බරපතළ බව නිරෑපණය කෙරෙන අවස්ථාවකි. කෙසේ වෙතත් පසුගියදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ පිළිබඳ යමක් සඳහන් කර තිබුණි. ඒ අනුව රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරුද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව ඔහු සඳහන් කළේය.

“ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතුයි. මේ සඳහා කෙටිකාලීන විසඳුම් නොවේ ස්ථිරසාර විසඳුම් ලබාදිය යුතුයි.''

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳව පිරිස ඔහුගෙන් විමසා තිබුණි. එහිදී ඇමැතිවරු මාරු කිරීම මෙම ගැටලුවට විසඳුමක් නොවන බව ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගිය දිනවල පැවැති මාධ්‍ය සාකච්ඡා අනුව බොහෝ සෞඛ්‍ය වෘත්තීය සමිතියද චෝදනා කර සිටියේ බාල ඖෂධ හේතුවෙන් දිගින් දිගටම මරණ වාර්තා වන බවයි. එහෙත් තවදුරටත් බලධාරීන් මේ සම්බන්ධයෙන් වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටිති. දින දෙක තුනකට වතාවක් දිවයිනේ කිනම් හෝ ප්‍රදේශයකින් ආන්දෝලනාත්මක මරණයක් වාර්තා වීම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයක් වී තිබේ.

ඒ අනුව සැබවින්ම සඳහන් කළ යුත්තේ විශ්වාසයභංග වී ඇත්තේ අමාත්‍යවරයා පිළිබඳව පමණක් නොවන බවයි. විශ්වාසයභංග වී ඇත්තේ සෞඛ්‍ය සහ ඖෂධ සම්බන්ධවමය. මේ වනවිටත් අතමිට යමක් කමක් ඇති බොහෝදෙනා රජයේ රෝහල් වෙතින් ඖෂධ ලබා ගැනීමෙන් වැළකී සිටින බවක් පෙනී යයි. දරුවන් සඳහා වූ වන එන්නත් ලබා ගැනීමට දෙමව්පියන් පෞද්ගලික රෝහල් වෙත ඇදෙන්නට පටන් ගෙන තිබේ. මෙය ඉඳුරා භයානක තත්ත්වයකි.

ඉකුත් බ්‍රහස්පතින්දා වනවිට විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම සමගි ජනබලවේගය ආරම්භ කළේය. කොන්දක් තිබේ නම් මෙම යෝජනාවට අත්සන් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අභියෝග කර සිටියේ විපක්ෂ නායකවරයා විසිනි. මෙම ලිපිය ඔබ කියවන්න මොහොත වනවිට බොහෝදුරට විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දී තිබීමට ඉඩ තිබේ.

ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදුවිය හැකි දේ පිළිබඳ අනාවැකි කීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් මෙම විශ්වාසභංගය සහ දේශපාලනික ක්‍රියාවලිය අතරේම, නිර්මාණය වී තිබෙන සෞඛ්‍ය ඖෂධ අර්බුදය පිළිබඳ විද්‍යාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදුවිය යුතු බව අවධාරණය කළ සිටිමු.

I  චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02